ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වීමට ඔබත් කැමති ද?: විභාගය සහ සම්මුඛ පරීක්ෂණය ගැන ඔබ දැනගත යුතු ම කරුණු මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකා විදේශ සේවයේ තුන් වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වන තරග විභාගයට අයැදුම් කිරීම පසුගිය ඔක්තෝබර් 06 වන දා අවසන් විය.
පවතින පුරප්පාඩු 25ක් පිරවීම සඳහා වන තරග විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2026 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් අයැදුම්කරුවන් දැනගත යුතු වැදගත් ම කරුණු පහත දැක්වේ.
තේරීම් ක්‍රියාවලිය සහ විභාග රටාව
පුරප්පාඩු සඳහා තේරීම් ක්‍රියාවලිය ලිඛිත විභාගයකින් සහ යෝග්‍යතා අගැයීමේ සම්මුඛ පරීක්ෂණයකින් සමන්විත වේ.
ලිඛිත විභාගය සඳහා ලකුණු 700ක් හිමි වේ.
ලිඛිත විභාගය ප්‍රශ්න පත්‍ර 07කින් සමන්විත වන අතර, එය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන මාධ්‍යවලින් පැවැත්වේ. සියලු ම විෂයයන් සඳහා එක ම මාධ්‍යයකින් පෙනී සිටිය යුතු ය.
බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පැය 02 මිනිත්තු 30ක කාලයක් හිමි වන අතර, එයට ලකුණු 150ක් හිමි වේ. එය ලැබෙන්නේ බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණු 75ක් ද, සාමාන්‍ය දැනීම/තත්කාලීන සිදුවීම් සඳහා ලකුණු 75ක් ද හිමි වේ.
සියලු ම අයැදුම්කරුවන්ට ප්‍රථමයෙන් පවත්වනු ලබන්නේ, මෙම ප්‍රශ්න පත්‍රය පමණි. එය සමත් වන අයැදුම්කරුවන්ට පමණක් ඉතිරි ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි වේ.
පොදු ප්‍රශ්න පත්‍රයට පැය 03ක් හිමි වන අතර එයට ලකුණු ලකුණු 100ක් හිමි වේ.
එහිදී අයැදුම්කරුගේ දේශපාලන, සාමාජයීය, සංස්කෘතික, ආර්ථික, තාක්ෂණික හා විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ දැනුම මැන බල යි.
ලෝක තතු පළමු කොටස සඳහා පැය 03ක් හිමි වන අතර ලකුණු 100ක් හිමි වේ.
ලෝක සාමය, ආරක්ෂාව, දේශපාලන සිදුවීම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ දැනුම මෙමගින් පරීක්ෂා කරයි.
ලෝක තතු දෙවන කොටසෙහි ජාත්‍යන්තර සංවිධාන, කලාපීය ආර්ථික කණ්ඩායම්, පරිසරය හා ධරණීය සංවර්ධනය පිළිබඳ අයැදුම්කරු සතු දැනුම පරීක්ෂා කරයි.
රචනය සඳහා ද පැය 03ක් හිමි වේ. ලකුණු 100ක් ලබා ගත හැකි එහි, සිතීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂා ශෛලියේ හැකියාව මැන බලයි.
ලකුණු 50ක් ලබා ගත හැකි සාරාංශය කොටසට මිනිත්තු 30ක් හිමි ය. දී ඇති ඡේදයක අර්ථය සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමේ හැකියාව මේ හරහා පරීක්ෂා කරයි.
භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රය සඳහා පැය 03 හිමි අතර ලකුණු 100ක් ලබා ගත හැකි ය.
සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින්නන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින්නන් සිංහල හෝ දෙමළ ප්‍රශ්න පත්‍රයටද පෙනී සිටිය යුතු ය.
විභාග ශාලාවට ඇතුළත් වීම සහ අනන්‍යතාව
අයැදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර මාර්ගගතව පමණක් නිකුත් කරයි. ප්‍රවේශ පත්‍රයේ අත්සන රජයේ නියමිත නිලධාරියෙකු ලවා සහතික කරවා ගත යුතු ය.
අනන්‍යතාව සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියැදුරු බලපත්‍රය පමණක් මෙහිදී පිළිගැනේ.
එමෙන් ම, මුහුණු ආවරණය කිරීමෙන් තොරව සහ, විද්‍යුත් සන්නිවේදන උපාංග පැළඳ සිටින්නේදැයි හඳුනා ගැනීමට හැකි වන පරිදි දෙකන් ආවරණය කිරීමෙන් තොරව විභාග ශාලාවට ඇතුළු විය යුතු ය.
මෙහි වැඩිදුර තොරතුරු සහ නිල ගැසට් නිවේදනය ලබා ගැනීම විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සිදු කළ හැකි ය.
යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය
ලිඛිත විභාගයේ ප්‍රශ්න පත්‍ර 07ට ම පෙනී සිට, එක් එක් විෂය සඳහා නියමිත අවම ලකුණු සහ මුළු ලකුණු 300ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා අයදුම්කරුවන් අතරින්, පවතින පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස් ගුණයකට නොවැඩි සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ලබා දීම සිදුවන්නේ පහත පරිදි ය.
- අතිරේක අධ්‍යාපන සුදුසුකම් (උපරිම ලකුණු 20): ප්රමුඛ පන්ති සාමාර්ථය සහිත විශේෂ හෝ සාමාන්‍ය උපාධි සඳහා
- වෙනත්/වෘත්තීය සුදුසුකම් (උපරිම ලකුණු 15): පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා හෝ පිළිගත් ඩිප්ලෝමා සඳහා
- ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 15): ඉංග්‍රීසි විශේෂවේදී උපාධි, ඉංග්‍රීසි මාධ්‍ය උපාධි, IELTS (6.0+), TOEFL (IBT 79+) වැනි සුදුසුකම් හෝ උසස් පෙළ සාමාර්ථය මත
- විදේශ භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 10): අරාබි, චීන (මැන්ඩරින්), ප්‍රංශ, ජර්මන්, හින්දි, ඉතාලි, ජපන්, කොරියානු, රුසියානු හෝ ස්පාඤ්ඤ භාෂා පාඨමාලා හෝ පරීක්ෂණ සාමාර්ථය සඳහා
- පරිගණක ප්‍රවීණතාව (උපරිම ලකුණු 05): තොරතුරු තාක්ෂණ උපාධි, ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලා සඳහා
- රාජ්‍ය භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 10): විභාගයට පෙනී සිටි භාෂාව හැර අනෙක් රාජ්‍ය භාෂාව සඳහා සාමාන්‍ය පෙළ සාමාර්ථය මත
- පෞරුෂත්වය සහ සන්නිවේදන කුසලතා (උපරිම ලකුණු 25): පෞරුෂත්වය (10), සන්නිවේදන කුසලතා (10) සහ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන දක්ෂතාව (05)
සුදුසුකම්ලත් අයැදුම්කරුවන් කවුද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම තනතුර සඳහා අයැදුම් කරන අයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් රාජ්‍ය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් හෝ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ පිළිගත් උපාධියක් හිමිව තිබිය යුතු ය.
සාමාන්‍ය අයැදුම්කරුවෙකු නම් අයැදුම්පත් භාර ගන්නා අවසන් දින වූ 2026 ඔක්තෝබර් 06 දිනට වයස අවුරුදු 22 සම්පූර්ණ වී තිබිය යුතු අතර අවුරුදු 28 සම්පූර්ණ නොවූ අයෙකු විය යුතු ය.
එනම් 1998 ඔක්තෝබර් 06 සහ 2004 ඔක්තෝබර් 06 යන කාලය අතරතුර උපත ලැබූවෙකු විය යුතු ය.
ඔබ දැනටමත් රාජ්‍ය නිලධාරියෙකු නම් 1991.10.06 දිනට හෝ එදිනට පසුව උපත ලබා තිබිය යුතු ය.
එනම්, වයස 35ට අඩු විය යුතු අතර, පසුගිය වසර 5 තුළ සතුටුදායක සේවාවක් කර තිබීම අනිවාර්ය වේ.
මේ සඳහා ආගමික පැවිද්දක් දරන කිසිදු තැනැත්තෙකුට අයැදුම් කිරීමට අවසර නොමැත. අයැදුම්කරුවෙකුට මෙම විභාගය සඳහා පෙනී සිටීමට හිමිවන්නේ උපරිම වශයෙන් අවස්ථා 3ක් පමණි.
තව ද අයැදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අතර, ද්විත්ව පුරවැසිභාවය ඇත්නම් පත්වීම ලැබීමෙන් පසු එය අවලංගු කළ යුතු ය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතු අතර, සම්මුඛ පරීක්ෂණයේදී පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
වැටුප්
මෙම තනතුර සඳහා වැටුප් තීරණය කරන්නේ 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 අනුව ය.
ඒ අනුව, ආරම්භක මූලික වැටුප ලෙස රු. 82,150ක් හිමිවන අතර, එයට වැටුප් වර්ධක සහ රාජ්‍ය සේවකයන්ට හිමි වන දීමනා ද හිමි වේ.
මෙම පත්වීම ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත පත්වීමකි. එය වසර 03ක පරිවාස කාලයකට යටත් වන අතර, එම කාලය තුළ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සහ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතු ය.



































