ශිරන්තිට කරන බව කී හෘද සැත්කම ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් නීතියට පටහැණි ලෙස "සිරිලිය සවිය" ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ලබන ඔක්තෝබර් 16 වන දින දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

මෙම සැකකාරියට ඇතැයි කියන රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩිදුර වෛද්‍ය වාර්තා ලබන එදින කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, එතෙක් සැකකාරියගේ ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද පැවසුවේ ය.

මෙම පැමිණිල්ල අද (ඔක්. 13) කැඳවූ අවස්ථාවේදී සැකකාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාර ශිරන්ති රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ය.

'සැකකාරිය මුදල් පරිත්‍යාග ඉල්ලා තිබෙන්නේ රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් යොදා ගෙන'

මෙම පැමිණිල්ල අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනි, අපරාධ විමර්ශන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම එකඟතා ගිවිසුමකට එළඹ ප්‍රථම වතාවට මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.

"කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමේ මුවාවෙන් මුදල් රැස්කිරීම සම්බන්ධව තමයි මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ. ඒ අනුව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ මෙම විමර්ශන සිදු කරනු ලබනවා.

"2011.12.08 වන දා 'කාල්ටන් සුව උදාන' නමැති ව්‍යපෘතියක් හරහා මෙම ස්කෑන් යන්ත්‍රය ලබා දීම සදහා එවකට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමු කරනවා.

"සෙලාන් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනවලට එම ලිපි යොමු කර තිබෙනවා. ඒ අනුව මෙම ස්කෑන් යන්ත්‍රය ලබා දීම සඳහා රුපියල් මිලියන 140ක මුදලක් අවශ්‍ය බව සඳහන්ව තිබුණා. පසුව එය වාචිකව රුපියල් මිලියනය 50 දක්වා සංශෝධනය කර තිබෙනවා.

"හිටපු ජනාධිපති ආර්යාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරන්න තීරණය කරනවා. ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නේ 2010 වසරේ දෙසැම්බර් මස 30 වන දා.

"නමුත් මේ මුදල බැර කරන්නේ කාල්ටන් සුව උදාන ගිණුමට නෙවෙයි. එවැනි ගිණුමක් නැති නිසා මරදාන, සුදු වැල්ල මහජන බැංකු ශාඛාවේ තිබෙන සිරිලිය සවිය ගිණුමට තමයි ඒ මුදල් බැර කෙරෙන්නේ.

"ඉන් පසුව චීන රජය විසින් ස්කෑන් යන්ත්‍රයක් අදාළ රෝහලට ලබා දෙනවා. පසුව එම ස්කෑන් යන්ත්‍රය තම සංවිධානය විසින් ලබා දෙන බව අඟවමින් එය මෙම සැකකාරිය විසින් අදාළ රෝහලට ලබා දෙනවා. සැකකාරිගේ පුත්‍රයෙකුගේ උපන්දිනය දා තමයි මෙම ස්කෑන් යන්ත්‍රය ලබා දෙන්නේ.

"එම උත්සවයට පළමුවන සැකකරු වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාටත් ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම එම වකවානුවේ ළමා රෝහලේ සේවය කළ රාජමන්ත්‍රී සහ රත්නසිරි යන වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එම ප්‍රකාශවල අදාළ වෛද්‍යවරු පැහැදිලිව ම ප්‍රකාශ කරලා තිබෙනවා කිසිදු අවස්ථාවක එම රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලෙස සිරිලිය සවිය සංවිධානය වෙත ඉල්ලීමක් කර නොතිබූ බව."

ඒ අනුව අදාළ මුදල් සැකකාර ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික අවශ්‍යව මත ලබාගෙන තිබෙන බවට පෙනී යන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරල්වරයා මෙසේ ද පැවසීය.

"2006 වසරේ මෙම සංවිධානය මුලින් ම ස්ථානය කෙරුණේ 'ශිරන්ති නවෝදය' නමින්. පසුව මාස කීපයකින් එය 'සිරිලිය සවිය' නමින් වෙනස් කරගනු ලැබුවා. මෙවැනි සංවිධානයක් රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යි.

"නමුත් මේ සංවිධානය විධිමත්ව ලියාපදිංචි කරලා නැහැ. එම සංවිධානයට අදාළ ගිණුම් වාර්තා, වාර්ෂික වාර්තා ආදිය විධිමත්ව භාර දී නැති බවටත් විමර්ශනවලදී කරුණු හෙළි වී තිබෙනවා. මෙම සංවිධානය සඳහා මෙම සැකකාර ශිරන්ති රාජපක්ෂ මුදල් පරිත්‍යාග ඉල්ලා තිබෙන්නේ රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් යොදා ගෙන.

"එම සංවිධානයේ කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය සහ දුරකතන අංකත් යොදාගෙන තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය යොදා ගන්නේ කෙසේ ද? මෙවැනි මුදල් රැස්කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ලාංඡනය සහිතව ලිපි ශීර්ෂ භාවිත කරන්නේ කොහොම ද? රාජ්‍ය ආයතන වෙත බලපෑමක් ඇති කරන්නයි මේ ආකාරයට රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂ යොදාගෙන තිබෙන්නේ.

"ස්වාමීනී මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නෑ. සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා."

මේ නිසා සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'ශිරන්තිට විවෘත හදවත් සැත්කමක්'

ඉන් අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය:

"ස්වාමීනී, මෙම සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.

"මෙම සැකකාරිය හෘද රෝග තත්ත්වයෙන් පසුවන තැනැත්තියක්. 2019 වසරේ සිට ඇයගේ හෘදයේ වාහිනී තුනක් අවහිර වි තිබෙන නිසා සිංගප්පූරුවටත් ගොස් ප්‍රතිකාර ලබා තිබෙනවා. ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

"ඇය මේ අවස්ථා වන විට විවෘත හදවත් සැත්කමකට යටත් වෙමින් තිබෙන බවට මට උපදෙස් ලැබී තිබෙනවා. ඉතින් මේ කරුණ සුවිශේෂි කරුණක් සේ සලකා ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මගේ වෘත්තීය ජීවිතයේ මේ තරම් සුවිශේෂී කරුණක් මට හමුවෙලා නැහැ.

"ශිරන්ති රාජපක්ෂ කියලා නිකන් රිමාන්ඩ් භාරයේ තියා ගන්න බෑ. එම නිසා අදාළ කරුණ සුවිශේෂී කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පැවසීය:

"ස්වාමීනී, මෙම සැකකාරියගේ පෙර හැසිරීම සම්බන්ධයෙන් අපි සලකා බැලිය යුතු යි. ඉකුත් සැප්තැම්බර් මස 10 වන දා අපි උපදෙස් ලබා දුන්නා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මෙම තැනැත්තිය සැකකාරියක ලෙස නම් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස.

"පසුව 11 වන දා ඇය නවලෝක රෝහලට ඇතුළත් කළා. පසු දා මධ්‍යම රාත්‍රීයේ ඇය සිංගප්පූරුව බලා පිටත් වෙනවා. එම අවස්ථාවේදී ගුවන් තොටුපළේදී අපි 109 වගන්තිය යටතේ නොතීසි ලබා දෙනවා ඉකුත් 24 වන දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කරන ලෙස. ඉන් අනතුරුව තමයි ඇය ඇසේ ප්ලාස්ටර් දමාගෙන අධිකරණයට පැමිණියේ."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ශිරන්ති රාජපක්ෂ එම අවස්ථාවේදී විවෘත හදවත් ශල්‍ය කර්මයකට භාජනය වෙමින් සිටින්නේ දැයි පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතර පසුව, මෙම නඩුව පස්වරු 2.00ට කැඳවන ලෙස නියම කළේ ය.

'සැකකාරිය විවෘත හදවත් සැත්කමකට භාජනය වී ඇති බවක් එහි සඳහන් වන්නේ නැහැ'

ඉන් පසුව නඩුව දහවල් කැඳවූ අවස්ථාවේදී අධිකරණය කළ නියෝගයකට අනුව සැකකාර ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කොළඹ ජාතික රෝහල විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම වෛද්‍ය වාර්තාව පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය කියා සිටියේ;

"මෙම වෛද්‍ය වාර්තාව මා පරීක්ෂා කළා. මේ අවස්ථාවේදී සැකකාරිය විවෘත හදවත් සැත්කමකට භාජනය වී ඇති බවක් හෝ, එවැනි සැත්කමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් හෝ එහි සඳහන් වන්නේ නැහැ. එම සැකකාරිය 'එන්ජියෝග්‍රෑම්' පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා," යනුවෙනි.

ඒ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙලෙස පැවසීය:

"ස්වාමීනී, මෙම සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඉන්පසුව ඉකුත් සැප්තැම්බර් මස 16 වන දා විදේශගත වුණා. එතැන් පටන් දින විස්සක් පමණ ඇය සිංගප්පූරුවේ රැඳී සිටියා. ඇයගේ ධමනිවල අවහිර වීම් තිබෙනවා නම් ඒ සඳහා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබුණා. නමුත් එසේ කරලා නැහැ.

"බන්ධනාගාරගත කළාට පස්සේ තමයි මේ හෘද පරීක්ෂණය සිදුකර තිබෙන්නේ. ස්වාමීනී, මෙවැනි පරීක්‍ෂණයක් හෝ සැත්කමක් සිදු කිරීමට සාමාන්‍ය පුරවැසියන් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු යි. ඇය සඳහා දැන් වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. මේ සැකකාරියට රුපියල් ලක්ෂ පනහක්-හැටක් වියදම් කරලා පරීක්ෂණ, ශල්‍යකර්ම සිදුකිරීමට අවස්ථාව සැලසී තිබෙනවා.

"ඒ නිසා ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලැබෙමින් පවතිනවා. ඒ අනුව ඇයට පවතින රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් හැටියට සලකන්න බැහැ. අපි කියන්නේ නැහැ ඇයව රෝහලින් ඉවත් කරලා බන්ධනාගාරගත කරන්න කියලා. මම කියන්න කැමතියි මේක සම්පූර්ණයෙන් ම සැකකාරිය විසින් සුවිශේෂි කරුණු නිර්මාණය කර ගැනීමට දරන උත්සහයක් කියලා."

ඉන් අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය:

"ස්වාමීනී, මේ වෛද්‍ය වාර්තා අනුව ඇයට රෝගී තත්ත්වයක් තිබෙන බව පෙනී යනවා. එය සුවිශේෂී කරුණක් හැටියට සලකා ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. බන්ධනාගාරගතව සිටියොත් ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් ඉල්ලා වෙන්න පුළුවන්. ඇතැම් අයට අවශ්‍යව ඇති ඇය බන්ධනාගාරය තුළ මැරිලා යනවා දකින්න."

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙලෙස සඳහන් කළේ ය:

"මෙම සැකකාරිය අද පෙරවරුවේ මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන මා විසින් මෙම වෛද්‍ය වාර්තාව කැඳවනු ලැබුවා. මේක පිටු තුනක වාර්තාවක්. එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා මේ අවස්ථාවල විට මේ සැකකාරිය හදවත් සැත්කමකට භාජනය කර නොමැති බවට.

"නමුත් ඇයට රෝගී තත්ත්වයක් පවතින බව සඳහන් වෙනවා. සම්පූර්ණ වෛද්‍ය වාර්තා නොමැතිව ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නෑ. එසේ වුවහොත් ඇප ලැබීමෙන් පසුව සැකකාරිය බන්ධනාගාර රෝහලින් හෙට දින පිටව ගියහොත් ඒ තුළින් අධිකරණය පිළිබඳවත් අයහපත් මතයක් ඇති වෙන්න පුළුවන්.

"ඒ නිසා මේ සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳව වැඩිදුර වෛද්‍ය වාර්තාව ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මා නියෝගයක් නිකුත් කරනවා. එම වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නේ නැහැ."

ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා යළි මෙම නඩුව ලබන ඔක්. 16 වන දා කැඳවන ලෙස නියම කළේ ය.