මීගමුවේ සිට වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන් දෙදෙනෙක් මියයති; එ.ජා. සංවිධානයේ අවධානය: මෙතෙක් අප දන්නේ මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙනත් බන්ධනාගර වෙත රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙකු පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බවට සිරකරු අයිතිවාසිකම් කමිටුව චෝදනා කරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු සහ ගාල්ල බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙකු මෙලෙස මිය ගොස් ඇති බව ඔවුහු පවසති.

සිරකරු අයිතිවාසිකම් කමිටුව ඊයේ දිනයේ (ජූලි 07) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කළේ, මෙලෙස බන්ධනාගාරවලට මාරු කර යැවූ රැඳවියන්ට දරුණු වධ හිංසා සිදු කරමින් සිටින බව ය.

'අඟුණුකොළපැලැස්සට ගෙන ගිය රැඳවියන්ගේ කකුල් කඩා දමලා'

මීගමුව බන්ධනාගරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය රැඳවියන්ට "පහර දී ඔවුන්ගේ කකුල් කඩා දමා ඇති බවටත්, මෙලෙස අමානුෂික පහරදීම් නිසා ඔවුන්ගේ පිටවල් පැලී බරපතළ තුවාල සිදුවී ඇති බවත්," ඔවුන්ට දැනගන්නට ලැබුණු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, බීබීසී සිංහල විසින් කරන ලද විමසීමකදී එහි සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන්ට සිදු කළ බව කියන පහරදීම්වල සාක්ෂි මකා දැමීමට එම බන්ධනාගාර පරිපාලනයන් කටයුතු කරමින් සිටින බවට ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇති බව ය.

වෙනත් බන්ධනාගාරවලට යැවීමෙන් පසුව රැඳවියන්ට වධ හිංසා සිදුව ඇති බව ඔහු පවසයි.

"ඒ බන්ධනාගාරවලදී මේගොල්ලොන්ගෙන් පළිගැනීම් ක්‍රියාත්මක වෙනවා. පළිගැනීම්වල ප්‍රතිඵලයක් විදිහට ඊයේ රෑ වැලිකඩදී එක්කෙනෙක් ඝාතනය වෙනවා. මීගමුවෙන් අරන් ආව අවිශ්ක කියලා කෙනෙක් ඝාතනය වෙනවා... අඟුණුකොළපැලැස්සේ රබර් බට අරගෙන පිටවල් ලෙලි යන්න ගහනවා," ඔහු පැවසුවේ ය.

"දැනට දෙන්නෙක් ඝාතනය වෙලා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ."

'රැඳවියන් දෙදෙනා මිය ගියේ අසනීප තත්ත්ව නිසා'

මෙම චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් බන්ධනාගර දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කරන ලද අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක ප්‍රකාශ කළේ, මෙම රැඳවියන් දෙදෙනා ම මිය ගොස් ඇත්තේ අසනීප තත්ත්වයන් හේතුවෙන් බව ය.

"ගාල්ලට අරන් ගිය එක්කෙනෙක් අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කළාට පස්සේ මිය ගිහින් තියෙනවා. වැලිකඩ එක්කෙනා මීගමුවෙන් දවස් පහ හයකට කලින් බන්ධනාගාර රෝහලට ප්‍රතිකාර සඳහා ගෙනාව එක්කෙනෙක්," ඔහු පැවසුවේ ය.

එහිදී බීබීසී සිංහල විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන්ට පහර දීමක් සිදුවන බවට ඔවුන්ට තොරතුරු ලැබී නොමැති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය රැඳවියාගේ මෘත ශරීරය, රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ජූලි 07 වන දින විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් දුෂ්කර මහජන සේවයක් ඉටු කරන අතර සිරකරුවන් රාජ්‍ය රැකවරණය යටතේ සිටින බැවින් බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් යන දෙදෙනා ම ආරක්ෂාව ලැබිය යුතු බව එම ප්‍රකාශයේ සඳහන් වේ. කණ්ඩායම් දෙක ම ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීමක් බව එය අවධාරණය කරයි.

තදබදය, යල් පැන ගිය පිළිවෙත් සහ රැඳවුම් ස්ථානවල දුර්වල තත්ත්වයන් මෙම ගැටුමෙන් ඉස්මතු වන බව ද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන් ම මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීම ඔවුන් අගය කර තිබේ.