අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි: ඊළඟට සිදුවන්නේ කුමක් ද?

අනෝජන් සිවරාසා
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින අවලංගු කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ඔහු ඒ බව සටහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන් ම ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් ද ඔහුගේ අවංක කෘතඥතාව පළ කරන බව එහි දක්වා තිබේ.

සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින අවලංගු කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ෆෙස්බුක්හි සටහනක් තබා තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින අවලංගු කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ෆෙස්බුක්හි සටහනක් තබා තිබේ

අනෝජන් වෙනුවෙන් සෞදි අරාබිය වෙත ගිය ශ්‍රී ලංකික නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා බීබීසී සිංහල වෙත කියා සිටියේ මීට පෙර සෞදි අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බවත්, මේ වන විට ඔවුන් එම නඩු තීන්දුව අධ්‍යයනය කරමින් සිටින බවත් ය.

ඒ සම්බන්ධයෙන් බීබීසීයට අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස පැවසුවේ ය.

"හයිකෝට් එකේ මුලින් ම කිව්වා අවුරුදු 5කුයි රියාල් මිලියන 3කුයි සයිබර් ක්‍රයිම්ස්වලට. ඊට පස්සේ අභියාචනාධිකරණය කිව්වා මේක 'හද්' ඔෆෙන්ස් එකක් කියලා. 'හද්' කියන්නේ දෙවියන්ට අපහාස කිරීමේ වරදක් කියලා ඒ නිසා මරණීය දණ්ඩය නියම කළා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළා, ශ්‍රේෂ්ඨාධිකරණය මරණීය දණ්ඩනය නිෂ්ප්‍රභා කළා. දැන් අභියාචනාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් අපි බලන්න ඕනේ හයි කෝට් එක මේ කේස් එක ආපහු මුල ඉඳලා ගන්නවා ද කියලා, ඒ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දැනට අපට දැනුම් දීලා නෑ, හැබැයි මරණීය දණ්ඩනය තිබුණු තත්ත්වය නෑ, ඒක නිෂ්ප්‍රභා කළා."

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි

ජනපතිගේ X පණිවුඩය

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේ ය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම යහපත් ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බව ඔහු පෙන්වා දී ඇත.

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බව ජනපතිවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියටද ලබාදීමට රජය සූදානමින් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් දක්වා තිබිණි.

අනෝජන්ට සිදුවූයේ කුමක් ද?

කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදාය.

පසුගිය ජූලි මස 27 වැනිදා ෆේස්බුක් ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.

කෙසේ වෙතත්, මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

දමාම් බන්ධනාගාරයේදී අනෝජන් සහ ඔහු රඳවා සිටි සිරමැදිරියේ ම සිටි තවත් රැඳවියෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් බවට පත්ව ඇති බවත්, ඉන් අනතුරුව අනෝජන්ගේ මුහුණට තුවාල සිදුව ඇති බවත් මීට ඔඑර වාර්තා විය.

මෙම සිද්ධියේදී කිසිදු තියුණු ආයුධයක් භාවිත කර නොමැති බවත්, අනෝජන්ගේ මුහුණට තුවාල සිදුව ඇත්තේ, අනෙක් රැඳවියාගේ නියපොතු පහර හේතුවෙන් බවත් බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන් සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.