ඥානසාර හිමිට එරෙහිව මෝසමක්: අධිකරණයේ පෙනී නොසිටීම නිසා ගැටලුවක්: නඩුවක මදකට කල්තබයි

ඥානසාර හිමි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් අද (සැප්: 29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

'වරෙන්තු නිකුත් කරන්න'

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය.

එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාල වේලාව ලබා දෙන ලෙස ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලාවකට කල් තබා තිබේ.