ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු

අනුර කුමාර දිසානායක
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

භික්ෂු සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා (ඔක්: 08) ත්‍රෛනිකායික මහා සංඝ රත්නය හමුවිය.

එහිදී, ඔහු සංඝ රත්නය හමුවේ කළ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

'බන්ධනාගාර ආඥා පනතේ අවධානය පොදු සිරකරුවන් වෙත'

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය.

"අපි අපේක්ෂා කළේ මේ තත්ත්වය සමනය කර ගන්නත්, මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහාත් අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ගන්න. එහිදී මං ආරම්භක පැහැදිලි කිරීමක් කළොත්, අපේ බන්ධනාගාර පාලනය වෙන්නේ එක්දාස් අටසිය හැත්තෑ හතේ සම්මත කළ ලද බන්ධනාගාර ආඥා පනතකින්. අටසිය හැත්තෑ හතේදී."

"විටින් විට ඒ පනත සංශෝධනය වෙලා තියෙනවා. ඒ වගේ මේ පනතෙන් බලය ලබා දීලා තිබෙනවා, 94 වගන්තියෙන් අමාත්‍යවරයාට පුළුවන් විටින්විට රෙගුලාසි පනවන්න. 2022 වසරෙත් රෙගුලාසි සංශෝධනය කරලා තිබෙනවා. ඒ වගේ ම බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා, අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව, බන්ධනාගාර කොමසාරිස්තුමාට පුළුවන් නිත්‍ය නියෝග පනවන්න. ඒ කියන්නේ බන්ධනාගාරය එදිනෙදා පවත්වාගෙන යන්නේ කොහොම ද කියලා. එහෙමනම් බන්ධනාගාර පද්ධතිය පාලනය වෙනවා පනතකින්, ඇමතිතුමා විසින් පනවන රෙගුලාසි විසින්, සහ ඇමතිතුමාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා විසින් පනවන නිත්‍ය නියෝග මතින් තමයි මේක පාලනය වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් හැමවිට ම මේක අවධානය යොමු කරලා තිබෙන්නේ අවස්ථාවක් දෙකක් ඇරුණුකොට, පොදු සිරකරුවන් පිළිබඳව."

"ඔය 216 වගන්තියේ විතරයි, සුවිශේෂී කොට අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන කතා කරන්නේ. ඒ නිසා රෙගුලාසි, අණපනත් සකස් කිරීමේ හැමවිට ම, පොදු සිරකරුවන් පිළිබඳව තමයි අවධානය යොමු කරලා තිබෙන්නේ. එහෙම නැතුව අර විශේෂ හාමුදුරුවන් වහන්සේලා එහෙම නැතිනම් අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන, වෙනත් විශේෂ අය කේන්ද්‍රගෙන සකස් වෙලා නෑ."

'රිමාන්ඩ් භික්ෂූන්ට ප්‍රශ්නයක් නෑ'

"බන්ධනාගාරයට යන අය ආකාර දෙකකින් ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාරගත වුණු අය. ඒ කියන්නේ උසාවියකින් වැරදිකරු වෙලා දඬුවම් නොලබපු අය. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන්ට මෙහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නෑ."

"මොක ද ඔබ වහන්සේලාටත් මතක ඇති, අපිට අර කටුනායකදී, අපේ හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක්, මත්කුඩු ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගත්තට පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්නේ. එනිසා උන්වහන්සේලා, බන්ධනාගාරයේ වැඩ සිටින්නෙත්, සිවුර දරාගෙන, ඒ වගේ ම උන්වහන්සේලා අධිකරණයට යොමු කරනව නම් යොමු කරන්නෙත් සිවුර දරාගෙන."

"මොක ද උන්වහන්සේලා රිමාන්ඩ් භාරයට පත්වෙලා තියෙන නිසා. නමුත් සිරකරුවන් බවට පත්වුණහම ඊට වඩා වෙනස්. සිරකරුවන් බවට පත්වුණහම ආකාර දෙකක් තියෙනවා. එකක් බරපතළ වැඩසහිත සිරදඬුවමක් නම්, සහ ලිහිල් වැඩසහිත සිරදඬුවුමක් නම්. ලිහිල් වැඩසහිත සිරදඬුවමකදී, බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරා ගන්න පුළුවන්."

'බරපතළ සිරදඬුවමකදී තත්ත්වය වෙනස්'

අනුර
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"බරපතළ වැඩසහිත සිරදඬුවමකදී එහෙම හැකියාවක් නෑ. බන්ධනාගාර විසින් ලබාදෙන, ඊට නියමිත ඇඳුම හැම දෙනා ම පාවිච්චි කරන්න ඕන. ඕක තමයි තියෙන නීතිය. එතකොට මෙතෙක් හැමදාමත් මේ නීතියට අනුව තමයි, සිරගතවූවන්ට කටයුතු කරලා තිබෙන්නේ. මේ වන විටත්, විටින්විට අපේ ස්වාමින් වහන්සේලා සිරගත වෙලා තිබෙනවා,

නිදහස් වෙලා තිබෙනවා. මෙහෙම විටින්විට සිද්ධ වෙලා තියෙනවා. මේ මොහොතේ ගත්තොත් මම හිතන්නේ හැටතුන් නමක් වගේ පිරිසක්, සිරගත වෙලා ඉන්නවා. විවිධ චෝදනා මත."

ඒවා අපිට ලිහිල් චෝදනා කියන්න පුළුවන්, අපරාධ ගණයේ චෝදනා වෙන්න පුළුවන්. කුමන හෝ චෝදනාව මත හැටතුන් නමක් සිරගත වෙලා ඉන්නවා. මේ අර රිමාන්ඩ් භාරයට පත්වූවන්ට අමතරව. එතකොට ඒ සිරගත වූ හැටතුන් නම, ඒ හැටතුන් නම ම වැඩවසන්නේ ඒ බන්ධනාගාරයෙන් ලබාදෙන ඇඳුම මත.

"මුන්වහන්සේ පමණක් නෙවේ. ඒ වගේ ම මුන්වහන්සේත් 2018 දී, බන්ධනාගාරගත වුණාට පස්සෙත්, සිරගත වුණාට පස්සේත්, ඒ ඇඳුම තමයි භාවිත කරල තිබෙන්නේ. එනිසා මම හිතන්නේ ඔබ වහන්සේලා නායක හාමුදුරුවන් වහන්සේලා යොමු කරන ලිපියෙන්, මට හිතෙන විදිහට සිරගත වෙලා ඉන්න ආකාරයේ ඇඳුමට වඩා ප්‍රශ්නය පැන නගින්නේ, බන්ධනාගාරයෙන් අපි උන්වහන්සේලා එළියට ගෙන ඒමයි. මම හිතන්නේ ඒක අධිකරණ ක්‍රියාමාර්ගවලට පමණක් නෙවේ, බන්ධනාගාරයෙන් බැහැර වන හැම අවස්ථාවකදී ම අපි සැලකිල්ලට භාජනය කරන්න ඕන. මොක ද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්."

"හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය, පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට ප්‍රශ්නය පැන නැගුණේ කොහොම ද බැහැරට අරගෙන එන්න කියලා. එහෙම ම බැහැරට අරගෙන එන්න තිබුණු ක්‍රියා පටිපාටිය තම යි අනුගමනය කරලා තියෙන්නේ. මීට පෙරත්, දැන් ඉන්න හැටතුන් නම දෙනා ගැනත් විමසා බැලුවා. සමහර හාමුදුරුවන් වහන්සේලා, මොක ද සිරදඬුවම් ලබලා තියෙන්නේ එක වරදකට නේ."

"එතකොට එක වරදකට පමණක් නම් උන්වහන්සේ ගොදුරු වෙලා ඉන්නේ, උන්වහන්සේ සිර ජීවිතය ගත කරනවා. හැබැයි උන්වහන්සේ සිරගත වෙලා ඉන්න ගමන් තවත් වැරදි තියෙනවා නම්, ඒ වැරදිවලට උන්වහන්සේලා අධිකරණයට කැඳවන්න ඕනැකමක් තියෙනවා. දැන්ටත් සිරගත වෙලා ඉන්න හැටතුන් දෙනාගෙන් යම් පිරිසක්, ඒ වරද විතරක් නෙවේ, තව වැරදි නිසා විටින් විට අධිකරණයට පමුණුවලා තියෙනවා. ඒ අධිකරණයට පමුණුවලා තියෙන්නෙත්, අර සිවුර දරාගෙන නෙමෙයි. දැන් වුණත් ඒ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. මුන්වහන්සේට සිද්ධ වුණෙත් අර ඒ ක්‍රියාදාමය ම තමයි. ඒක ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නෑ."

"මොක ද ඔවුන් අනුගමනය කරන්නේ දැන්ට තියෙන රීති සහ නීති පද්ධතිය. අපේ හැම කෙනාට ම කම්පනයක් ඇති කරනවා නේද? අපි ඊයෙ දිනේ වැඳ නමස්කාරය කරපු හාමුදුරුවන් වහන්සේ නමක් අද දිනයේ අපි වෙනස් ආකාරයෙන් දැකපුවහම. මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක්."

"අපේ හාමුදුරුවන් වහන්සේලා මහ නායක හාමුදුරුවන් වහන්සේලා ම ලියලා තිබුණා නේද? උන්වහන්සේලා පවා විමතියට භාජනය වෙන එකක් තමයි අපි. කාටත් හැම බෞද්ධයෙකුට ම හදවතට යම් කම්පනයක් ඇති කරනවා. හැබැයි මේක තමයි සිද්ධ වෙච්චි ක්‍රියාදාමය. දැන් එහෙම නම් අපට තියෙන්නේ කොහොම ද?"

"ඒ ක්‍රියාදාමය උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදනවා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙමෙයි. නීති හැමවෙලාව ම උත්තර ඓතිහාසික නම් පාර්ලිමේන්තුවක් ඕන නැහැ නේ. හැම දා ම අලුත් නීති සම්පාදනය වෙනවා. සම්පාදනය කරන ලද නීති හැම දා ම සංශෝධනයට භාජනය වෙනවා."

"අදත් මම හිතන්නේ අපේ අල්ලස් වංචා විරෝධී කටයුතු නීතිය සම්මත කර අද පාර්ලිමේන්තුවෙන් ඒ නීතිය සංශෝධනය කරන අද දිනයේ. නීති හැමවිට ම අලුත් වෙනවා, නේද? සම්මත කරන ලද අලුතෙන්ම නීති හඳුන්වා දෙනවා."

"සම්මත කරන ලද නීති නැවත නැවත සංශෝධනය වෙනවා. එතකොට අපිට තියෙන්නේ එහෙම නම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැතුව අපේ හාමුදුරුවෝ මම කැමති නෑ. නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙනවා."

"එතකොට මගේ කැමැත්ත නීතිය බවට පත් විය යුතුයි. නීතිය එසේ තිබියදී මම කාටහරි කියනවා මේ අයට මේ විදිහට සලකන්න නීතියෙන් පරිබාහිරව. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොදු නීතියට යටත්ව නෙමෙයි. මගේ කැමැත්ත. සාමාන්‍යයෙන් දේශපාලනයේදී කියනවා නීතිය යනු පාලකයාගේ කැමැත්තය කියලා."

'නීතිය මගේ කැමැත්ත කර ගන්න කැමති නෑ'

"මම කිසිසේත් ම නීතිය මගේ කැමැත්ත බවට පත් කරගන්න කැමති නෑ. ඒක හොඳ නෑ. කොහොමද නීතිය මගේ කැමැත්ත බවට පත් වෙනවා නම් මම කැමති දේ අකමැති දේ මත තමයි නීතිය අර්ථ නිරූපණය වෙන්නේ. නීතිය ක්‍රියාවක් නෑ."

"ඒක සුදුසු දෙයක් නෙමෙයි. එහෙනම් අපට තියෙන්නේ නීතිය මේ මොහොතට උචිත නැත්නම් ඒ උචිත වෙන ආකාරයේ නීතිය සම්පාදනය කර ගැනීම. එහෙම නැතුව අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවේ. නිසා මම කල්පනා කරේ මේ තියෙන රෙගු රෙගුලාසි සහ බන්ධනාගාරයේ නිත්‍ය නියෝග කොමසාරිස්තුමා විසින් පනවලා තියෙන නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතු යි. ඒවා ඇත්තට ම දැන් මේ වගේ සංවාදයකදී තමයි සමහර ඒවා නැත්නම් ඒවා ඒ විදිහට ම පවතිනවා. සංවාදයේදී තමයි මතු වෙන්නේ. දැන් අපි බලපුවා ම මේවා විතරක් නෙමෙයි තවත් ගොඩක් ඒවා වෙනස් වෙන්න තියෙනවා."

'වෙනසක් කරන්න සිද්ධ වෙයි'

"දැන් මේ වගේ ප්‍රශ්නයක් ආපුවා ම තමයි අපි වැඩිපුර මේකට කිඳා බැහැල හොයන්න පටන් ගන්නේ. එතකොට අපිට මතු වෙලා තියෙනවා මේ නිත්‍ය නියෝගත් මේ රෙගුලාසියත් වෙනස් වෙන්න ඕන කියලා. එතකොට අපි අපේ හාමුදුරුවන් වහන්සේලාට බලපාන කොටස් ඔබ වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඊට අනුරූප වන පරිදි අපි වෙනස් කරන්නම්. ඒ වගේ ම මම හිතන්නේ පොදු ඒවත් අපිට වෙනස් කරන්න ඕනකමක් තියෙනවා."

ඒ නිසා මම අපේක්ෂා කරනවා නීතිපතිතුමත්, අපේ අධිකරණ අමාත්‍යංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, අපේ බෞද්ධ කටයුතු අමාත්‍යංශයත්, බන්ධනාගාර කොමසාරිස්තුමා ඉන්නවා නම් වඩාත් හොඳයි. (ඒ අය) යොදවාගෙන කමිටුවක් පත් කරලා ඉතා ඉක්මනින් ම අපි මේ නිර්දේශ අලුත් නිත්‍ය නියෝග සහ රෙගුලාසි පනවන්න. මම හිතන්නේ අපිට මේක ලොකු නීතියක් එක්ක ගැටෙන්නේ නැති නිසා සති දෙකක් ඇතුළත, අපි මේ සතියේ දාන්න ඕන කමිටුව අද පත් කරන්න ඕන කමිටුව. අද කමිටුව පත් කරලා අපිට සති දෙකක් ඇතුළත මේක අධ්‍යයනය කරලා මොනව ද අපිට වෙනස් වෙන්න ඕන සංශෝධන කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔබ වහන්සේලාටත් අපට ඉදිරිපත් කරන්න. හාමුදුරුවන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේක වෙන්න ඕන සංශෝධන."

"මොක ද මේක හැමවිට ම හදලා තියෙන්නේ පොදු තත්ත්වයකට මිසක් හාමුදුරුවන් වහන්සේලා විශේෂකොට මේ රීතිවල හරි අඩුයි. අර එක වගන්තියක් තියෙන්නේ 216 කියන රෙග්‍යුලේෂන්වල වගන්තියක් ඇරුණුකොට අනිත් ඔක්කොම තියෙන්නේ පොදු ඒවා. මොක ද ඒකට හේතුවකුත් ඇති. ඉතින් හාමුදුරුවන් වහන්සේලා සිරගත වේවි කියලා අපේක්ෂා කරන් නැති නිසා සමහරවිට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න නැතිව ඇති. එහෙම නේ. මම හිතන්නේ අපේ සමාජය එහෙම නේ. අපේ හාමුදුරුවන් වහන්සේලා සහ සමාජයේ නීති සම්පාදකයන් අතර තියෙන බැඳීම. හැබැයි දැන් සමාජයේ බිඳවැටීමක් තියෙනවා."

"ඒ බිඳවැටීමේ යම් ප්‍රමාණයකට අපේ හාමුදුරුවන් වහන්සේලාත් ගොදුරු වෙලා තියෙන එක අපි දැක තියෙනවා. ඒ නිසා දැන් ඒ තත්ත්වයට අනුරූප වන පරිදි මම හිතන්නේ අපිට නීති සම්පාදනයක් අවශ්‍ය වේවි."

'එක් හිමි නමකට මෙහෙම කරමු කියන එක උචිත නෑ'

"සිරගත වුණා ම රැඳෙන්නේ කොහොම ද? බන්ධනාගාරයෙන් සිර සිරගෙදරින් එළියට බැහැර වෙන කොට අපි කොහොම ද රැගෙන යා යුත්තේ කියලා මම හිතන්නේ නීති සම්පාදනය කර ගත්තොත් වඩාත් හොඳයි. එහෙම නැතිව එක හාමුදුරුවන් වහන්සේ නමක් ඉලක්ක කොටගෙන මෙහෙම කරමු, අනෙක් හාමුදුරුවන් වහන්සේලාට මෙහෙම කරමු කියලා මම හිතන්නේ එතන උචිත නෑ කියලා."

"ඉතින් ඕක තමයි මම හිතන්නේ අපේ හාමුදුරුවන් වහන්සේ අපි. දැන්ට අපි අධිකරණ ඇමතිතුමන්, බුද්ධසාසන ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අපි දැනට එළඹිලා තියෙන තීරණය."