ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන් කවුද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 20 දෙනෙකු රැඳවියන් වන අතර ඉතිරි 7 දෙනා බන්ධනාගාර නිලධාරීන් වෙති.
මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අතර එක් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 6 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මිය ගිය බන්ධනාගාර නිලධාරීන් කවුද?
- ජේලර් එස්.එච්.ජී. චන්ද්‍රවංශ (මාලබේ)
- නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර (රඹුක්කන)
- නියාමක ඒ.ඩී. තරංග (බුලත්සිංහල)
- නියාමක ටී.එන්.ආර්. තිලකසිරි (මැදවච්චිය)
- නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන (මතව)
- නියාමක බී.එන්.එන්. තරංග (බලංගොඩ)
- නියාමක ආර්.පී.ආර්. සංජීව (මීරිගම)
තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන්
මේ අතර, බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊට අමතරව, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 6 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබති.
සිදුවූයේ කුමක් ද?
බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවට හේතුව එහි සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ ය.
ඉරිදා (ජූලි 5) වන දා මීගමුව බන්ධනාගාරයේ තුළ ගැටුමක් ඇතිව තිබුණු අතර බලධාරීන් පවසන පරිදි පසුව එය සමථයකට පත් කර තිබිණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සඳුදා (ජූලි 6) උදෑසන බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්තාවක් හට ගත් බව යි. එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට ද රැඳවියන් පහර දී තිබුණු බව ඔහු පැවසුවේ ය.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව ඇවිත් ඇති අතර රැඳවියන් ද ඔවුන් පසුපස "පන්නාගෙන විත් පහර දුන්" බව ඔහු කියා සිටියේ ය.
පසුව රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.