සිරගත වන භික්ෂූන්ට ගිහි ඇඳුම් ඇන්දවීම: ජනපති පත් කළ කමිටුව කරන්න යන දේ

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමි, නඩු කටයුත්තක් සඳහා ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේලා ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන ඒම පිළිබඳව සමාජයේ කතාබහක් ඇති විය.

ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් ප්‍රසාදය පල කර තිබුණේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු බවට මතු කරමිනි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගයට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලා නියෝජනය කරන සංවිධාන කිහිපයක් ඊට විරෝධය පළ කරමින් ලිපි ද ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් ද ඔක්තෝබර් 8 වන දා පැවැත්විණි.

සාකච්ඡාවේ අරමුණ

එහිදී, ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කළ ලිපිය, ඒ හේතුවෙන් මතු වූ තත්ත්වය සහ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, බන්ධනාගාර ආඥාපනත යටතේ ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක් එදින ම පත් කෙරිණි.

එම කමිටුව ඔක්තෝබර් 9 වන දා පළමු වරට රැස්විය.

කමිටුවේ සාමාජිකයින් කවුද?

සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිවරයා වන්නේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර ය.

ඊට අමතරව එයට අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන අය ඇතුළත් වෙති.

ජනාධිපතිවරයා සහ ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලා අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අනුව, මෙම "සංවේදී ගැටලුව" සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනය කර බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම එහි කාර්යභාරය වේ.

කමිටු වාර්තාව සිකුරාදාට පෙර

පත් කළ කමිටුව සති දෙකක් ඇතුළත අධ්‍යයනය සිදු කර, නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ යුතු ය.

එම සංශෝධනවල භික්ෂූන් වහන්සේලාට අදාළ යෝජනා සහ අදහස් ලබා ගැනීම සඳහා ඒවා එළඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙන යාමට කටයුතු කරනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල මෙම කමිටුවේ සභාපති බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර සම්බන්ධ කර ගත්තේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, එම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ය. එමෙන් ම අදාළ යෝජනා සිකුරාදා දිනට පෙර [ඔක්: 16ට පෙර] ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

"මොකුත් අරගෙන නෑ තාම, සාකච්ඡා මට්ටමේ තියෙනවා, මේ සතියේ අවසානය වෙන්න කලින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙනවා."

මේ පිළිබඳව භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡාවක් පැවතියේ ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසීය.

"එහෙම විධිමත් සාකච්ඡා කිරීමක් නම් නෑ. විටින් විට ස්වාමීන් වහන්සේලා ඒ ගැන විමසනවා, අදහස් ඉදිරිපත් කරනවා," ඔහු පැවසීය.

ඥානසාර හිමිගේ 'චීවරය බලෙන්' ඉවත් කළා ද?

මේ අතර, සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා "සිවුරට යුක්තිය" නමින් පාගමනක් පසුගිය දා ආරම්භ විය.

එම පාගමන මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබේ.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ ඔක්තෝබර් 12 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, බන්ධනාගාරයේදී ඥානසාර හිමියන්ගේ චීවරය "බලෙන් ඉවත් කර ඇති බවත්, උන්වහන්සේ බැලීම සඳහා ඔහු පසුගිය දා බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී එහිමියන් ඔහුට ඒ බව පැවසූ" බවත් ය.

"එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් කවුරු හරි වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිලධාරීන් බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න, අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නා කියන එක හාමුදුරුවෝ දැකලා තිබුණා.

"ඒ නිසා හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගේත්, නිලධාරීන්ගෙත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතා ම වගකීමෙන් ප්‍රකාශ කරනවා," ඔහු පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්නගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ, එවැනි ආකාරයේ බලහත්කාරයෙන් චීවරය ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීමක් සිදුව නොමැති බව ය.

"එහෙම අපට කවදාවත් උන්වහන්සේගේ සිවුර බලෙන් ගලවන්න අවශ්‍යතාවක් නෑ. උන්වහන්සේට ඇඳුම දුන්න ම උන්වහන්සේ ඒක ඇඳගත්තා. බලෙන් ඇන්දුවේ නෑ කිසි ම වෙලාවක.

"සිවුර ගලවන්න බෑනේ අපට, අපට පුළුවන් ප්‍රතික්ෂේප කරනවා නම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.