රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

වෙළෙඳපොළෙන් මිල දී ගන්නා පලතුරක් වස විසෙන් තොර බව හඳුනා ගන්නේ කෙසේ ද? පලතුරක පෙනුමෙන් පමණක් එය තීරණය කළ හැකි ද?

පලතුරු තෝරා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ උපදෙස් හුවමාරු වන පසුබිමක, ජනතාවට වස විසෙන් තොර පලතුරු ලබා දීමේ අරමුණින් 'වස විසෙන් තොර පලතුරු දරුවන්ට' නමැති ජාතික වැඩපිළිවෙළ රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ලෝක ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් 1 වන දා මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි. වැඩි ලාභයක් සහ පහසුවක් අපේක්ෂාවෙන් සෞඛ්‍යයට අහිතකර ක්‍රම සහ ඇතැම් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් පලතුරු ඉදවීමේ ක්‍රියාවලිය වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ යි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පසුඅස්වනු කළමනාකරණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ආහාර පාලන පරිපාලන ඒකකය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍ය සංගමය ඇතුළු ආයතනවල සාමූහික ප්‍රයත්නයක් ලෙස මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය ආරක්ෂිත නිවැරදි ක්‍රමවේද යටතේ පලතුරු ඉදවීම සිදුකරන වෙළෙඳුන් ප්‍රමිතිකරණයට ලක් කර ශ්‍රේණිගත කිරීම මෙම වැඩසටහන මගින් කරන අතර ඒ හරහා ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පලතුරු පරිභෝජනයට අවස්ථාව සැලසෙන බව රජය පවසයි.

"දරුවන්ට හොඳ ම දේ දෙන්න, වස විසෙන් තොර පලතුරු දෙන්න තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන්, ඒ වගේ ම ගොවියන්, ඒ වගේ ම කර්මාන්තකරුවන් සියලු දෙනා එකතු කරගෙන අපි හැමෝම අපේ දරුවන්ට විශ්වාසයෙන් කන්න පුළුවන් පලතුරු, විශ්වාසයෙන් බොන්න පුළුවන් පලතුරු බීම එකක් ලබා දෙන්න අවශ්‍ය ඒ තහවුරුව හදන එක තමයි අපේ අරමුණ," බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පැවසීය.

'පලතුරු එක්රැස් කරන අය, පලතුරු විකුණන අය පලතුරු ඉදවන ක්‍රමවේදය වැරදි යි'

මෙම වැඩසටහන යටතේ වස විසෙන් තොර පලතුරු මිල දී ගත හැකි ස්ථාන ජනතාවට හඳුනාගත හැකි ආකාරය නම් කිරීම ඇතුළුව තවත් කරුණු පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සහ තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න බීබීසී සිංහල වෙත විස්තර කළා ය.

එහිදී ඇය සඳහන් කළේ, තම ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ හා සමීක්ෂවලදී අනාවරණය වූයේ, පලතුරු ඉදවන ක්‍රමවේදය ගැටලු පවතින බව ය.

එමෙන් ම, ඉදුණු පලතුරු මිලට ගත්ත ද ඒවා ආහාරයට ගත නොහැකි බව පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇත බව ද ඇය සඳහන් කළා ය.

"සමහර විට ඇතුළ ඉදිලා නැහැ පිටින් පාට වෙලා විතර යි, රස නෑ. ඕවා පරීක්ෂා කරලා බලනකොට අපිට තේරුණ දේ තමයි පලතුරු එක්රැස් කරන අය, පලතුරු විකුණන අය තොග හා සිල්ලර වශයෙන් ඒ අය පලතුරු ඉදවන ක්‍රමවේදය වැරදියි," අධ්‍යක්ෂ ජනරාල්වරිය පැහැදිලි කළා ය.

ඇය පෙන්වා දුන්නේ, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ පලතුරු පර්යේෂණ ආයතන ඇතුළු වගකිව යුතු ආයතන මගින් පලතුරු ඉදවීම කළ යුතු ක්‍රමවේදය පිළිබඳව උපදෙස් දී තිබියදී ඇතැම් වෙළෙඳුන් එම ක්‍රමවේදය අනුගමනය නොකර අහිතකර ලෙස පලතුරු ඉදවීම සිදුකරන බවට ද හඳුනාගත් බව ය.

පලතුරු ඉදවීමේ නිවැරදි ක්‍රමවේදය කුමක් ද?

නිසි ක්‍රමවේදය අනුව එතෆෝන් (ethephon) රසායනිකය භාවිතයෙන් ජනනය කරන එතිලීන් (ethylene) වායුවට නිරාවරණය කිරීමෙන් පලතුරු කෘත්‍රිමව ඉදවිය හැකි ය.

එහෙත්, ඇතැම් වෙළෙඳුන් එම ක්‍රමවේදයෙන් බැහැරව එතෆෝන් රසායනිකය පලතුරු මත ඉසීම හෝ එම ද්‍රාවණයේ පලතුරු ගිල්වා තැබීම සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සහ තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න පැවසුවා ය.

එලෙස පලතුරු ඉදවීමේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය දිගුකාලීනව ශරීරගත වීම බෝ නොවන රෝග ඇති වීමට හේතු විය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බව ද ඇය අවධාරණය කළා ය.

එමෙන් ම අතීතයේ කෘත්‍රිම ලෙස පලතුරු ඉදවීමට භාවිත කළ කාබයිඩ් භාවිතය ද 1993 ඔක්තෝබර් 14 වන දින ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද අංක 788/7 දරන ගැසට් නිවේදනය මගින් තහනමට ලක් කර ඇති බැවින් එම ද්‍රව්‍ය භාවිත කිරීම වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න පෙන්වා දුන්නා ය.

නිවැරදි ලෙස පලතුරු ඉදවන ව්‍යාපාරිකයන්ට සහතිකයක්

ජනතාවට වස විසෙන් තොර පලතුරු මිලට ගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් කරමින් සිටී.

ඒ අනුව දිවයින පුරා පලතුරු නිෂ්පාදනය කරන, අලෙවි කරන සහ තොග වශයෙන් රැස් කරන ව්‍යාපාරිකයන් දැනුවත් කර, ඔවුන් සියලු දෙනා පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති බව සමන්තා කරුණාරත්න පැවසුවා ය.

එමෙන් ම, මෙම වැඩසටහනට සහය දෙන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී සහතිකයක් ලබා දීමට ද සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළා ය.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පසුඅස්වනු කළමනාකරණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ආහාර පාලන පරිපාලන ඒකකය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍ය සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අදාළ සහතිකය නිකුත් කරනු ලබන අතර මහජන පරීක්ෂකවරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ද ඒ සඳහා පුහුණු කරනු ලැබේ.

එමගින් එම සහතිකලත් ස්ථානවලින් ජනතාවට "බියකින් හෝ සැකයකින් තොරව සෞඛ්‍යාරක්ෂිත" පලතුරු මිල දී ගැනීමේ හැකියාව ලැබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා ය.

2027 වසරේ මාර්තු 31 වන දා වන විට මෙම ව්‍යාප්තිය සම්පූර්ණ කිරීමට රජය අපේක්ෂා කරයි.

අප්‍රේල් සිට නීති දැඩි වෙයි

කෘත්‍රිමව පලතුරු ඉදවීම සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව කටයුතු කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීති පැනවීමට හැකියාව ඇති බව පෙන්වා දුන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න, නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පාර්ශව නිවැරදි ක්‍රමවේදවලට අනුගත කිරීම රජයේ අරමුණ බව පැවසුවා ය.

"නීතියක් හැටියට මේක ක්‍රියාත්මක කරලා දඬුවම් දෙනවාට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අයව නිවැරදි ක්‍රමවේදයට ගන්න," යැයි ඇය පැවසුවා ය.

කෙසේ වෙතත්, වැරදි ක්‍රමවේද භාවිත කරමින් හෝ අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් පලතුරු ඉදවන වෙළෙඳුන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් 1 වන දා සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හා රෙගුලාසි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා සම්පාදනය කිරීමට නියමිත බව ඇය සඳහන් කළා ය.

තව ද, මෙම වැඩපිළිවෙළ යටතේ පලතුරු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ආදර්ශ පලතුරු ඉදවීමේ කුටි ස්ථාපනය කර දීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ජාතික පසුඅස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල තාක්ෂණික සහය ලබා ගැනීමට නියමිත ය.

නව වැඩපිළිවෙළට පලතුරු නිෂ්පාදකයන්ගේ සහය

මෙම වැඩපිළිවෙළ පැසසුමට ලක් කරමින් ලංකා පලතුරු හා එළවළු නිෂ්පාදකයන්ගේ, සකසන්නන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනී පුණ්‍යා නානායක්කාර සඳහන් කළේ, මෙමගින් පලතුරු අපනයනය කිරීමේ වැඩි ඉඩක් ලබා ගැනීමට ද හැකි වනු ඇති බව ය.

එමෙන් ම, මෙම වැඩපිළිවෙළ සම්බන්ධව පලතුරු ගොවීන් සහ නිෂ්පාදකයන් ඇතුළු ක්ෂෙත්‍රයේ පිරිස් දැනුවත් කිරීම මෙන් ම ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බව ද සභාපතිනි, පුණ්‍යා නානායක්කාර බීබීසී සිංහල වෙත පැවසුවා ය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ සම්බන්ධව ක්ෂෙත්‍රයේ පිරිස් සමග සාකච්ඡා කර ඔවුන් ද, මේ සඳහා දායක කළ යුතු බව ය.

සෞඛ්‍යයට ඇති බලපෑම

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන ඇතැම් රසායනික ද්‍රව්‍යවලට දිගුකාලීනව නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ ආහාර හා පෝෂණ අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල වෙත පැවසුවා ය.

පලතුරු පරිභෝජනයට සුදුසු වන පරිදි සෞඛ්‍යාරක්ෂිතව ඉදවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම ආහාර පනතේ සඳහන් වන බව ද වෛද්‍යවරිය පැවසුවා ය.

"ඔය දාන කෙමිකල් ගොඩක් වෙලාවට අක්මාවට ගිහිල්ලා තැන්පත් වෙනවා. එතකොට පිළිකා වගේ හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා," යනුවෙන් ඇය සඳහන් කළා ය.

ඇතැම් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් වකුගඩු රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් ද පවතින බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ කෙසේ ද?

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගැනීමේ ක්‍රම කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති, උපුල් රෝහණ බීබීසී සිංහල සමග පැවසීය.

"ඇස් මට්ටමෙන් හඳුනා ගන්න ක්‍රමය තමයි, ඒ පලතුරු වර්ගයට අවේණික සුවඳ සහ වර්ණය තියෙනවා ද කියලා බලන එක.

"පලතුරු උඩ පැල්ලම් තියෙනවා ද, පලතුරුවල යම් ශේෂ ද්‍රව්‍ය තියෙනවා ද වගේ ම පලතුරේ පොත්ත මතුපිට යම් පළුදුවීම් එහෙම නැතිනම් යම් විකෘති වීම් තියෙනවා ද කියලා බලන එක," ඔහු පැහැදිලි කළේ ය.

"සමහර වෙලාවට කෘත්‍රිමව ඉදවපුවා ම පලතුරුවල පොත්ත කහ පාට වුණාට ඇතුළේ කාබෝහයිඩ්‍රේට් ග්⁣ලුකෝස් බවට පත්වෙන ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. එතකොට පොත්ත කහ පාටයි ඇතුළ අමු යි. එතකොට පලතුර කපලා බලලා හඳුනගන්න පුළුවන්," ඔහු පැවසීය.

ස්වාභාවික ලෙස පැසුණු පලතුරු පමණක් එලෙස කෘත්‍රිමව ඉදවීමට භාවිත කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.

එමෙන් ම, අඹ, කෙසෙල් වැනි පලතුරු ඉදවීමට භාජනය කළ හැකි වුව ද අනෙක් බොහෝ පලතුරු එසේ ඉදවීමට නීතියෙන් තහනම් බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.