ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය ඉන්දියානු ජාතික රැඳවියා කවුද? මෙතෙක් හෙළිවූ තොරතුරු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර ඉන්දීය ජාතික රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මීගමුව බන්ධනාගාරයේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.
මියගිය මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා කාලයක් ගතවීම හේතුවෙන් ඔහුගේ මරණය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම ප්‍රමාද වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇති ඉන්දීය ජාතිකයා 2025 වර්ෂයේදී ගුවන් මාර්ගයෙන් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 908ක් මෙරටට රැගෙන ඒම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ කුමක් ද?
ජූලි මස 5 වන ඉරිදා මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ පළමු වරට නොසන්සුන්තාවක් ඇති විය.
බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ඊට හේතු වූ බව බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසීය.
ඉන් තුවාල ලැබූ රැඳවියන් 35 දෙනෙකු රෝහල්ගත කර තිබුණු අතර එදින රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මීගමුව දිස්ත්‍රික් රෝහල පැවසුවේ ය.
පසුව එම ගැටුම සමථයකට පත් කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එදින රාත්‍රියේ බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේ ය.
ඊට පසු දින, එනම් ජූලි 6 වන සඳුදා උදෑසන බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් ඔවුන්ගේ තත්ත්වය විමසීම සඳහා මීගමුව බන්ධනාගාරය අසලට රැස්ව සිටියහ.
එහි සිටි බීබීසී වාර්තාකරු සඳහන් කළේ, ඉන් අනතුරුව බන්ධනාගාරය තුළින් වෙඩි හඬ වැනි ශබ්දයක් ඇසුණු බව ය. ඒ සමග එහි රැස්ව සිටි පිරිස කලබලයට පත්වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති ආකාරය නිරීක්ෂණය වී තිබිණි.
එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවත්, පසුව එය පාලනය කිරීමට උත්සහ කළ බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් පහර දී කලහකාරී ලෙස ප්‍රධාන ගේට්ටුව දෙසට ගමන් කළ බවත්, එය අවහිර කිරීමට අවම බලය යෙදවීමට සිදුවූ බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
ඉන් මද වේලාවකට පසු තුවාල ලැබූ බවට නිරීක්ෂණය වුණු පුද්ගලයින් බන්ධනාගාරය තුළින් ඉවතට රැගෙන එන ආකාරයත්, ගිලන් රථ යොදා ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ආකාරයත් දක්නට ලැබිණි.
තුවාල ලැබූවන් සහ මිය ගිය ගණන කොපමණ ද?
බ්‍රහස්පතින්දා (ජූලි 9) පෙරවරුව වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල කළ විමසීමකදී තහවුරු කළේ ය.
මියගිය පිරිස අතරින් 20 දෙනෙකු රැඳවියන් බවත්, සෙසු පුද්ගලයින් 8 දෙනා බන්ධනාගාර නිලධාරීන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ය.
මෙම ගැටුමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවු රැඳවියන් තිදෙනෙකු වැලිකඩ, බූස්ස සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවලදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල වෙත තහවුරු කළේ ය.
පොලිසිය සඳහන් කළේ, මියගිය රැඳවියන්ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අනාවරණය කර ගත හැකි බව ය.