ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ වෛද්‍ය වර්ජනය: GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර වන මත ගැටුම
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 7
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප්‍රේල් 9 වන දා පෙරවරු 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම පත්වීම්වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේ ද දින 4ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.
දීපව්‍යාප්ත වැඩ වර්ජනයට හේතු වූ කරුණු
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන පසුගිය අප්‍රේල් 8 ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
ඒ අනුව සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍ය නිලධාරීන් අප්‍රේල් 9 සිට අප්‍රේල් 11 වන දා දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මෙම සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ කොන්දේසි කඩ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
ඒ අනුව, අප්‍රේල් 9 සිට පැය 48ක කාලයක් රට පුරා පිහිටි රජයේ රෝහල්වල වර්ජනයක නිරත වන බව මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
'මාරුවීම් ලැයිස්තුව ම දේශපාලනීකරණය වෙලා'
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථානවල මාරු ලැයිස්තුව දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය අත්තනෝමතිකව සහ මාරු මණ්ඩල කිසිවක් සීමා නොකර මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සිදුකර ඇති බවයි.
"මේ වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ බරපතළ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා මේ වෛද්‍යවරුන්ට අදාළ පශ්චාත් සීමාවාසික පත්වීම් අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථානවල මාරු ලැයිස්තු නිසා. ඒ සම්බන්ධ ලැයිස්තු බරපතළ විදිහට දේශපාලනීකරණය වෙලා. සෞඛ්‍ය අමාත්‍යංශය අත්තනෝමතිකව සහ මාරු මණ්ඩල කිසිවක් මායිම් කරන්නේ නැතිව පවතින නීතියට පිටින් ගිහිල්ලයි මේ ලැයිස්තුවල කටයුතු සිද්ධ කරගෙන ගියේ."
"ඒ ගැන දැඩි විරෝධයක් වගේ ම දැඩි විවේචනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත වෛද්‍යවරුන් 23,000ට ම තිබුණා. මොකද කලින් නොතිබූ ආකාරයේ දැඩි දේශපාලනීකරණයක් මේ ලැයිස්තුව ඇතුළේ දකින්න ලැබුණා," ඔහු පැවසීය.
'සෞඛ්‍ය ඇමතිගේ තිබුණේ උද්ධච්ජ ස්ථාවරයක්'
ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලීම් සිදුකළත් අමාත්‍යවරයා ඒ සඳහා අවස්ථාවක් ලබා නොදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය.
"මේ ගැන සාකච්ඡා කරන්න දිගින් දිගට ම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අපි ඉල්ලා හිටියත් අමාත්‍යවරයාගේ තිබුණ උද්ධච්ජ ස්ථාවරය නිසා කිසි ම වෙලාවක ඒ අවශ්‍ය සාකච්ඡාව ඔහු ලබා දුන්නේ නැහැ. එතුමාගේ වැරැද්ද නිසයි අපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වුණේ."
"එහෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ගිහින් ඉන්නකොට ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවක් අද (අප්‍රේල් 9) ලබා දෙන්න කටයුතු කරලා තිබ්බා. ඒ සාකච්ඡාව සහ සම්මුතිය කියන කාරණාවට තියෙන ගෞරවය නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට මේ සතිය මුලදී අපි වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටෙව්වා. එහෙම කළේ ජනාධිපතිවරයා වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන විශ්වාසය තියලා."
"නමුත් කියන්න කණගාටුයි ඉතාමත් නින්දිත විදිහට අවම සදාචාරයක්වත් නැති විදිහට සාකච්ඡාවත් සහ සම්මුතියත් කියන කාරණාවලට දෙන්න ඕන ගෞරවයවත් දෙන්නේ නැතිව අප්‍රේල් 9 වන දා සාකච්ඡා කරන්න තිබ්බ මේ ස්ථාන මාරු ලැයිස්තු ගැටලුව ඊයේ (අප්‍රේල් 8) හවස් වෙද්දී ප්‍රකාශයට පත් කරලා. ඉතින් අද සාකච්ඡා කරන්න තිබ්බ ප්‍රශ්නය සෞඛ්‍ය අමාත්‍යංශයේ පාර්ශවය පළ කරලා තියෙනවා. මේක තමයි කියන්නේ ඒකාධිපතිත්වය කියලා, මේක තමයි අපි කියන්නේ අනීතික ස්වභාවය කියලා. හරිම ලැජ්ජයි වගේ ම මේක නින්දිත ක්‍රියාවලියක් විදිහට අපි පිළිකුලෙන් යුක්තව හෙළා දකිනවා."
"සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් විසඳගන්න තිබුණ මේ කාරණය අවම සදාචාරයක්වත් නැතිව වෛද්‍යවරුන්ගේ සීමාවාසික පත් කිරීම් ගැන ලැයිස්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. වෛද්‍යවරුන් 23,000 ක ප්‍රමාණයක් අමු අමුවේ රවට්ටලා ඔවුන්ව නොමග යවලා තියෙනවා මේ විදිහට බොරුවක් කියලා. මේ ගැන විරෝධය පාන්න අප්‍රේල් 9 උදේ 8 ඉදලා පැය 48ක කාලයක වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හැටියට."
"මේ පළ කරලා තියෙන ලැයිස්තු නිසා දුෂ්කර රෝහල් 130ක වැඩ නතර වෙන එක, සේවා කඩාකප්පල් වෙනවා වගේ ම වැසී යන අවදානමක් තියෙනවා. ඒක තමයි අපි මේ දිගින් දිගට ම කියන්නේ රෝගී ජනතාවට මේක නිසා විශාල අපහසුතා ඇති වෙනවා. සාකච්ඡාවෙන් සාධනීය විසඳුමක් ලැබෙන්නේ නැත්නම් අද අප්‍රේල් 10 අපේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා ඉන්නවා," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
'අප්‍රේල් මාසයේ දවස් 5ක් වර්ජනය කරලා තියෙනවා'
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය ආසාධාරණ බවත්, අප්‍රේල් මාසයේදී පමණක් ඔවුන් දින 5ක කාලයක් වැඩවර්ජනයේ නිරතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඊයේ (අප්‍රේල් 9) පැවසීය.
"අප්‍රේල් මාසය වෙනකොට GMOA එක දවස් 5ක් වැඩ වර්ජනය කරලා තියෙනවා. මැදපෙරදිග අර්බුදයක් පවතිද්දී ජනතාවත් අර්බුදයක් එක්ක ජීවත් වෙද්දී මෙවැනි වැඩවර්ජනයක් කිරීම සාධාරණ නැහැ. අනිත් එක මේ වැඩ වර්ජනයට හේතුවක් කරගෙන තියෙන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න, දුෂ්කර සේවා ලැයිස්තුව සකස් කරන්න ට්‍රේඩ් යුනියන් එකක් හැටියට GMOA එක සිටිය යුතුයි කියන ස්ථාවරයක හිදිමින් ඔවුන් වැඩ වර්ජනය කරනවා."
"මේ කරුණු පදනම් කරගෙන ගිය ඉරිදාත් වැඩ වර්ජනය කළා. මේ වෛද්‍යවරුන් සූදානම් රජයේ වෛද්‍ය සේවයට එන්න. රෝගීන්ව අපහසුතාවට පත්කිරීම කිසිසේත් ම සාධාරණ නැහැ. මෙතන තියෙන්නේ වෙන දේශපාලන අරමුණක්. ඒ වෛද්‍යවරුන් පත්වීම භාර ගන්න ඉන්නකොට ආපහු පැය 48ක් වර්ජනය කරනවා. සමහර වැඩ වර්ජන තියෙනවා සමස්ත වෛද්‍යවරුන්ට ම බලපාන, වැටුප් වැඩිවීමකදී, දීමනා වැඩි වීමකදී සමස්ත වෛද්‍යවරුන්ම ඒක අනුමත කරනවා," අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.
'කොළඹට එන්න කියලා තර්ජනය කරලා'
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පසුගිය දිනයක සීමාවාසික වෛද්‍ය සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන් කණ්ඩායමක් කොළඹට කැඳවා ඔවුන්ට රජයේ සේවය සඳහා ඉල්ලුම් නොකරන ලෙස තර්ජනය කර ඇති බවයි.
"මේ රටේ හරි විදේශ රටක හරි වෛද්‍ය උපාධිය අරගෙන ඊළඟට සීමාවාසික පුහුණුව අවුරුද්දක් කරලා රජයේ සේවයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලැබුව ම රජයේ සේවයට ඒ අයට ලැබෙන පළවෙනි පත්වීම මේක. පළවෙනි පත්වීමට මාරු මණ්ඩල අදාළ වෙන්නේ නැහැ. ඒක පළවෙනි පත්වීම, එහෙනම් මේ පත්වීමට කලින් වෙන කොහේ හරි පත්වීමක් අරන් හිටිය ද කියලා ඒ අය ඇවිල්ලා අපිට කියන්න ඕන ස්ථාන මාරුවීම් කර ගන්න නම්."
"ගිය අඟහරුවාදා (මාර්තු 31) මේ වෛද්‍යවරු කණ්ඩායමක් GMOA එක කොළඹට කැඳවලා තර්ජනය කරලා තිබුණා. පත්වීම් අරන් යන එක ගැන ඒගොල්ලෝ බලාගන්නම් කියලා. දිගින් දිගටම මාධ්‍යවල ප්‍රසිද්ධියේ තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා... හැබැයි ඒ කණ්ඩායමේ 453ක් හිටියා, එතැනින් 436ක් අප්‍රේල් 4 වන දා වෙද්දී ඉල්ලුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා," ඔහු එහිදී කියා සිටියේය.
"ඉතුරු 17 දෙනාගෙන් 16 දෙනෙක් ම සීමාවාසික පුහුණුවෙන් පස්සේ RHO එක හරියට සිදුනොරපු අයයි. ඇත්තටම කිව්වොත් එක්කෙනයි සීමාවාසික පුහුණුව අවසන් කරලා RHO පීරියඩ් එකත් යෙදිලා ඉදලා ඉල්ලුම් කරලා නැත්තේ. ඉතුරු 16 දෙනා ම රජයේ පත්වීමක් සඳහා කටයුතු නොකරපු අය. ඒ අනුව ගත්ත ම 453 දෙනාගෙන් 436 දෙනෙක් පත්වීම්වලට ඉල්ලුම් කරලා තියෙනවා. මේ කරන වැඩවර්ජනයේ කිසි ම තේරුමක් නැහැ."
"දැන් සෙනසුරාදා ඉල්ලුම් කළාට පස්සේ ඒ වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වෙලා ලැයිස්තුව සකස් කළා. අප්‍රේල් 8 ලැයිස්තුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අප්‍රේල් 9 උදෑසන ඉදලා සීමාවාසික පුහුණුව අවසන් කරපු ඒ වෛද්‍යවරුන් සේවය කරපු ස්ථානයෙන් නිදහස් වෙලා අප්‍රේල් 9,10 සහ 11 කියන දවස් තුන ඇතුළත තමන්ගේ අලුත් සේවා ස්ථානයට වාර්තා කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාපටිපාටිය."
"ඊට කලිනුත් අමාත්‍යංශය සිද්ධ කරලා තියෙන්නේ මේක. පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කරලා පත්වීම ලබා ගත්තට පස්සේ ඒ නිදහස් වෙන අය සේවයට වාර්තා කරාට පස්සේ එතන ඉදලා වැටුප් සකස් වෙනවා අලුතෙන් සේවයට වාර්තා කරපු රෝහලෙන්. සේවයෙන් නිදහස් වෙන්න ඉල්ලුම් නොකරපු අයගේ වැටුප් නතර වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිදුවීම. ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැත්තේ මෙතන ඉල්ලුම් නොකරපු එක වෛද්‍යවරයෙක් විතරයි ඉන්නේ. අනිත් 16 දෙනා ම රජයේ සේවයට ඇතුළත් නොවෙන්නමයි කටයුතු කරලා තියෙන්නේ."
"මේ මාරු මණ්ඩල වලට සම්බන්ධයක් නැති ආයතන සංග්‍රහයේ නැති කරුණක් මේක. මේ වෛද්‍යවරුන් අවුරුදු 4කින් ස්ථාන මරුවෙද්දී හෝ අවුරුදු දෙකක් දුෂ්කර සේවයේ ඉදලා මාරුවීම් ලබන කොට මාරු මණ්ඩලයට සම්බන්ධ වෙන්න පුළුවන්. අතීතයේ ඒවා අවභාවිත වෙලා තියෙනවා නම් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි තියෙන නීතියට අනුව වැඩ කරගෙන යනවා. මේක හරිම ආසාධාරණ වැඩවර්ජනයක්. ඒ වෛද්‍යවරුන් පත්වීම් අරන් තමන්ගේ සේවා ස්ථාන සඳහා යනවා, මම කියන්න කැමති කාටවත් බය වෙන්න එපා, ඔබලා ගිහින් සේවයට වාර්තා කරන්න. අවශ්‍ය ආරක්ෂාව පොලිසියේ පැත්තෙන් වගේ ම මහජනතාවගේ පැත්තෙනුත් ලැබෙනවා. කිසි කෙනෙක්ට අත තියන්න බැහැ, ඔබලා රාජකාරි කරගෙන යන්න," අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.
'GMOA එක්ක සාකච්ඡා කරන්නේ නැහැ'
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්තනෝමතික ලෙස වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇති නිසා ඔවුන්ට ලබා දී තිබූ සාකච්ඡා නොපවත්වන බව ද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
"දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරගෙන යන වැඩවර්ජනය තවදුරටත් කරන් යන්නෙපා කියලා මම ආපහු ඉල්ලා සිටිනවා. තවදුරටත් මේ විදිහට නම් හැසිරෙන්නේ මම අද (අප්‍රේල් 9) කරන්න තිබ්බ සාකච්ඡාව කරන්නේ නැහැ. ගිය ඉරිදා සාකච්ඡාවක් ලබා දුන්නා. පශ්චාත් සීමාවාසික ප්‍රශ්නය ඉවරයි. එතැනින් එහාට වෙන වෙන ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න. මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡාවලින් වැඩක් නැහැ. ඒ සාකච්ඡාව අද (අප්‍රේල් 9) GMOA එකට ලබා දෙන්නේ නැහැ, මේ වැඩවර්ජනය අසාධාරණයි. රජයක් හැටියට ඒකට මුහුණ දෙන්න අපි සූදානම්. මේ පළමු පත්වීම ලබා දීමේදී රජය වරදක් කරලා තියෙනවා නම් අධිකරණයට ගිහින් නඩුවක් පවරන්න. අධිකරණය නඩුව විභාග කරලා නියෝගයක් ලබා දෙයි. ඒ නිසා අහිසංක ජනතාව මේකට පටලවා ගන්න එපා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.