'ජාත්‍යන්තර අපරාධ හමුවේ යුක්තිය වෙනුවෙන් සටන් වැදුණු' නවී පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය

නවී පිල්ලෙයි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

නවී පිල්ලේ හෙවත් නවනීදම් පිල්ලේ 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස අද (ඔක්: 09) ප්‍රකාශයට පත් කෙරිණි.

2026 නොබෙල් සාම ත්‍යාගලාභියා ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණේ, නෝර්වේහි ඔස්ලෝ නුවරදී ය.

නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති ජෝගන් වැට්නි ෆ්‍රයිඩ්නස් පවසන්නේ, පිල්ලේ 'ජාත්‍යන්තර නීතියේ සංවර්ධනය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති' බැවින් මෙම සම්මානය සඳහා ඇය සුදුසුම තේරීම වූ බවයි.

බීබීසී ය සමඟ අදහස් දක්වමින් ෆ්‍රයිඩ්නස් පවසා සිටියේ, දකුණු අප්‍රිකාවේ ඇයගේ නීතිමය වෘත්තීය ජීවිතය, රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ මියන්මාරයට එරෙහි ජාත්‍යන්තර අපරාධ අධිකරණ නඩුව පෙන්වා දෙමින්, පිල්ලේ ජාත්‍යන්තර නීතිය සංවර්ධනය කිරීමේ පෙරමුණේ 'ජීවිත කාලය' ගත කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියක වන නවනීදම් පිල්ලේ, 'ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර' අගයමින් මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව නෝර්වේ නොබෙල් කමිටුව පවසයි.

ඇය 2008 සිට 2014 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළා ය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ සිවිල් ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අමානුෂික ක්‍රියා සිදුවූ බවට චෝදනා කිරීම හේතුවෙන්, එවකට ශ්‍රී ලංකා රජය සහ එහි ආධාරකරුවන්ගෙන් ඇයට දැඩි විවේචන එල්ල විය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් (OISL) කැඳවීමට ඇය දැඩිව පෙනී සිටියා ය.

එකල පැවති ශ්‍රී ලංකා රජය සහ දේශපාලන ක්‍රියාකාරීන් ඇයගේ මෙම මැදිහත්වීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකර සහ පක්ෂග්‍රාහී එකක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළහ.

'මේ ත්‍යාගය 'ජාත්‍යන්තර අපරාධවලින් බේරුණු සියලුම දෙනා' වෙනුවෙන් කැප කරනවා'

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමෙන් පසු තමා තවමත් පුදුමයෙන් පසුවන නමුත්, එය තමන්ට ලැබුණු ඉහළම ගෞරවයක් කොට සලකන අතර ඒ පිළිබඳව බෙහෙවින් කෘතඥ වන බව නවි පිල්ලේ කියා සිටියාය.

ඇය මාධ්‍ය වෙත පවසන්නේ තමාට ලැබුණු මෙම ත්‍යාගය 'ජාත්‍යන්තර අපරාධවලින් බේරුණු සියලුම දෙනා' වෙනුවෙන් සහ ජාත්‍යන්තර යුක්තිය වෙනුවෙන් 'ක්‍රියා කරන සහ එය සුරැකීමට වෙහෙසෙන පිරිස්' වෙනුවෙන් කැප කරන බවයි.

ජාත්‍යන්තර නීතිය දුර්වල කිරීමට ගන්නා උත්සාහයන්, 'නීතිය වෙනුවට බලය විසින් කාගේ දුක් වේදනාද වඩා වැදගත් වන්නේ කියා තීරණය කරන ලෝකයකට අපව නැවත ගෙන යාමේ අවදානමක්' මතු කරන බව ඇය පවසයි.

තමා දැරූ සියලුම විවිධ තනතුරුවලදී 'සෑම මිනිසෙකුගේම සමාන අභිමානය මෙන්ම, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙනයෑම සහ සුරැකීම' යන පොරොන්දුව තමා නියෝජනය කළ බව ඇය පවසයි.