ගුවන් නියමුවෙකු වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Asian Aviation Center
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ළමා කාලයේ ඇති වන දැඩි ආශාව නිසා බොහෝ දෙනෙක් ගුවන් නියමුවෙකු වීමට සිහින දකිති.
එය හුදෙක් යානයක් අහසට නැංවීමට හෝ පාලනය කිරීමට එහා ගිය, සිය ගණනකගේ ජීවිතවල වගකීම කරට ගන්නා සුවිශේෂී වෘත්තියකි.
ගුවන් ගමනකදී මතුවන ඕනෑම හදිසි අවස්ථාවකදී නොසැලී, මනස සන්සුන්ව තබා ගනිමින් ක්ෂණික හා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව මෙම වෘත්තියේ සාර්ථකත්වයේ රහසයි.
ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සහ පියවර ගැන බොහෝ දෙනා උනන්දුවක් දක්වති. ඒ නිසාම, මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයා බැලීමට බීබීසී සිංහල, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සම්බන්ධ කර ගත්තේය.
වයස සහ අධ්‍යාපන සුදුසුකම් මොනවා ද?
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය වේබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි ගුවන් නියමුවෙකු වීම සඳහා ඉල්ලුම් කිරීමට වයස අවුරුදු 17ක් සම්පුර්ණ වීම ප්‍රමාණවත් වේ.
ගුවන් නියමුවෙකු වීමට උසස් පෙළ ගණිත හෝ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරා තිබිය යුතු බව බොහෝ දෙනා විශ්වාස කළද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන හා ආර්ථික නියාමන අධ්‍යක්ෂ සහ පුහුණු ආයතන හා පුද්ගල බලපත්‍ර නිකුත් කිරීමේ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ අසංග ලියනාරච්චි කියා සිටියේ ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත්වී තිබීම ප්‍රමාණවත් බවය.
ගුවන් නියමුවෙකු ලෙස බලපත්‍රය ලබා ගත්ත ද වාණිජ ගුවන් සමාගමක ගුවන් නියමුවෙකු ලෙස රැකියාවකට එක්වීමේදී එම සමාගම් අපේක්ෂා කරන අධ්‍යාපන සුදුසුකම් වෙනස් බව ඔහු පැවසුවේය.
"පයිලට් කෙනෙක් වෙන්න ලයිසන් එකක් ගන්න සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තිබ්බ ම ඇති. හැබැයි එහෙම පයිලට් කෙනෙක් විදිහට ලයිසන් එකක් ගත්ත කෙනෙකුට එයාර් ලයින් එකක ජොබ් එකකට අයැදුම් කරද්දී අධ්‍යාපන සුදුසුකම් හැටියට උපාධියක් එහෙම තියෙනවද කියලා හොයලා බලනවා." ඔහු පැහැදිළි කළේය.
ආරක්ෂක අනුමැතිය සහ වෛද්‍ය සහතිකය
ශිෂ්‍ය නියමුවෙකු ලෙස පුහුණුවීමට පැමිණෙන තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ ආරක්ෂක පසුබිම් වාර්තාවක් කැඳවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල බීබීසී සිංහල වෙත පැවසුවේය.
"මුලින්ම ගුවන් නියමුවෙක් විදිහට ට්‍රේනින් වෙන කෙනෙක් ගුවන් පුහුණු පාසැලකට ඇතුළත් වෙලා ලියාපදිංචි වුණාට පස්සේ කරන්න ඕන දේ තමයි එයාගේ NIB (ජාතික බුද්ධි කාර්යාංශයේ) රිපෝට් එක ගන්න එක. මේක ආරක්ෂක අමාත්‍යාංශය තමයි සිද්ධ කරන්නේ. ලංකාවේ නීතිය යටතේ ඒ දේ කරන්න අවශ්‍යයි.
ඊට පස්සේ සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ ගුවන් නියමුවෙක් විදිහට පුහුණුවීම ලබන තැනැත්තාට හෝ තැනැත්තියට පූර්ණ වෛද්‍ය පර්යේෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගුවන් නියමුවෙකු වෙන්න අවශ්‍යය කරන ශාරීරික හා මානසික සෞඛ්‍යය මේ වෛද්‍ය පරීක්ෂණයෙන් තක්සේරු කිරීමක් කරනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතැනදී අවශ්‍ය උපදෙස් ලබා දෙනවා ඒ වෛද්‍ය පර්යේෂණය කරන්න අවශ්‍ය ස්ථාන ආදිය ගැන." සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැහැදිලි කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුහුණ දිය යුතු විෂයන් 13 මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිවිල් ගුවන් සේවා අධිකාරියේ පුහුණු ආයතන සහ පුද්ගල බලපත්‍ර නිකුත් කිරීමේ වැඩබලන අධ්‍යක්ෂක අසංග ලියනාරච්චිට පැවසුවේ ගුවන් නියමුවෙකු වීම සඳහා සම්පුර්ණ කළ යුතු විභාග 13ක් ඇති බවයි. එම සියලු විෂයන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්මත කර ඇති විෂය නිර්දේශ බව ද ඔහු පෙන්වා දුන්නේය.
"මෙතැනදී අපි මතක් කරන්න අවශ්‍යයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සම්මත වෙලා තියෙන විෂය නිර්දේශයට යටත්ව පවත්වන විෂය කරුණු වගේම එක්සෑම් පාස් කරන්න අවශ්‍ය වෙනවා අයැදුම්කරුවන්ට. ලෝකයේ හැම ගුවන් නියමුවෙක්ටම තියෙන්නේ එකම විෂය නිර්දේශයක් යටතේ තියෙන එක්සෑම් එකක්.
කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ විභාග මධ්‍යස්ථානයක් තියෙනවා. එතැනදී මේ විභාගය පවත්වන්නේ. පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් ගන්න විෂයන් 06ක් සමත් වෙන්න ඕන. ඒ වගේම වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගන්න විෂයන් 13ක් සමත් වෙන්න අවශ්‍යයි." ඔහු පැවසුවේය.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින්, ගුවන් නියමුවෙකු වීම සඳහා ගුවන් නීතිය, කාලගුණ විද්‍යාව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි, සන්නිවේදනය, ගුවන් යානා පිළිබඳ සාමාන්‍ය දැනුම, කාර්ය සාධනය, රේඩියෝ සංචලන (Air Navigation), සාමාන්‍ය සංචලන (General Navigation), ස්කන්ධය සහ ශේෂය, මානව කාර්ය සාධනය, ගුවන් ගමන් සැලසුම් කිරීම සහ අධීක්ෂණය, උපකරණකරණය සහ පියාසර කිරීමේ මූලධර්මය යනුවෙන් විෂයන් 13ක් යටතේ පවත්වනු ලබන සෑම විෂයක්ම සමත්වීමට ගුවන් නියමුවන්ට සිදුවේ.
පුහුණුවීමේ බලපත්‍රය
ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවීම ආරම්භ කිරීමට යම් අයෙකු බලාපොරොත්තු වන්නේ නම් ඔහු හෝ ඇය ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලැබීම සඳහා අවශ්‍ය වන බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ලබා ගත යුතු බව එහි වැඩබලන අධ්‍යක්ෂක අසංග ලියනාරච්චි පැවසුවේය.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවන තැනැත්තා හෝ තැනැත්තිය ගුවන් පුහුණු පාසැල මගින් ලබාදෙන උපදේශකවරයෙකු සමග පළමුව පියාසැර පුහුණුව සිදුකළ යුතු බවත්, ඉන් පසුව එම ගුවන් නියමුවා තනිවම ගුවන් යානයක් පියාසර කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
"මුලින්ම ෆ්ලයිට් ස්කූල් එකේ ට්‍රේනර් එක්ක ට්‍රේනින් වෙන ගමන් ඒ කෙනාට පුළුවන් තමන්ට අවශ්‍ය ගුවන් බලපත්‍රයට අවශ්‍ය කරන විභාග ටික සම්පූර්ණ කරන්න. ඊට පස්සේ එක්සෑම් ටික පාස් වුනාට පස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට අපි නම් කරන එක්සැමිනර් කෙනෙක් එක්ක එයාට ෆ්ලයි කරන්න වෙනවා.
ගුවන් නියමුවන්ට තියෙනවා ලොග් බුක් එකක්. ඒකෙ තියෙනවා එයා ෆ්ලයි කරපු සියලු විස්තර වගේම එයාගේ ශාරීරික යෝග්‍යතාවය සහ දැනුම පරීක්ෂණ වලදී ලබා ගත්ත රිසාල්ට්ස් එහෙම. ඒ වගේම ටෙස්ට් ෆ්ලයිට් එකේදී අපි නොමිනේට් කරපු එක්සැමිනර් ලබා දෙන වාර්තාවත් එක්ක තමයි සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාළ කෙනාට ගුවන් නියමු බලපත්‍රය නිකුත් කිරීම සිද්ධ කරන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ප්‍රයිවට් ලයිසන් එකක් ගන්න පැය 50ක් ෆ්ලයි කරලා තියෙන්න ඕන'
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන හා ආර්ථික නියාමන අධ්‍යක්ෂ සහ පුහුණු ආයතන හා පුද්ගල බලපත්‍ර නිකුත් කිරීමේ අංශයේ වැඩබලන අධ්‍යක්ෂක අසංග ලියනාරච්චි කියා සිටියේ ගුවන් නියමුවෙකු වීමට විවිධ අදියර යටතේ කටයුතු කිරීමට සිදුවන බවය.
"පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය, වාණිජ ගුවන් නියමු බලපත්‍රය වගේම ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රය තියෙනවා.
සාමාන්‍යයෙන් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගන්න නම් අවම පැය 50ක කාලයක් ගුවන් නියමුවෙක් විදිහට සම්පුර්ණ කරලා තියෙන්න අවශ්‍ය වෙනවා. මෙතැනදී පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් තමන්ගේම ගුවන් යානයක් තමයි ෆ්ලයි කරන්න අවසර තියෙන්නේ.
පෞද්ගලික ගුවන් නියමු බපත්‍රයක් තියෙන ගුවන් නියමුවෙක්ට වාණිජ ගුවන් නියමුවෙක් වෙන්න අවශ්‍ය නම් එයාට තවත් විෂය නිර්දේශ යටතේ තියෙන විභාග සමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පැය 200 ක ගුවන් කාලයක් තියෙන කෙනෙකුට තමයි වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේ බලපත්‍රයක් තියෙන කෙනෙක්ට තමයි සමාන්‍යයෙන් වාණිජ ගුවන් යානාවල නියමුවන් විදිහට කටයුතු කරලා මුදල් ඉපැයීමේ හැකියාවක් තියෙන්නේ." ඔහු පැවසුවේය.
'මේක චැලේන්ජින් ජොබ් එකක්'
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන ආකාරයට ඉදිරි දශක දෙක තුළදී ගුවන් ගමන් ක්ෂේත්‍රය තුළ සිදුවන පුළුල් වීමත් සමග ගුවන් නියමුවන්ට සහ ගුවන් යානා ඉංජිනේරුවරුන්ට ඇතිවන ඉල්ලුම ඉහළ අගයක් ගනු ඇත.
එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂක අසංග ලියනාරච්චි කියා සිටියේ ගුවන් නියමුවෙකුට හදිසියේ ඇතිවන අභියෝගවලට මුහුණ දීමට යහපත් මානසික සහ ශාරීරික ශක්තිය ඉහළ මට්ටමක තිබීම ඉතා වැදගත් බවය.
"පයිලට් කෙනෙක් වෙන එක ඇත්තටම හොදයි. ඒක චැලෙන්ජින් ජොබ් එකක්. පයිලට් කෙනෙක් වෙන කෙනෙක්ට චැලේන්ජ් එකක් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මොකද අපි පාරේ වාහනයක් එළවන් යද්දී ඇතිවන හදිසි අවස්ථාවකදී පාරේ අයින් කරලා වාහනය නතර කරන්න පුළුවන් වුණාට අහසේදී ඇතිවන හදිසි තත්ත්වයකදී ෆ්ලයිට් එක නතර කරන්න බැහැනේ. ඒ වගේ චැලේන්ජින් වෙලාවක ඉක්මන් තීරණ ගන්න පයිලට්ට හොඳ වෘත්තීමය දැනුමක්, අවබෝධයක්, ශාරීරික වගේම මානසික ශක්තියක් තියෙන්න ඕන.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විදිහට අපිට පේන්න තියෙන කරුණක් තමයි ඉදිරි අවුරුදු 10-20 ඇතුළත ගුවන් ප්‍රවාහන ක්ෂෙත්‍රය තවත් පුළුල් වෙනවා කියන එක. එතැනදී ගුවන් නියමුවන්ට වගේම ගුවන් යානා ඉංජිනේරුවරුන්ට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මේක හොද අවස්ථාවක්. ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන ඕනෑම කෙනෙක් තමන් යන්න ඕන පාත් එක මොකක්ද කියලා හරියටම දැනගෙන එන එක වටිනවා." ඔහු පැහැදිලි කළේය.

































