උපාධිධාරී ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි: සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන්නේ කෙසේ ද?

උපාධිධාරී ගුරු විභාගයේ ප්‍රතිඵල
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට 2026 මැයි 24 වන දින පැවැත්වූ තරග විභාගයට අදාළ ප්‍රතිඵල අද (ඔක්. 14) නිකුත් කිරීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව පවසයි.

දැනට රාජ්‍ය සේවයේ නියුතු අය සඳහා සීමිත තරග විභාගයත්, උපාධිය අවසන් කළ එහෙත් රාජ්‍ය සේවයේ සේවය නොකරන උපාධිධාරීන් සඳහා විවෘත තරග විභාගයත් ආදී ලෙස කාණ්ඩ දෙකක් යටතේ විභාගය පැවැත්විණි.

ඒ අනුව, මෙම විභාගය සමත්ව ජාතික පාසල් සහ පළාත් පාසල් යන පාසල් වර්ග දෙකට ම අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත්වූ අයගේ නාම ලේඛන මේ වන විට නිකුත් කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබා ගත හැක. අද දිනයේ තුළ ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, 17,000ක අපේක්ෂකයින් පිරිසක් සම්මුඛ පරීක්ෂණ කැඳවන බව ය.

"අපිට මේ වෙද්දී කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා, ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට. අපි මේ විභාග තුළින් ඒ 23,000 සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

"නමුත් මෙතැනදී විභාගය තියෙන ක්‍රමවේදය අනුව, ඉල්ලුම් කිරීම, විෂයන් තෝරා ගැනීම පළාත් සහ ජාතික වශයෙන් බෙදීම, ආදී වශයෙන් වූ මේ සියලු කරුණු පදනම් කර ගත්තා ම අපිට මේ අවස්ථාවේදී කැඳවන්න පුළුවන් වෙන්නේ 17,000ක ගණනක්.

"නමුත් අපි ඉදිරියේදී ඊළඟ වටයකටත් ගිහිල්ලා මේ 23,000 කියන සංඛ්‍යාව අපි සම්පූර්ණ කරනවා," ඔහු පැවසීය.

නොවැම්බර් මස 15 වන දා සිට පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බව නාලක කළුවැව සඳහන් කළේ ය.

ඒ අනුව අයැදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන්නේ කෙසේ ද?

සම්මුඛ පරීක්ෂණයයේදී අයැදුම්කරුවන් හඳුනා ගන්නා මාතෘකාවක් යටතේ ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් (presentation) කළ යුතු ය.

එය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය දරුවන් සේ සලකා කරන ඉගැන්වීමක් හෝ යම් මාතෘකාවක් ඔස්සේ කරන දේශනයක් විය හැකි ය.

මෙම පරීක්ෂණයේදී හිමිවන සමස්ත ලකුණු ප්‍රමාණය 25කි. අයැදුම්කර සතු ඉගැන්වීමේ කුසලතාවය මෙමගින් මැන බැලේ.

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරනු ලැබූ අයැදුම්කරුවන් ගැසට් නිවේදනයේ 10.3 වගන්තිය අනුව ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කරනු ලැබේ.

මෙම සියලු ලකුණු අවසානයේ එකතු කරන අතර එක් එක් අයැදුම්කරුවන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව අනුව පුරප්පාඩු සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඇතුළත් වන සේ අවසන් ප්‍රතිඵල ලේඛනය සකස් කරනු ලැබේ.