ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Sampath Dissanayake| BBC
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණ මෙන් ම අසමාන ස්වභාවයක් ගන්නා අතර, සමස්ත ආර්ථිකයේ පිබිදීමට සාපේක්ෂව ගෘහස්ථ ආදායම් සහ රැකියා වෙළෙඳපොළේ ප්‍රතිඵල තවමත් පසුපසින් පවතින බව ලෝක බැංකු සමූහය වසරකට දෙවතාවක් නිකුත් කරන සිය ආර්ථික තත්ත්ව වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔක්තෝබර් 6 වන දා නිකුත් කරන ලද 'ප්‍රකෘතිමත් වීමේ සිට පරිවර්තනය කරා' (From Recovery to Transformation) නම් නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේදී 4.4%කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
"අභියෝගාත්මක ගෝලීය වටපිටාවක් හමුවේ වුව ද, ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීම, ජනතාවගේ කැපවීමට සහ රජයේ ප්‍රකෘතිමත් වීමේ උත්සහයට ලැබුණු සහතිකයක්. නමුත් මෙම කඩඉමට පැමිණීම අවසානය නෙවෙයි, ආරම්භයක් - රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට සහ නව රැකියා බිහිකිරීමට මේ ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු යි," යැයි ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු සමූහයේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ගොවීන්ට, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට රටේ මීළඟ ආර්ථික වර්ධනය මෙහෙයවීමට හැකි වන පරිදි, කෘෂි-ආහාර වැනි ඉහළ විභවයක් ඇති ක්ෂේත්රවල ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සහ සුදුසු වටපිටාවක් සකස් කිරීමට ශ්‍රී ලංකාව ආයෝජනය කළ යුතු බව යි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව කාර්තු 12ක් පුරා වර්ධනය වී ඇති අතර, 2026 වසරේ මුල් මාස 6 තුළ මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 4.7%කින් ඉහළ ගොස් නැවතත් 2018 වසරේ තිබූ මට්ටමට පැමිණ ඇත. එමෙන් ම, රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය ද ශක්තිමත් වී ඇති අතර ප්‍රාථමික අයවැය අතිරික්තය වේගයෙන් ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෑත මාසවලදී උද්ධමනය නැවතත් වැඩි වී ඇති අතර, රටේ දුප්පත්කම තවමත් අර්බුදයට පෙර තිබූ මට්ටමට වඩා බෙහෙවින් ඉහළ අගයක පවතී.
2027 වසරේදී ආර්ථික වර්ධනයේ මන්දගාමී වීමක්
එහෙත්, අර්බුදයෙන් පසු ඇති වූ ආර්ථික පිබිදීම ක්‍රමයෙන් අඩු වීම සහ ඵලදායීතාව දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන්, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.2% දක්වා මන්දගාමී වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
එසේ ම, ලෝක ඉන්ධන සහ බලශක්ති වෙළෙඳපොළේ මිල ගණන් නිතර වෙනස් වීම සහ 'එල් නිනෝ' (El Niño) දේශගුණික බලපෑම වැනි අවදානම් තත්ත්වයන් නිසා රටේ නිෂ්පාදනවලට මෙන් ම ආහාර සුරක්ෂිතතාවට ද බාධා එල්ල විය හැකි ය.
දුප්පත්කම තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා ඉහළ අගයක
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකාවේ දුප්පත්කම 2019 වසරේ සිට එය උපරිමයට ම පත්වූ 2023 වසර දක්වා කාලය තුළ දළ වශයෙන් දෙගුණයකින් වැඩි වී ඇත.
ඒ හේතුවෙන් ලක්ෂ 20ක පමණ ජනතාවක් අලුතින් ම දුප්පත්කමට ඇද වැටී ඇත. ලෝක බැංකුවේ, දිනකට ඩොලර් 4.20ක ආදායම් සීමාව අනුව මැන බැලූ විට, 2023 වසරේදී රටේ දිළිඳු ප්‍රතිශතය 20.7%ක් පමණ වී තිබේ.
මෙය කලින් පුරෝකථනය කළ උපරිම මට්ටමට වඩා අඩු අගයක් වුව ද, දුප්පත්කම තවමත් අර්බුදයට පෙර තිබූ මට්ටමට වඩා බෙහෙවින් ඉහළ අගයක පවතින අතර අවම වශයෙන් 2028 වසර වනතුරු ම එය එසේ ම පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
2026 වසරේදීත්, ශ්‍රී ලාංකිකයන්ගෙන් පහෙන් දෙකක් (40%ක්) තවමත් දුප්පත්කමෙන් පීඩා විඳිති, නැතහොත් ඕනෑ ම මොහොතක දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක පසුවෙති.
රටේ දුප්පත්කම 2025 වසරේදී 16.9% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2026 දී 15.8% දක්වාත්, 2028 වන විට 14.0% දක්වාත් අඩු වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත්, මෙම මුළු කාලය පුරා ම දුප්පත්කම, අර්බුදයට පෙර එනම් 2019 වසරේ පැවති 11.5% ක මට්ටමට වඩා ඉහළ අගයක ම පවතිනු ඇත.
මේවා හුදෙක් සංඛ්‍යා ලේඛන පමණක් නොව, ඉන් නිරූපණය වන්නේ අහාර වේල් මඟහරින පවුල්, පෝෂණය අඩාළ වන දරුවන් සහ රැකියා අතහැර දමා යන සේවකයන්ගේ සැබෑ තත්ත්වය බව ලෝක බැංකුව සඳහන් කළේය.
පැවති ආර්ථික අර්බුදය ඉතා දරුණු මෙන් ම ගැඹුරු එකක් වූ අතර, එහි අහිතකර බලපෑම් අදටත් ජනතාවට තදින් ම දැනෙමින් පවතින බව ලෝක බැංකුව සඳහන් කරයි.
දුප්පත්කම පිටුදැකීමේ ගාමක බලවේගය කෘෂිකාර්මික ව්‍යාපාර
ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ මට්ටමේ සිට සම්පූර්ණ පරිවර්තනයක් කරා ගෙන යාමට නම්, රටේ ආර්ථික වර්ධනයේ ගාමක බලවේගය රජයේ වියදම් මත රඳා පැවතීමෙන් බැහැර කළ යුතු බව ලෝක බැංකුව සඳහන් කරයි.
ඒ වෙනුවට පෞද්ගලික අංශයේ ආයෝජන, අපනයන සහ ඵලදායීතාව වර්ධනය කිරීම කෙරෙහි යොමු කළ යුතු වේ. මෙයට අත්වැලක් කර ගැනීම සඳහා වඩා හොඳ යටිතල පහසුකම් සැපයීම, ආයෝජන සඳහා ස්ථාවර වටපිටාවක් නිර්මාණය කිරීම සහ රටේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි වශයෙන් ලබා ගැනීම සිදු කළ යුතු බව ද ලෝක බැංකුව අවධාරණය කරයි.
අනාගත ආර්ථික වර්ධනය, රැකියා බිහිකිරීම සහ දුප්පත්කම පිටුදැකීම සඳහා ප්‍රධානතම ගාමක බලවේගය ලෙස කෘෂිකාර්මික ව්‍යාපාර කෙරෙහි මෙම වාර්තාවේ විශේෂ අවධානයක් යොමු කර ඇත.
මූලික කෘෂිකර්මාන්තය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් පමණක් වුව ද, ආහාර සැකසීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම , වෙළෙඳාම සහ ආහාර සපයන සේවාවන් ඇතුළත් සමස්ත කෘෂි-ආහාර පද්ධතියම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකකට (1/6) ආසන්න ප්‍රමාණයකට දායක වන අතර සමස්ත රැකියා නියුක්තියෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් සපයයි.
එමෙන් ම කෘෂිකාර්මික ව්‍යාපාර මගින් රටේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 30%කට ආසන්න ප්‍රතිශතයක් ආවරණය වන බැවින්, එය විදේශ විනිමය උපයන සහ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය රැක දෙන ප්‍රධානතම මාර්ගයක් වේ. මීට අමතරව, තේ, පොල්, කුරුඳු, මුහුදු ආහාර සහ රබර් යන ක්ෂේත්රවලින් ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළ තුළ සාර්ථකව තරග කරයි.
මෙවැනි ශක්තිමත් පදනමක් තිබුණ ද, වෙළෙඳ ප්‍රතිපත්ති, රජයේ වියදම්, යටිතල පහසුකම් සහ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදයන් ඉලක්ක කර ගත් ප්‍රතිසංස්කරණ මඟින් නව පෞද්ගලික ආයෝජන රැල්ලක් ආකර්ෂණය කරගත හැකි බව මෙම වාර්තාවේ විශ්ලේෂණයන් පෙන්වා දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අගය දාමයන් පුරා නව අවස්ථා පුළුල් කළ හැකි අතර, විශේෂයෙන් ම සුළු පරිමාණ ගොවීන්ට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට ඉන් විශාල ප්රතිලාභ අත්වේ.
මෙම වාර්තාව මගින් වඩාත් විශ්වාසවන්ත, අපනයන ඉලක්ක කර ගත් ප්‍රතිපත්තිමය වටපිටාවක් නිර්මාණය කිරීමට සහ මෙතෙක් ඵලදායී නොවන සහනාධාර සඳහා වැය කළ රජයේ මුදල්, කෘෂිකාර්මික පර්යේෂණ හා දේශගුණයට ඔරොත්තු දෙන නව තාක්ෂණයන් වෙනුවෙන් යෙදවීමට නිර්දේශ කරයි.
මීට අමතරව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය මැනීමේ පහසුකම් දියුණු කිරීම, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ භාණ්ඩ නිෂ්පාදනය කළ ස්ථානය සෙවීමේ ක්‍රම සහ ශීතාගාර ප්‍රවාහන පද්ධති වැඩිදියුණු කිරීම මෙන් ම, ඉඩම් අයිතිය පිළිබඳ නීති සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේද ප්‍රතිසංස්කරණය කිරීම මගින් සුළු පරිමාණ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට දිගුකාලීන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගත හැකි බව ද ලෝක බැංකුව සිය වාර්තාව මගින් පෙන්වා දෙයි.
දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය මෙම වසරේදී 6.9% දක්වා ඉහළට
2026 ඔක්තෝබර් මාසයේදී නිකුත් වූ, "වර්ධනය සඳහා කෘත්‍රිම බුද්ධිය වැළඳ ගැනීම"යන මැයෙන් යුත් මෙම නවතම වාර්තාවට අනුව, ශක්තිමත් දේශීය ඉල්ලුම හේතුවෙන් ගෝලීය ආර්ථික කඩාවැටීම් හමුවේ වුව ද දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය මෙම වසරේදී 6.9% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන් ම, කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම මගින් ශ්‍රම ඵලදායීතාව ඉහළ නැංවීම, අපනයන අවස්ථා පුළුල් කිරීම සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම තුළින් කලාපයේ ආර්ථික වර්ධනය සඳහා නව මාවත් නිර්මාණය කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ද මෙම වාර්තාව ගවේෂණය කරයි.



































