ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බන්ධනාගාර තදබදය: 'දැන් හතර ගුණයකින් රැඳවියන් වැඩිවෙලා' 'සිය දෙනෙකුට තියෙන්නේ එක වැසිකිළිය යි'
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව 2026 වසරේ ජූලි 5 වන දා වන විට මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 41,257කි.
දිවයින පුරා ස්ථාපිත බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ගණන 10,500ක් බව 2024 වසරේදී බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් එවකට ධූරයේ කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.
මෙවන් පසුබිමක් තුළ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රමාණය ඉක්මවා රැඳවියන් රඳවා සිටින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන දිගින් දිගට ම චෝදනා කරයි.
'හතර ගුණයක් වැඩි යි'
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ, වර්තමානය වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ එකට හතරකට වඩා අධික පිරිසක් සිටින බව ය.
''දැනට ලංකාවේ තියෙන බන්ධනාගාර පද්ධතියේ ඉන්න රැඳවියන් සංඛ්‍යාව පවතින ධාරිතාවට වඩා හතර ගුණයකින් වැඩියි. දැනට තියෙන බන්ධනාගාරවල රඳවන්න පුළුවන් උපරිම ප්‍රමාණය 10,800ක් වුණත් මේ වෙද්දී 41,000කට වඩා අධික සංඛ්‍යාවක් ඉන්නවා."
"ආසන්නයේදී මීගමුව බන්ධනාගාරයේ ඇති වුණු සිදුවීමේදී ඒ බන්ධනාගාරයේ 2,400ක පිරිසක් රඳවා තිබිලා තියෙනවා. නමුත් ඒ බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් උපරිම ධාරිතාව 600 යි."
සාමාන්‍යයෙන් ගත්තා ම සිරකරුවරුන් 100 දෙනෙකුට පාවිච්චි කරන්න තියෙන්නේ එක වැසිකිළියක් විතර යි. ඒ වගේ ම නිදා ගන්න වෙලා තියෙන්නේ රෝටෙෂන් ක්‍රමයට," ඔහු පැවසුවේ ය.
මේ අතර, 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සහ 2020 වසරේදී මහර බන්ධනාගාරයේදී ඇති වූ සිද්ධිවලින් අනතුරුව රජය විසින් පත් කරනු ලැබූ කොමිෂන් සභා ලබා දී ඇති වාර්තාවලට අනුව බන්ධනාගාර තදබදය ඉවත් කිරීමට අවශ්‍ය පිළියම් ගන්නා ලෙස නිර්දේශ පවා ඉදිරිපත් කර ඇති බව ද නීතිඥ සේනක පෙරේරා මෙහිදී සඳහන් කළේ ය.
"රැඳවියන් අතර නොසන්සුන්තාවන් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන හේතුවක් තමයි මේ තියෙන බන්ධනාගාර තදබදය කියන එක කියලා ඒ කොමිෂන් වාර්තා වලින් පැහැදිලිව සඳහන් කරලා තිබුණා. මේ නිසා ඒ තදබදය ඉවත් කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා," ඔහු පැවසීය.
බන්ධනාගාර තදබදය ගැන රජයේ ප්‍රතිචාරය
බන්ධනාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් ඊයේ (ජූලි 07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙන් ම පාර්ලිමේන්තුවේදී ද රජයේ පාර්ශවයෙන් අදහස් පළ කෙරිණි.
කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් දක්වමින් පැවසුවේ, රට පුරා සිදුකරමින් පවතින මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් අත්අඩංගුවට පත්වන සංඛ්‍යාව වැඩි වී ඇති බව ය.
"බන්ධනාගාරවල තදබදයක් පවතිනවා. ඒක ඔබ අප සැම දෙනා ම දන්න සත්‍යයක්. ඒක මේ අද ඊයේ පැන නැගුණ එකක් නෙවෙයි. 11,000ක් තියා ගන්න පුළුවන් බන්ධනාගාරවල 2024 සැප්තැම්බර් මාසය පමණ වන විටත් 28,000කට 29,000කට ආසන්න ගණනක් හිටියා."
"දැන් පහුගිය දවස්වල 'රට ම එකට' මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා නීතිය ක්‍රියාත්මක කරමින් අත්අඩංගුවට ගැනීම් නිසාම තව සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා 41,000 දක්වා," ඔහු සඳහන් කළේය.
කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, බන්ධනාගාරවල රැඳවියන් ගණන වැඩිවීම මෙන් ම ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොමැති වීම ද ගැටලුවක් බව ය.
'නීතිය වෙනස් කරන්න අවශ්‍ය යි'
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටින රැඳවියන්ගෙන් 65%ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් බවත්, ඔවුන් බන්ධනාගාරගත නොකර ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවත් සිරකරුවන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා වැඩිදුරටත් පැවසීය.
"දැනට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය තමයි වැඩියෙන් ම බන්ධනාගාරවල ඉන්නේ. සාමාන්‍යයෙන් ගත්තා ම 65%ක් විතර ඉන්නවා. මේ අයව බන්ධනාගාරගත කරන එකට වඩා ඔවුන් ඒ තත්ත්වයෙන් මුදවා ගන්න කරන්න පුළුවන් හොඳ ම දේ තමයි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන එක."
සාමාන්‍යයෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන පනත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට වඩා තිබ්බ ම නඩු පවරන්නේ අභියාචනාධිකරණයේ. එහෙම නඩු පවරපුවා ම ඒ මත්ද්‍රව්‍ය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාව එන්න මාස 06ක් හරි අවුරුද්දක් වගේ කාලයක් යනවා. එතකම් මේ රැඳවියන් බන්ධනාගාරගත වෙලා ඉන්න ඕන. අනිත් කරුණ තමයි ඉස්සර මත්ද්‍රව්‍ය ගැන ඇප ගන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයෙන්. මේ නිසා පවතින නීතිය වෙනසක් කරන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා," ඔහු පැවසුවේය.
ඉදිරියේදී අධිකරණ අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?
මෙරට බන්ධනාගාරවල තදබදයට පිළියම් යෙදීම සඳහා පවතින ඉඩකඩ වැඩි කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අඟහරුවාදා (ජූලි 7) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.
එහිදී ඔහු පැවසුවේ, නිවාස අඩස්සියේ තැබීමේ පනත පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව ය.
එමගින් රිමාන්ඩ් භාරයට පත් කරන සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විද්‍යුත් අධීක්ෂණ උපකරණ යොදා නිවාස අඩස්සියේ තැබීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.
"බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගැනීම් ද සිදුවෙමින් පවතිනවා. නමුත් රාජ්‍ය සේවය තවදුරටත් ආකර්ෂණීය තැනක් නෙවෙයි. හොඳ පාසල්වල පුද්ගලයින් තවදුරටත් බන්ධනාගාරවලට අයැදුම් කරන්නේ නැහැ, මොක ද ඒක ආකර්ෂණීය නොවන නිසා. රැකියා ඉල්ලීම් විශාල විදිහට අඩු වෙලා තියෙනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.
බන්ධනාගාර ආශ්‍රිත ගැටලු විසඳීමට රජය පියවර ගෙන තිබුණ ද එහි ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, ගාල්ල මහමෝදර රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් බවට පත් කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය ද අධිකරණ අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.