නව කොවිඩ්-19 ප්‍රභේදයෙන් දරුවන් වඩාත් අවදානමට ලක්විය හැකි ද?

    • Author, කේට් බෝවී
    • Role, ගෝලීය සෞඛ්‍යය, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මේ දක්වා රටවල් 23කින් හඳුනාගෙන ඇති, ඉහළ විකෘතිතා සහිත කොවිඩ්-19 ප්‍රභේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරීක්ෂණය කරමින් සිටියි.

BA.3.2 ප්‍රභේදය ලෙස නිල වශයෙන් හැඳින්වෙන 'සිකාඩා' දැනටමත් එක්සත් ජනපදය, හොංකොං, මොසැම්බික් සහ එක්සත් රාජධානිය යන රටවලින් වාර්තා වී තිබේ.

මෙම ප්‍රභේදය අනෙක් ඒවාට වඩා භයානක යැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති වුවද විශේෂඥයින් යෝජනා කර ඇත්තේ වැඩිහිටියන්ට වඩා ළමයින්ට මෙම ප්‍රභේදය ආසාදනය වීමේ සම්භාවිතාව වැඩි බවය.

අපි මේ ගැන සැලකිලිමත් විය යුතු වන්නේ කෙසේද?

සිකාඩා ප්‍රභේදය යනු කුමක්ද?

BA.3.2 ප්‍රභේදය 'සිකාඩා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ එම නමින් හඳුන්වන කෘමියා දිගු කාලකක් පුරාවට පොළොව යට ජීවත් වන අයුරින් මෙම වෛරසය ද මුලින්ම හඳුනා ගැනීමෙන් පසු ලොව ඇතැම් ප්‍රදේශවල අක්‍රියව පැවතීම හේතුවෙනි.

එම වෛරසය පළමුවරට 2024 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු නමුත් 2025 වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් රෝගීන් වැඩිවීම ආරම්භ නොවීය.

පසුගිය මාසයේ, එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතනයක් වන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනාවරණ කළේ ප්‍රාන්ත 25 කින් රෝගීන් හඳුනාගෙන ඇති බවයි.

සංචාරකයින් සිව්දෙනෙකුගේ නාසික සාම්පලවලින්, රෝගීන් පස් දෙනෙකුගෙන් ලබාගත් සායනික සාම්පලවලින් සහ අපජලය ආශ්‍රිත සාම්පල 132කින් BA.3.2 ප්‍රභේදය හඳුනා ගත් බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ප්‍රභේදය පිළිබඳ ''නිරීක්ෂණය'' කරමින් සිටින අතර එයින් අදහස් කෙරෙන්නේ ඒ සඳහා ප්‍රමුඛ අවධානයක් අවශ්‍ය විය හැකි බව සහ ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක්වේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

මෙය දරුවන්ට ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් තිබේ ද?

නිව්යෝර්ක් හි කොවිඩ් ප්‍රභේද පර්යේෂක රයන් හිස්නර් විසින් කරන ලද ආසාදිතයින්ගේ දත්ත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ වැඩිහිටියන්ට සාපේක්ෂව ළමයින් BA.3.2 සඳහා පරීක්ෂා කිරීමේදී ප්‍රතිඵලය ධනාත්මක වීමට වැඩි ඉඩක් ඇති බවයි.

''ඒක තවමත් විද්වත් සමාලෝචනයකට ලක් කර හෝ ප්‍රසිද්ධ කර නොමැති නමුත් ඒක ඇත්තක් කියලා පෙනෙන්නට තියෙනවා'' කේම්බ්‍රිජ් චිකිත්සක ප්‍රතිශක්තිකරණ සහ බෝවන රෝග ආයතනයේ මහාචාර්ය රවීන්ද්‍ර ගුප්තා පවසයි.

මෙය එසේ වීමට හේතුව පිළිබඳව විවිධ න්‍යායන් තිබේ. එනම් එය අප මීට පෙර දැක නැති ප්‍රභේදයක් බැවින් ඕනෑම කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ සිකාඩා හඳුනා ගැනීම අපහසු විය හැකිය.

''සාමාන්‍යයෙන් ගත් විට වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට අඩු ප්‍රතිශක්තියක් තමයි තිබෙන්නේ, මොකද එයාලා විවිධ වෛරස් හා කොවිඩ් ආසාදනවලට එතරම් නිරාවරණය වී වෙලා නැහැ. ඉතිං මෙම වෛරසයට එරෙහිව ඔවුන්ගේ ප්‍රතිශක්තිය තවත් දුර්වල වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්'' ගුප්තා පවසයි.

වැඩිහිටියන් තුළ, වෛරස් වලින් අපව ආරක්ෂා කිරීම සඳහා පවතින ප්‍රතිදේහ නිපදවන ග්‍රන්ථි වසර ගණනාවක් පුරා පරිණත වන අතර අපගේ ප්‍රතිශක්තිය පුළුල් කිරීමට එය උපකාරී වේ.

"දරුවන්ට එම පරිණත වීමේ ක්‍රියාවලිය සඳහා ලැබී ඇත්තේ අවුරුදු කිහිපයයි. ඉතිං ඔවුන් මෙම වෛරසයට පහසුවෙන් ගොදුරු වෙන්නේ ඇයි කියලා අර්ධ වශයෙන් පැහැදිලි වෙන්න පුළුවන්'' ඔහු වැඩිදුරටත් පවසයි.

අනෙකුත් පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ සිකාඩා වල අධික ලෙස විකෘති වී ඇති ප්‍රෝටීනයක් ළමුන් හට වැළඳෙන ආසාදන සමඟ සම්බන්ධ විය හැකි බවයි.

මෙම ප්‍රභේදය දරුවන්ට වැඩිපුර බලපාන්නේ ඇයිද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ කිරීම සඳහා ගුප්තා සහ ඔහුගේ කණ්ඩායම ළමා රෝග සාම්පල සොයමින් සිටිති.

රෝග ලක්ෂණ මොනවාද?

වෛරසයේ අනෙකුත් ප්‍රභේදවලට වඩා සිකාඩා මිනිසුන් දැඩි ලෙස රෝගීන් බවට පත් කරන බවට කිසිදු සාක්ෂියක් මේ මොහොතේ නොමැත.

"එමෙන්ම වඩාත් සුලභ ලෙස පෙනෙන නිශ්චිත රෝග ලක්ෂණ ද නැහැ" එක්සත් රාජධානියේ නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය පෝල් හන්ටර් පවසයි.

කොවිඩ්-19 වෛරසය මගින්, උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසය හිරවීම, තෙහෙට්ටුව, හිසරදය, ඇඟපත වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පාචනය වැනි රෝග ලක්ෂණ ඇති කළ හැක.

''ප්‍රභේදය කුමක් වුවත් වෛරසය ඉලක්ක කරන්නේ එකම සෛල වර්ගයි. ඒක නිසා ඔබට ඇතිවන රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වෙනවා'' එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥ ඉයන් ජෝන්ස් පැහැදිලි කරයි.

එය මෙතරම් ඉහළ විකෘතියකට ලක්ව ඇත්තේ ඇයි?

සියලුම වෛරස කාලයත් සමඟ විකෘති වන අතර Covid-19 වැනි RNA වෛරස් විශේෂයෙන් වේගයෙන් විකෘතිවීම්වලට ලක්වේ.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විස්තර කළේ BA.3.2 ප්‍රභේදය 'ඉහළ විකෘතිතාවයකින් යුත්' ප්‍රභේදයක් ලෙසය. මෙයින් අදහස් කෙරෙන්නේ එය මුල්කාලීනව හඳුනා ගත් ඕමික්‍රෝන් ප්‍රභේදයට වඩා දැඩි ලෙස වෙනස් බවයි.

මෙම විකෘතිතා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසය හඳුනා ගැනීම නවතා දැමීමේ හැකියාව පවතින අතර, ඔබ දැනටමත් ගොඩනඟා ගෙන ඇති ඕනෑම ප්‍රතිශක්තියකින් මගහැරීමට ඊට අවස්ථාව සලසන බව ජෝන්ස් පවසයි.

''වෛරසය පැහැදිලිවම සාර්ථකයි, එය ජනතාව තුළ ඇති ප්‍රතිදේහ මගහරිමින් සෙමින් වර්ධනය වෙමින් තිබෙනවා'' ඔහු වැඩිදුරටත් පවසයි.

එන්නත තවමත් ක්‍රියාකරයි ද?

මෙම විකෘතිතා හේතුවෙන් සිකාඩා ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමට කොවිඩ් එන්නත්වල පවතින ක්‍රියාකාරීත්වය අඩු විය හැක.

නමුත් විශේෂඥයින් අවධාරණය කරන්නේ මීට පෙර අප ලබාගත් එන්නත්වලට තවමත් නව ප්‍රභේදයට එරෙහිව යම් ආරක්ෂාවක් සැපයිය හැකි බවයි.

''ඔබට එය ආසාදනය වෙන්න පුළුවන් නමුත් මෘදු ආසාදනයක් පමණයි,'' ජෝන්ස් පැහැදිලි කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ දක්වා ලෝකයේ සමස්ත ජනගහනයෙන් 67% ක් කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, නව ප්‍රභේදවලින් ආරක්ෂා වීම සඳහා නවීකරණය කළ යාවත්කාලීන 'බූස්ටර්' එන්නත් සඳහා ප්‍රවේශවීම ගෝලීය වශයෙන් වෙනස්ව පවතී.

ජෝන්ස් පැහැදිළි කරන්නේ සිකාඩා ප්‍රභේදය ඉලක්ක කර ගනිමින් එන්නතෙහි නව අනුවාදයක් නිපදවීමට ඖෂධ සමාගම් පෙළඹෙනු ඇත්තේ ආසාදිතයන් සංඛ්‍යාව සහ රෝගයේ බරපතලකම විශාල ලෙස ඉහළ ගියහොත් පමණක් බවයි.

අප මේ පිළිබඳ සැලකිලිමත්විය යුතු ද?

කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේද අපට දිගින් දිගටම දක්නට ලැබීම පුදුමයක් නොවන බව වසංගත රෝග විද්‍යාඥ හන්ටර් පවසයි.

'මිනිස්සු පෘථිවියේ ජීවත් වන තෙක්ම අපි වෛරසයේ නව ප්‍රභේද දකීවි. නමුත් සැකයක් ලෙස පවතින්නේ SARS-CoV-2 වෛරසය කවදා හෝ සහමුලින්ම නැති වී යයිද කියන එකයි'' ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු පවසන්නේ සිකාඩා ප්‍රභේදය ආසාදිත රෝගීන්ගේ ඉහළයාම යනු සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් හෝ මරණ සංඛ්‍යාව ඉහළ යාම නොවන බවයි.

''ප්‍රභේද සාමාන්‍යයෙන් විටින්විට මතුවෙන්න පුළුවන් වගේම ඒවා ආසාදන රැළි ඇති කිරීමට හේතු වෙන්නත් පුළුවන්... නමුත් මරණ සහ දරුණු රෝගාබාධ අඛණ්ඩව අඩුවෙනවා දකින්න පුළුවන් වෙයි'' ඔහු පවසයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ සිකාඩා ප්‍රභේදය හා සම්බන්ධ රෝගයේ බරපතළකම, රෝහල්ගත කිරීම් හෝ මරණ වැඩි වන බවට වන කිසිදු දත්තයක් නොමැති බව සහ එය මහජන සෞඛ්‍යයට ඇති කරන බලපෑම අවම බවයි.

''දැන් කොවිඩ්-19 කියලා කියන්නේ අපගේ සාමාන්‍ය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ශීත කාලයේදී ආසාදනය වන වෛරසයක් නිසා ජනතාව ඒ පිළිබඳව දැනුවත් වී සිටීම අවශ්‍යයි'' ජෝන්ස් පවසයි.

"එන්නතෙන් ප්‍රයෝජන ලැබෙයි කියලා ඔවුන්ට සිතෙනවා නම් ඔවුන් ගිහිං ඒක ලබා ගත යුතුයි."

කෙසේ වෙතත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් ඇතුළු අවදානම් කණ්ඩායම් සඳහා අයත් වන පුද්ගලයින් කොවිඩ්-19 ආසාදනයකින් බරපතළ ලෙස රෝගී වීමේ හැකියාව පවතී.

''ඔබේ දරුවාට පෙනහළු රෝග, හෘද රෝග හෝ ප්‍රතිශක්ති ඌනතාවක් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ'' ගුප්තා පවසයි.

"නමුත් බොහෝ නිරෝගී දරුවන්ට එය ඉබේම සුව විය යුතු වෙනවා" ඔහු තවදුරටත් පවසයි.