බැසිල් රාජපක්ෂට වරෙන්තු: ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරීමටත් පියවර

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්: 14) වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කළේ ය.

ඒ අනුව සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් විය.

ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ, 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට වරෙන්තුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටින බවත්, ඊට අදාළව ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේ ය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් යොදවා ඌව පළාත් මැතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබිණි.

මෙහි පළමු සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි මැදමුලන වීරකැටිය 114, වලව්ව ලිපිනයට ගිය බවත් ඔහු එහි නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

එසේ ම එම ලිපිනයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහ පවුලේ ඥාතීන්ගේ ප්‍රකාශ ලබා ගත් බවත්, ඔහු මේ වන විට ඇමෙරිකාවේ පදිංචි බවට අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

සැකකරු පදිංචි විදේශ ලිපිනයට වරෙන්තුව යොමු කිරීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත්, ඊට අදාළව විමර්ශන නිලධාරියාගේ දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලීසිය වෙත නිකුත් කිරීමට රතු වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළේ ය.