පාප් වහන්සේට පෙනහලු පිළිකාවක්: ශල්‍යකර්මය සහ රෝගී තත්ත්වය ගැන වතිකානය පැහැදිලි කරයි

    • Author, සාරා රේන්ස්ෆර්ඩ් - දකුණු සහ නැගෙනහිර යුරෝපය පිළිබඳ වාර්තාකාරිනිය, රෝමයේ ජෙමෙලී රෝහලේ සිට සහ ඔලිවියා අයර්ලන්ඩ්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

XIV වන ලියෝ පාප් වහන්සේට පෙනහලු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, උන්වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කිරීම සඳහා සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වී ඇති බව වතිකානය නිකුත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වේ.

71 හැවිරිදි උන්වහන්සේ අඟහරුවාදා රෝමයේ ජෙමෙලී රෝහලේදී විනාඩි 90ක සැත්කමකට භාජනය වූ අතර, ඉන් අනතුරුව ඔහුට පෙනහලු ග්‍රන්ථිමය ශෛල පිළිකා (lung adenocarcinoma) තත්ත්වයක් ඇති බව හඳුනා ගැනිණි.

"ශල්‍යකර්මය සාර්ථක වූ අතර කිසිදු සංකූලතාවක් ඇති නොවිණි," යැයි වතිකානය පැවසීය. "ශල්‍යකර්මයෙන් පසු පාප් වහන්සේ සාමාන්‍ය පරිදි අවදි වූ අතර, කෙටි කාලයක් නිරීක්ෂණයට ලක්වීමෙන් අනතුරුව තම කාමරය වෙත ආපසු පැමිණියා," යැයි ද එහි වැඩිදුරටත් සඳහන් විය.

වතිකානය විසින් "සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ" ලෙස හඳුන්වා ඇති පරීක්ෂණ අතරතුරදී මෙම ගැටිත්ත මුලින් ම හඳුනා ගැනිණි. පාප් වහන්සේ සතියක පමණ කාලයක් රෝහල්ගතව සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාප් වහන්සේ දැක ගැනීමේ අපේක්ෂාවෙන් විශාල ජනකායක් රෝහලෙන් පිටත පැය ගණනාවක් බලා සිටියහ.

පාප් වහන්සේ රැගත් මෝටර් රථය ගමන් කරද්දී, එහි පිටුපස පහත් කර තිබූ වීදුරුව තුළින් උන්වහන්සේ ජනතාවට අත වනමින් සිනහවකින් ප්‍රතිචාර දැක්වූහ. එහිදී ජනතාව ද ප්‍රීති ඝෝෂා නගමින් උන්වහන්සේට සුබ පැතුම් එක් කළහ.

පසුව, රෝහලේ පියගැටපෙළ අසලදී කාර්ය මණ්ඩලය විසින් පාප් වහන්සේ පිළිගනු ලැබිණි. "මට කනගාටුයි," යනුවෙන් ඔවුන්ගෙන් අයෙක් සිය කනගාටුව පළ කළේ ය. ඊට පාප් වහන්සේ සිනහවකින් සහ උරහිස් අකුළා ඔසවා ප්‍රතිචාර දැක්වූහ. "අපි ඔබ වෙනුවෙන් මෙහි සිටිනවා," යනුවෙන් ඔවුහු උන්වහන්සේට සහතික කළහ.

වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, ශල්‍යකර්මය මගීන් රෝගී පටක සම්පූර්ණයෙන් ඉවත් වීම සහතික කිරීම සඳහා පාප් වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස සම්පූර්ණයෙන් ම ඉවත් කළ බව ය.

පිළිකාව ශරීරයේ වෙනත් කොටස්වලට පැතිරී ඇති බවට කිසියම් සලකුණක් තිබේදැයි සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව වතිකානයේ ආරංචි මාර්ගයක් AFP පුවත් සේවයට පවසා තිබේ.

ඉරිදා දිනයේදී සිය ශල්‍යකර්මය පිළිබඳ පුවත ලොවට ප්‍රකාශ කළේ, XIV වන ලියෝ පාප් වහන්සේ ම ය. ඒ, සාම්ප්‍රදායික ඇන්ජලස් ආශීර්වාදය ලබා දීමෙන් අනතුරුව, ශාන්ත පීතර චතුරශ්‍රයේ බැල්කනියේ සිට අදහස් දක්වමිනි.

තම පෙනහලුවේ තිබූ ගැටිත්ත හෙවත් අසාමාන්‍ය පටක වර්ධනය "එම ස්ථානයට සීමා වී තිබූ" බවත්, එය "ඉතා මුල් අවධියේදී ම" හඳුනාගත් බවත් පාප් වහන්සේ පැවසූහ. කෙසේ වෙතත්, එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් දුන් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ජෙමෙලී රෝහලේ උරස් ශල්‍යකර්ම කණ්ඩායම පාප් වහන්සේගේ ශල්‍යකර්මය සිදු කර තිබේ. උන්වහන්සේට සුවය ලැබීම සඳහා කාලය ලබා දීමේ අරමුණින් ඔක්තෝබර් 20 වන දා දක්වා වූ සියලු නිල කටයුතු දැනටමත් අවලංගු කර ඇත.

පෙනහලුවල ගැටිති ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, ඒවා සෑම විට ම පිළිකාමය තත්ත්වයන් නොවන බව වතිකානය පවසයි. කෙසේ වෙතත්, ශල්‍යකර්මයට පෙර සිදු කළ පරීක්ෂණවලදී සැක කළ පරිදි ම, වැඩිදුර පරීක්ෂාවෙන් පසු එය පෙනහලු ඇඩිනොකාසිනෝමා (pulmonary adenocarcinoma) නම් පිළිකා වර්ගයක් බව වෛද්‍ය කණ්ඩායම තහවුරු කර තිබේ.

සාමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට සැලකෙන පාප් වහන්සේට ආසාදනයක හෝ රෝගී තත්ත්වයක කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ බව වතිකානය අවධාරණය කර ඇත.

ටෝකියෝවේ කාදිනල් කිකුචි ටාර්සිසියෝ ඉසාවෝ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, තමන් සඳුදා පාප් වහන්සේව හමුවූ බවත්, උන්වහන්සේට ශාරීරිකව "කිසිදු අපහසුතාවක්" නොතිබූ බවත්ය.

නොවැම්බර් මස මුලදී ලතින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ බැවින්, හැකි ඉක්මනින් ශල්‍යකර්මයට භාජනය වීමට පාප් වහන්සේ තීරණය කළ බව උන්වහන්සේ පැවසූහ. එම සංචාරක සැලසුමට අනුව කටයුතු කිරීමට ද පාප් වහන්සේ දැඩි කැමැත්තක් දැක්වූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙම සංචාරය විශේෂ වැදගත්කමක් උසුලන්නේ, ඊට පේරු රාජ්‍යයේ සංචාරයක් ද ඇතුළත් වන බැවිනි. පාප් වහන්සේ වසර ගණනාවක් මිෂනාරිවරයෙකු ලෙසත්, පසුව රදගුරුවරයෙකු ලෙසත් සේවය කර ඇත්තේ පේරු රාජ්‍යයේ ය.

සියල්ල යහපත් වනු ඇති බවට සහතික කිරීම් තිබියදීත්, මෙම පුවත ලොව පුරා කතෝලික බැතිමතුන් අතර දැඩි කම්පනයක් ඇති කර තිබේ.

"මම කණස්සල්ලට පත්වෙලා ද? ඔව්. මොකද මෙවැනි දෙයක් කිසිසේත් ම බලාපොරොත්තු වුණේ නැහැ," යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් පැරොලින් කාදිනල් හිමි අඟහරුවාදා මාධ්‍යවේදීන්ට පැවසූහ.

මෙම පුවත "අහසින් කඩා වැටුණු හෙණයක් වැනි" අනපේක්ෂිත සිදුවීමක් බව පිළිගත් කාදිනල් පරොලින් හිමි, පාප් වහන්සේ තුළ දක්නට ලැබුණු "සන්සුන් බව" කාදිනල්වරුන්ගේ සිත් ගත් බව පැවසූහ. එමෙන් ම, උන්වහන්සේ සුවය ලබනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කාදිනල් හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

පාප්වරුන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කර ඇති සහ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේගේ විශාල ප්‍රතිමාවක් ද පිහිටි ජෙමෙලී රෝහලෙන් පිටත, ලියෝ පාප් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසුව කතෝලික බැතිමතුන් කිහිප දෙනෙක් රැඳී සිටියහ.

කාර්ලා විශේෂයෙන් ම එහි පැමිණ සිටියේ උන්වහන්සේට සමීපව සිටීමට ඇති කැමැත්ත නිසා ය.

"උන්වහන්සේ සන්සුන්ව සිටින බව පෙනෙන නිසා අපිත් සන්සුන්ව සිටිනවා. අසනීප වීම කවදත් අමිහිරි අත්දැකීමක් වුණත්," ඇය බීබීසීයට පැවසුවා ය. "අපි මෙතැන ඉඳගෙන යාච්ඤා කරනවා."

"ඔහු එම නිවේදනය කරන විට මම ශාන්ත පීතර චතුරශ්‍රයේ සිටියා, මට ඇත්තෙන් ම ඉතා කනගාටුදායක හැඟීමක් ඇති වුණා," යැයි එහි සිටි එල්සා පැවසුවා ය.

"මම ඇත්තෙන් ම පුදුමයට පත් වුණා," ලියෝ පාප් වහන්සේ තෝරා පත් කර ගැනුණු අවස්ථාවේදී උන්වහන්සේ වඩාත් තරුණ හා නිරෝගී පාප් වහන්සේ නමක් වනු ඇතැයි තමා සිතා සිටි බව ඇය පැවසුවා ය.

"ඔහුත් අවදානමට ලක්විය හැකි අයෙකු කියලා දැන් පැහැදිලි වෙනවා," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවා ය.