සීමාවාසික වෛද්‍ය පත්වීම්: අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට අවසර ලබාදීම ගැන නියෝගය මැයි 08 වැනිදා

කියවීමේ කාලය: මිනිත්තු 4

මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත් කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම් අද (අප්‍රේල් 10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණය බලයක් නොමැති බව පැවසුවේය.

මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ 2020 වසරේ සකස් කළ ක්‍රමවේදයට අනුව බවත්, එය රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කර තිබූ බවත් සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා අභියෝගයට ලක් කර තිබෙන පත්කිරීම් සදහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙන බව ද සඳහන් කළේය.

රාජ්‍ය සේවා කොමිසමේ තීරණ පිළිබඳ සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම පත්කිරීම් ලැබූ පිරිස මීට පෙර වෛද්‍යවරුන් වශයෙන් සේවය කර නොමැති බවත් සීමාවාසික පුහුණුව ලබන කාලසීමාව රජයේ වෛද්‍ය සේවයේ නිරත වීමක් ලෙස සැලකිය නොහැකි බවත් සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඔහු කියා සිටියේ ඔවුන් පත්වීම් ලබන්නේ පළමු වතාවට බැවින් මෙය ස්ථාන මාරු කිරීම් වශයෙන් සැලකිය නොහැකි බවයි.

එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියකට මෙම පත්කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව සඳහන් කළ සොලිසිටර් ජනරාල්වරයා පත්වීම්ලාභීන්ගෙන් සියයට හැත්තෑ පහක් පමණ සේවා ස්ථානවලට මේ වනවිට වාර්තා කර තිබෙන බවත් පැවසුවේය.

එම නිසා මෙම පෙත්සම් නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත්, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න සිය මූලික විරෝධතා වලින් සඳහන් කර සිටියේය.

'නීතිමය තත්ත්වය ගැන ඇමතිවරයා ඉන්නේ වැරදි වැටහිමක'

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් වලට අදාළව රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙන්නේ තම සේවාදායකයින් මෙම නඩුකර ගොනු කිරීමෙන් පසුව බව පැවසුවේය.

මාරු මණ්ඩල තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම්වලට නීතියෙන්ම සහභාගීත්වයක් සහ බලතල හිමිවී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අමාත්‍යවරයාට හෝ දේශපාලකයින්ට එය නිෂ්ප්‍රභ කළ නොහැකි බව ද සඳහන් කළේය.

ඇමතිවරයා මෙම නීතිමය තත්ත්වය වැරදි ලෙස වටහා ගැනීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනවශ්‍ය අරගලයකට මැදිහත් වීමට සිදුව ඇති බවත් ඔහු චෝදනා කළේය.

මාරු මණ්ඩල පත් කර තිබෙන්නේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට යටත්ව බවත්, දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය මාරු මණ්ඩල වෙත පැවරී තිබෙන අතර එම බලය අත්තනෝමතික ලෙස විෂය භාර අමාත්‍යවරයා වෙත පවරා ගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙම නීතිවිරෝධී තත්ත්වය පිළිබඳව සිය සේවාදායකයින් විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවත්, මෙම කාරණය අධිකරණයට ගෙන යන ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙම ප්‍රශ්නගත පත්කිරීම් වලට අදාල දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය මාරු මණ්ඩල වෙත හිමි වී තිබුණද එම පත්කිරීම් සදහා මාරු මණ්ඩල වල අනුමැතිය ලබාගෙන නොතිබූ බවය.

සීමාවාසික පුහුණුව අවසන් කළ පසු එම තැනැත්තා වෛද්‍යවරයෙකු බවට පත්වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එබැවින් මෙය පත්කිරීමක් නොව මාරු කිරීමක් බවත් තර්ක කළේය.

තමා කිසිදු අවස්ථාවක මෙම පත්කිරීම් බල රහිත කරන ලෙස ඉල්ලා නොසිටින බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා තමා අභියෝගයට ලක් කරන්නේ දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සඳහා මාරු මණ්ඩල සතු බලය අමාත්‍යවරයා පවරා ගැනීම සම්බන්ධයෙන් පමණක් බවත් පැවසුවේය.

ඒ අනුව මාරු මණ්ඩල අනුමැතියකින් තොරව වග උත්තරකරුවන් විසින් පත්කරන ලද සීමාවාසික වෛද්‍යවරු දුෂ්කර සේවා ස්ථාන සඳහා අනුමත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

'පුහුණුව අවසන් කළ සියලුදෙනා වෛද්‍යවරුන් විදිහටයි සලකන්නේ'

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ සියලුදෙනා වෛද්‍ය නිලධාරින් වශයෙන් සැලකෙන බව සඳහන් කළේය.

මාරු මණ්ඩලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වය දරන අතර 2025 වසරේ දූෂ්කර සේවා ස්ථාන 393 ක් පැවති අතර නැවත සමාලෝචනය කරන තුරු එහි වෙනසක් නොකරන බවට බලධාරීන් පොරොන්දු වී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු මාරු මණ්ඩලයේ කරුණු විමසීමකින් තොරව විෂය භාර අමාත්‍යවරයා විසින් දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සහ මාරු කිරීම් සිදු කිරීම නීතියට පටහැනි බවයි.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ මෙම කරුණ මුල්කරගෙන මතුවී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කර ගැනීම සඳහා සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු බවයි.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාල ලිඛිත දේශන මේ මස 24 වනදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කරන ලදී.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 08 වනදා සිදු කරන බව විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.