ඥානසාර හිමි යළි බන්ධනාගාරයට: සිර දඬුවමේ ඉතිරි කාලයත් ක්‍රියාත්මක කරන්නැයි අධිකරණයෙන් නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවමෙන් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේ ය.
ඒ අනුව, ඥානසාර හිමි බන්ධනාගාරය භාරයට ගන්නා ලෙස ද නියම කෙරිණි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද [ඔක්: 05] කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම නියෝගය නිකුත් කළහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම
එහිදී වගඋත්තර කාර ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියේ ය.
"ස්වාමීනී, වගඋත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහායි උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ."
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ විනිසුරු ලක්මාලී කරුණානායක "එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි?" යනුවෙන් ප්‍රශ්න කළා ය.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා, "ස්වාමීනි, වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්න බැරි වුණේ," යනුවෙන් සඳහන් කළේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ සුදත් ජයසුන්දර, " ස්වාමීනී, වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපායාදිය යුතු බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවෙත් සඳහන් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සම්බන්ධයෙන් වූ නියෝග නිකුත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා," යනුවෙන් පැවසීය.
ඥානසාර හිමිගේ කෙටි අදහස් දැක්වීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, "ස්වාමීනී, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වනදා තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස," යනුවෙන් ය.
ඉන් අනතුරුව නැගී සිටි ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර, සිය සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බව යි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝග කළේ ය.
ඊට අමතරව ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.



































