ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
මීගමුව බන්ධනාගාරයේ ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.
1. සිදුවූයේ කුමක් ද?
ජූලි මස 5 වන ඉරිදා මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ පළමු නොසන්සුන්තාව ඇති විය.
බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් ඊට හේතු වූ බව බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසීය.
ඉන් තුවාල ලැබූ රැඳවියන් 35 දෙනෙකු රෝහල්ගත කර තිබුණු අතර එදින රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මීගමුව දිස්ත්‍රික් රෝහල පැවසුවේ ය.
පසුව එම ගැටුම සමථයකට පත් කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එදින ම රාත්‍රියේ බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේ ය.
එදින සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින් අඟහරුවාදා (ජූලි 7) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර පැවසුවේ; "ජූලි 5 වන දා හැන්දෑව වෙනකොට මේ තත්ත්වය සහමුලින් ම පාලනය කරලා රැඳවියන් වාට්ටුවලට යොමු කරලා වසා දමලා, ආහාර පාන ලබා දීලා ඒ කටයුතු ඔක්කොම අවසන් කරලා තිබුණේ," යනුවෙනි.
ඊට පසු දින එනම් ජූලි 6 වන සඳුදා උදෑසන බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් ඔවුන්ගේ තත්ත්වය විමසීම සඳහා මීගමුව බන්ධනාගාරය අසලට රැස්ව සිටියහ.
එහි සිටි බීබීසී වාර්තාකරු සඳහන් කළේ, ඉන් යම් වේලාවකට පසු බන්ධනාගාරය තුළින් වෙඩි හඬ වැනි ශබ්දයක් ඇසුණු බව ය. ඒත් සමග එහි රැස්ව සිටි පිරිස කලබලයට පත්ව සිටි අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති ආකාරය නිරීක්ෂණය විය.
"පසු දා උදෑසන කියන්නේ සඳුදා දවසක්. ඒ දවසේ අධිකරණ කටයුතු තිබෙන දවසක්. කෑම ලබා දීලා ඒ කටයුතු ආරම්භ කරන්න තමයි නිලධාරීන් ප්‍රවේශ වෙලා තිබුණේ," බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
"ඒ වෙනකොට තමයි මේ රැඳවියන් මත්ද්‍රව්‍ය පානය කරලා සිහිවිකල් තත්ත්වයට පත්වෙලා තිබුණා කියලා දැන් අපිට අනාවරණය වෙලා තියෙන්නේ.
"ඒ රැඳවියන් අතර ඝට්ටනයක් ඇතිවෙලා. ඒක සමනය කරන්න ඒ නිලධාරීන් රාජකාරි කරන අතරතුර ඒ තැනට ප්‍රවේශ වෙලා තිබෙනවා.
"පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා සියලු විධිවිධාන යොදලා තිබුණේ. ඔය රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිත කරලා තිබෙන නිසා සිහි විකල් තත්ත්වයෙන් සිටියේ. කාන්තාවනුත් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තිබෙනවා," ඔහු තවදුරටත් සඳුදා දින සිදුවීම පිළිබඳව විස්තර කරමින් පැවසීය.
මෙම කාලය තුළ බන්ධානාගාර ප්‍රධාන දොරටුව වෙත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන නිලධාරීන් යන ආකාරය සහ බන්ධනාගාර රැඳවියන් එම දොර අසලට පැමිණ සිටි ආකාරය නිරීක්ෂණය විය.
පසුව එක් නිලධාරියෙකු ගිනි අවියකින් ප්‍රධාන දොරෙහි වූ කුඩා කවුළුවක් හරහා වෙඩි තැබීමක් සිදු කරන ආකාරය දක්නට ලැබිණි.
පසුව ප්‍රධාන දොරින් නිලධාරීන් ඒ තුළට ගමන් කරන ආකාරයත් දොර අසල සිටි රැඳවියන් බන්ධනාගාරය තුළට දිව යන ආකාරයත් නිරීක්ෂණය විය.
ඉන් යම් වේලාවකට පසු තුවාල ලැබූ බවට නිරීක්ෂණය වුණු පුද්ගලයින් බන්ධනාගාරය තුළින් ඉවතට රැගෙන එන ආකාරයත් ගිලන් රථ යොදා ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ආකාරයත් දක්නට ලැබිණි.
2. තුවාල ලැබූවන් සහ මිය ගිය ගණන කොපමණ ද?
අඟහරුවාදා (ජූලි 7) පෙරවරුව වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල කළ විමසීමකදී තහවුරු කළේ ය.
මියගිය පිරිස අතරින් 20 දෙනෙකු රැඳවියන් බවත්, සෙසු පුද්ගලයින් 7 දෙනා බන්ධනාගාර නිලධාරීන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ය.
මෙම නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 104 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර එම පුද්ගලයින් මීගමුව දිස්ත්‍රික් රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ය.
3. ගැටුමට ආසන්නතම හේතුව ලෙස බලධාරීන් පවසන්නේ කුමක් ද?
මෙම නොසන්සුන්තාවට මුල් වූ හේතුව සම්බන්ධයෙන් බීබීසී සිංහල බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායකගේ බීබීසී සිංහල විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රඳවා සිටි දෙපිරිසක් අතර ඇති වූ "ඝට්ටනයක්" ඊට මූලික හේතුව වී ඇති බව ය.
"අනිත් එක මීගමුව බන්ධනාගාරයේ යම්කිසි පාලනයක් තිබ්බා නේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. ඉතින් ඒවාට මේගොල්ලන්ගේ තිබ්බා දැඩි විරෝධතාවක්. ඉතින් ඒවත් එක්ක තමයි ඝට්ටනය ඇති වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි පහුව දා ආයෙත් ඝට්ටනයක් ඇති වෙන්නේ," ඔහු පැවසීය.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රැඳවියන් පාලනාධිකාරිය වෙත තොරතුරු ලබා දීමත් මීට හේතු වී ඇතැයි ද යන්න බීබීසීය ඔහුගෙන් විමසුවේ ය.
"වෙන්න පුළුවන්. යම් තොරතුරු පාලනාධිකාරියට දෙන්න ඇති. ඉතින් ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගැටලුවක් නේ. ඒවා නිසා පහර දීපු කොටසකුත් ඇති," ඔහු සඳහන් කළේ ය.
නමුත් මෙම "ඝට්ටනයට" මූලික වශයෙන් ඇතිවී ඇත්තේ, මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි රැඳවියන් දෙපිරිසක් අතර බවත් සිද්ධිය පිළිබඳව "සියලු තොරතුරු අනාවරණය කර ගත හැක්කේ" විමර්ශනවලින් අනතුරුව බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර, මෙවැනි නොසුන්සුන්තාවක් ඇතිවීම සම්බන්ධයෙන් "බුද්ධි තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අඟහරුවාදා (ජූලි 7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් අඟහරුවාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර ඊට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
ප්‍රශ්නය: දින තුන හතරකට කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ද මෙහෙම සිද්ධියක් වෙන්න යනවා කියලා?
පිළිතුර: බුද්ධි වාර්තා කියන්නේ කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා. ඒවට අවශ්‍ය කටයුතු ආයතනය සකස් කරලා තිබ්බේ. රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොවන විදිහට අවශ්‍ය පිළියම් යොදන්න තමයි නිලධාරීන් යොදවලා තිබ්බේ. ඇත්ත වශයෙන් ම නිලධාරීන් යොදවපු නිසා තමයි, මේ වෙච්ච් හානිය අඩු කර ගන්න හැකියාව ලැබුණේ.
මෙම මාධ්‍ය හමුව අතරතුර තවත් මාධ්‍යවේදියෙකු එම ප්‍රශ්නය නැවත මතු කළ අතර එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ, එවැනි බුද්ධි තොරතුරක් ලැබී නොතිබුණු බව ය.
ප්‍රශ්නය: මේ වගේ සිද්ධියක් වෙලත් කිසි ම බුද්ධි තොරතුරක් බන්ධනාගාර බුද්ධි අංශවලට ලැබිලා තිබුණේ නැද්ද මේ වගේ ප්‍රහාරයක් සහ මේ වගේ ගැටුමක් ඇති වේවි කියලා?
පිළිතුර: නෑ, එහෙම බුද්ධි තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ. අපි බන්ධනාගාර නිලධාරීන් විදිහට ඇත්තට ම රැඳවියන්ගේ අවශ්‍යතා ගැන පළමු කොට හිතලා තමයි, මොවුන් දන්නවා දැන් අනිවාර්යයෙන් සඳුදා දිනයේ මොවුන්ගේ ඥාතීන් පැමිණෙනවා. ඒකට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ගෙවල්වලින් කෑම ගේනවා. ඔවුන්ට හිත මිත්‍රාදීන්ට කතා කරන්න ඕනේ. ඔය ටිකට අපි විසඳුමක් නොදුන්නොත් තවත් මේ රැඳවියෝ නොසන්සුන් වෙනවා. ඒ නිසා තමයි අපි ඒ සුපුරුදු රාජකාරි කටයුතු, ක්‍රියාවලි බන්ධනාගාරයේ කරගෙන ගියේ.
4. ඩෙංගු ගැන නගන චෝදනාවලට බලධාරීන්ගේ ප්‍රතිචාරය කුමක් ද?
බන්ධනාගාරය තුළ ඩෙංගු රෝගීන් සිටින අතර ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා නොදෙන බවටත් ඇතැම් රැඳවියන් ඩෙංගු රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් නොසන්සුන්තාව ඇතිවූ පළමු දින බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන් කිහිප දෙනෙක් චෝදනා කළහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ද බීබීසී සිංහල බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාරය තුළ ඩෙංගු රෝගීන් සිටිය ද ඔවුන්ගෙන් කිසිවෙකුත් මියගොස් නොමැති බව ය.
"ඩෙංගු රෝගීන් කවුරුවත් මිය ගිහිල්ලා තිබ්බේ නැහැ මම දන්න විදිහට. එහෙම නම්, අධිකාරීතුමා වාර්තා කරලා තියෙනවා නේ.
"ඩෙංගු රෝගීන් ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ රෝහල්ගත කරලත් තියෙනවා. ඒගොල්ලෝ සුව වෙලා නැවත බන්ධනාගාරයට ඇවිල්ලත් තියෙනවා. ඩෙංගු රෝගීන් මිය ගියා කියලා නම් මට වාර්තා වෙලා නැහැ. ඔහු පැවසුවේ ය.
මේ අතර, අඟහරුවාදා (ජූලි 7) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර පැවසුවේ: "ඩෙංගු සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු ඉන්නවා, ඔවුන් ඒවා සුපුරුදු විදිහට අනුගමනය කරමින් සිදුකරලා තිබෙනවා," යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ද ඊට ප්‍රතිචාර දැක්වීය.
"ඩෙංගු හැදිලා 40ක් මරණයට පත් වෙලා නම්, මෘත දේහ තියෙන්න ඕනේ නේ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම දෙයක් වෙලා නැහැ.
"ඕනෑ ම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඉන්නවා. උණ රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ එහේ වාර්තා වෙලා තිබුණේ එක්කෙනෙයි. ඒ අයටත් ප්‍රතිකාර කළා.
"ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ," කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
5. බන්ධනාගාරවල ධාරිතාව ගැටලුවක් ද?
දිවයින පුරා පවතින බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ගණන 10,500ක් බව 2025 වසරේදී බීබීසී සිංහල සිදු කළ විමසීමකදී එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව 2026 වසරේ ජූලි 5 වන දා වන විට මෙරට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සංඛ්‍යාව 41,257කි.
මේ අතර බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ, නොසන්සුන්තාව ඇතිවන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400ක් පමණ රඳවා සිටි බව ය.
"මීගමුව බන්ධනාගාරයේ 2,400ක් විතර රැඳවියන් ඉදලා තියෙනවා. ඒ බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් රැඳවියන් කොච්චර ද කියලා හරියට කියන්න මේ වෙලාවේ ඒ දත්ත මගේ ළඟ නැහැ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ පිළිබඳව අඟහරුවාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශ නලින්ද ජයතිස්ස ද අදහස් දැක්වීය.
"බන්ධනාගාරවල තදබදයක් පවතිනවා. ඒක ඔබ අප සැමදෙනා ම දන්න සත්‍යයක්. ඒක මේ අද ඊයේ පැන නැගුණ එකක් නෙවෙයි. 11,000ක් තියාගන්න පුළුවන් බන්ධනාගාරවල 2024 සැප්තැම්බර් මාසය පමණ වන විටත් 28,000කට 29,000කට ආසන්න ගණනක් හිටියා.
"දැන් පහුගිය දවස්වල 'රට ම එකට' මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා නීතිය ක්‍රියාත්මක කරමින් අත්අඩංගුවට ගැනීම් නිසා ම තව සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා 41,000 දක්වා," ඔහු සඳහන් කළේ ය.
කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, බන්ධනාගාරවල රැඳවියන් ගණන වැඩිවීම මෙන් ම ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොමැති වීම ද ගැටලුවක් බව ය.
6. තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබුවේ ඇයි?
නොසන්සුන්තාව ඇති වූ දෙවන දිනයේදී ආරක්ෂක අංශ ගිනිඅවි යොදා ගනිමින් වෙඩි තබන ආකාරය නිරීක්ෂණය වුණු අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය.
මේ පිළිබඳව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර අඟහරුවාදා (ජූලි 7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීය.
එහිදී කොමසාරින් ජනරාල්වරයා පැවසුවේ, බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරය තුළ ඇති පළමු යකඩ දොර කඩා, ලෑලි දොර අසලට පිවිස තිබූ බවත් ඔවුන් ලෑලි දොර කඩා එළියට පැමිණියේ නම් පාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවත් ය.
එමෙන් ම, යකඩ දොර කඩා පැමිණි රැඳවියන් ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඇති බවත් පසුව එම නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ රැඳවියන් එළියට පැමිණ පළා යාම වැළැක්වීම සඳහා ගත හැකිව තිබූ එක ම පියවර ලෙස ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම් සිදු කළ බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
"බන්ධනාගාර පරිශ්‍රය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා ඉස්සෙල්ලා ම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි තියෙන්නේ ලෑලි දොර.
"මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර පැත්තට. මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ. මේ රැඳවියන් යකඩ දොර කඩාගෙන මේ ලෑලි දොරත් කඩාගෙන එළියට ආවා නම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් දෙන්න බැහැ. ඒ ලෑලි දොර කඩාගෙන එළියට ආවා නම් ඔක්කෝ ම පැන යනවා. ඔක්කෝ ම එන්නේ සමාජයට. වෙන විනාශය ගැන කියන්න බැහැ.
"ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ජීවිත පරදුවට තියලා මේ විදිහට කටයුතු කළේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා.
"ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල ගණනක් ඇතුළේ රැඳවියන් අතර හිරවෙලා, ඔවුන් පහර දෙනවා. ඔවුන් ඒ පරිශ්‍රයට ප්‍රවේශ වුණේ අර රැඳවියන් අතර තියෙන ඝට්ටනය වළක්වලා ඔවුන් බේර ගන්න. ඒ නිලධාරිනුත් ඇතුළේ කොටුවෙලා.
"රැඳවියෝ ඒ වෙලාවේ තමයි යකඩ දොර කඩාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න තමයි නිලධාරියා ඒ ලෑලි දොරින් වෙඩි තැබීම කළේ," ඔහු පැවසීය.
7. ගැටුම පාලනය කර ගන්න බැරි වුණා ද?
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක බීබීසී සිංහල වෙත පැවසුවේ, මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශවලට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ය.
"ඔවුන් බන්ධනාගාරයේ දොරටුවල සවිකරලා තිබ්බ බොඩි ස්කෑනර් වගේ ම CCTV කැමරා එහෙම විනාශ කරලා තිබ්බා. අන්තිමේදී ඔවුන් ප්‍රධාන දොර ළඟට වෙනකම් ආව ම එතැනදී බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකතු වෙලා රැඳවියන්ට එතැනින් එහාට යන්න ඉඩ නොදී වැළැක්වූවා," ඔහු පැවසුවේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් නොසන්සුන්තාවට මූලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබුණු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (ජූලි 7) ප්‍රකාශයක් කරමින් පැවසුවේ ය.
"ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අය ඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහර දීමට ලක්ව මිය යන්නේ. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොම ද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේදී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.
8. වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් සංබ්‍යාව කොපමණ ද?
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක බීබීසී සිංහල වෙත පැවසීය.
අගුණකොළපැලැස්ස, බූස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරු කර යැවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
9. මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් ගැන තොරතුරු දැන ගන්නේ කෙසේ ද?
මෙම නොසන්සුන්තාවයෙන් මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් පිළිබඳ තොරතුරු මේ වන විටත් ඥාතීන්ට දැන ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව බීබීසීය කළ සොයා බැලීමකදී නිරීක්ෂණය විය.
ඒ අනුව, මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මීගමුව දිස්ත්‍රික් රෝහලේදී කටයුතු සලසා දී තිබේ.
තුවාල ලබා රෝහල්ගත කර ඇති රැඳවියන්ගේ නාම ලේඛනයක් මීගමුව රෝහල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අවශ්‍ය අවසර පත් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද බීබීසීයට නිරීක්ෂණය විය.
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති රැඳවියන්ගේ නාම ලේඛන ද ඥාතීන්ට බලා ගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
10. ඉදිරියේදී අධිකරණ අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?
මෙරට බන්ධනාගාරවල තදබදයට පිළියම් යෙදීම සඳහා පවතින ඉඩකඩ වැඩි කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අඟහරුවාදා (ජූලි 7) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.
එහිදී ඔහු පැවසුවේ, නිවාස අඩස්සියේ තැබීමේ පනත පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව ය.
එමගින් රිමාන්ඩ් භාරයට පත් කරන සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විද්‍යුත් අධීක්ෂණ උපකරණ යොදා නිවාස අඩස්සියේ තැබීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
"බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගැනීම් ද සිදුවෙමින් පවතිනවා. නමුත් රාජ්‍ය සේවය තවදුරටත් ආකර්ෂණීය තැනක් නෙවෙයි. හොඳ පාසල්වල පුද්ගලයින් තවදුරටත් බන්ධනාගාරවලට අයැදුම් කරන්නේ නැහැ, මොකද ඒක ආකර්ෂණීය නොවන නිසා. රැකියා ඉල්ලීම් විශාල විදිහට අඩු වෙලා තියෙනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.
බන්ධනාගාර ආශ්‍රිත ගැටලු විසඳීමට රජය පියවර ගෙන තිබුණ ද එහි ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ ය.