ඇමෙරිකා - ඉරාන ගැටුම තුළ ඊළඟට සිදුවන්නේ අප අපේක්ෂා නොකරන දෙයක් ද? අනුමාන 4ක්

Curated image of US and Iranian flags, and two chess pieces in the foreground ඇමරිකානු සහ ඉරාන ධජවල රූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සයීඩ් ජෆාරි
    • Role, දේශපාලන විශ්ලේෂකයෙක්
  • කියවීමේ කාලය: මිනිත්තු 8

පකිස්ථාන දූත පිරිසක් ටෙහෙරානයට පැමිණ ඇති බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග පැවැත්වූ සාම සාකච්ඡාවල දෙවන වටය සැලසුම් කරමින් සිටින බවට විශ්වාස කෙරේ.

පකිස්ථානය විසින් සත්කාරකත්වය දරන ලද ඇමෙරිකානු-ඉරාන පළමු වටයේ සාකච්ඡා ඉරිදා දිනයේදී කිසිදු ප්‍රගතියක් නොමැතිව අවසන් වීමෙන් පසුව, සති දෙකක සටන් විරාමයක් තවමත් ක්‍රියාත්මක වේ.

අසාර්ථක සාකච්ඡාවලින් දිනක් ඇතුළත, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කළ අතර, එයට ගෝලීය ඉන්ධන වෙළෙඳාම සඳහා ප්‍රධාන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ද ඇතුළත් විය.

මෙම සාකච්ඡා අසාර්ථක වීම සහ තවත් සාකච්ඡා සඳහා ඇති අවස්ථාව අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? එක්සත් ජනපදය සහ ඉරානය ආතතීන් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමට උත්සහ කරනවා ද, නැතහොත් ඔවුන් දැවැන්ත යුද්ධයක් කරා ගමන් කරනවා ද?

ඊළඟට සිදුවිය හැකි දේ පිළිබඳ සලකා බැලිය හැකි අවස්ථා හතරක් මෙන්න.

1. 'උපායශීලී විරාමයක්' විය හැකි බිඳෙනසුලු සටන් විරාමය

Iranians hold national flags as they gather in Tehran's Revolution Square after the United States and Iran agreed to a two-week ceasefire, on April 8, 2026 in Tehran, Iran. 2026 අප්‍රේල් 8 වන දින එක්සත් ජනපදය සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟ වීමෙන් පසු, ටෙහෙරානයේ විප්ලව චතුරශ්‍රයේ රැස්වන ඉරාන වැසියන් ජාතික කොඩි ඔසවාගෙන සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් 8 වන දින ඉරානය සහ ඇමෙරිකාව සති දෙකක සටන් විරාමයකට එකඟ වූ අතර එය ටෙහෙරානයේ සැමරුම් උත්සවවලට හේතු විය

සති ගණනක් තිස්සේ පැවති සටන්වලින් පසුව, එක්සත් ජනපද-ඉරාන සටන් විරාමය අර්බුදය පාලනය කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන බවක් පෙනෙන්නට තිබුණු අතර ආරම්භයේ සිට ම එය සැලකිය යුතු අපැහැදිලිතා සමග බැඳී තිබේ.

එහි සඳහන් වන නියමයන් අර්ථකථනය කිරීමේදී ඇති වෙනස්කම්, භූගෝලීය විෂය පථය, ආවරණය වන ඉලක්ක වර්ග සහ "සටන් විරාම උල්ලංඝනය" යන්නෙහි අර්ථ දැක්වීම යනාදී හේතු නිසා ඇතැම් නිරීක්ෂකයෝ මෙම ගිවිසුම තිරසර සටන් විරාම රාමුවකට වඩා උපායශීලී විරාමයක් ලෙස හඳුන්වති.

ගැටුම ආරම්භ වූ පසු, එකඟතාවකට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොමැති බව වොෂින්ටනය පදනම් කර ගත් චින්තන පර්ශදයක් වන Foundation for Defense of Democracies ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන බෙහ්නාම් බෙන් තලෙබ්ලු පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"එක්සත් ජනපදය සහ ඉරානය වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් එකඟ වුණේ නැහැ, යුද්ධය එම වෙනස්කම් අඩු කර නොමැති අතර ඇත්ත වශයෙන් ම ඒවා තවත් නරක අතට හැරිලා තියෙනවා" යැයි ඔහු බීබීසී පර්සියානු සේවයට පැවසීය.

මේ අතර, දෙපාර්ශ්වයේ ම නිලධාරීන්ගේ පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් තත්ත්වය තවත් අස්ථාවර වී තිබේ.

ඉස්ලාමීය ජනරජයේ නිලධාරීන් සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කිරීම ගැන කතා කරන අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ කැපවීම් පිළිබඳ වඩාත් සීමිත ලෙස අදහස් ඉදිරිපත් කර තිබේ.

මෙම අදහස් දැක්වීමේ ඇති වෙනස්කම් අවිශ්වාසය වැඩි කර ඇති අතර සටන් විරාමයේ කල්පැවැත්ම පිළිබඳව සැක පළ කර ඇත.

සාකච්ඡා සාර්ථක නොවන්නේ නම්, සටන් විරාමය කෙටි විරාමයක් පමණක් වන අතර එමගින් දෙපාර්ශවයට ම විවේක ගැනීමට සහ ඊළඟට සිදුවිය හැකි දේ සඳහා සූදානම් වීමට ඉඩ සැලසේ.

එක් පාර්ශ්වයක් වත්මන් තත්ත්වයෙන් සුළු ප්‍රතිලාභයක් ලබා ගන්නා බවත්, පීඩනයේ අර්ථවත් වැඩිවීමක් අවශ්‍ය බවත් නිගමනය කළහොත් මෙම අවස්ථාව වඩාත් පිළිගත හැකි වේ.

එවිට එක්සත් ජනපදය විකල්පයක් ලෙස විදුලි බලාගාර, පාලම් හෝ බලශක්ති පහසුකම් වැනි වැදගත් යටිතල පහසුකම්වලට පහර දීම සලකා බැලිය හැකි ය.

මෙම ප්‍රහාර ශක්තිමත් කෙටි කාලීන පීඩනයක් ඇති කළ ද, ඒවා බරපතළ මානුෂීය සහ ආර්ථික හානියක් ඇති කළ හැකි හෙයින් ඉරානය ඊට වඩාත් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට හේතු විය හැක.

ඒ සමග ම, සාකච්ඡා පිළිබඳව දැඩි සැකයකින් පසුවන පාර්ශවයක් ලෙස, ඊශ්‍රායලය බලගතු ක්‍රියාකාරිකයෙකු බවට පත්වීමට ඉඩ තිබේ.

"සාකච්ඡාවලට සම්බන්ධ පුද්ගලයින් ද ඇතුළුව ඉරාන වැසියන් ඝාතනය කිරීම වැනි ක්‍රියාමාර්ග ඊශ්‍රායලය සිදු කිරීමට ඉඩ ඇතැයි" ජාත්‍යන්තර සබඳතා පර්යේෂකයෙකු වන හමිඩ්‍රේසා අසීසි පැවසීය.

"කිසිදු පාර්ශවයක අදහස් විමසන්නේ නැතිව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරපු ප්‍රකාශය ගැටුමේ අවදානම වැඩි කරනවා," ඔහු පැවසීය.

ගැටුම් ඇති වීමේ හැකියාව සම්පූර්ණයෙන් ම බැහැර කළ නොහැකි වුව ද, ඉහළ ආර්ථික පිරිවැයක් ඇති කළ හැකි පුළුල් කලාපීය ගැටුමක් සහ ගෝලීය ආර්ථික පීඩනය කෙටි කාලීනව අවම කිරීමට මෙය අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.

2. 'ඡායා යුද්ධය'

Drones can be seen smashing a Star of David as a woman dressed in black walks past an anti-Israel mural in Tehran. ඩ්‍රෝන යානා මගින් දාවිත් ගේ තරුව කඩා දමන ආකාරය දැක්වෙන ඉරානයේ ටෙහෙරාන් අගනුවර බිත්තියක ඇද තිබෙන බිතුසිතුවමක් පසුකර ඇවිද යන කළු පැහැති ඇඳුමක් ඇද සිටින කාන්තාවක්.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සීමාසහිත ගැටුමකදී යටිතල පහසුකම්, හමුදා ඉලක්ක හෝ සැපයුම් මාර්ගවලට පවා සීමිත ප්‍රහාර එල්ල විය හැකි ය.

බොහෝ දුරට ආතතීන් වැඩි වන නමුත් සීමිතව සහ කළමනාකරණය කර ඇති "පාලනයක් සහිත උත්සන්න වීමේ" තත්ත්වයකට නැවත පැමිණීම එක් උපකල්පනයකි.

මෙයින් අදහස් කරන්නේ ගැටුම පූර්ණ පරිමාණ යුද්ධයක් බවට පත් නොවන නමුත්, පාර්ශ්වයන් තවමත් හමුදා ක්‍රියාමාර්ග කිහිපයක් සිදු කරනු ඇති බව ය. මේවාට යටිතල පහසුකම්, හමුදා ඉලක්ක හෝ සැපයුම් මාර්ගවලට එල්ල වන කුඩා ප්‍රහාර ඇතුළත් විය හැකි ය.

ඉරාකය සහ රතු මුහුද වැනි ස්ථානවල ඉරානයට අනුබද්ධ කණ්ඩායම් වඩාත් ක්‍රියාකාරී වනු ඇති අතර, එක්සත් ජනපදය ඔවුන් මත පීඩනය වැඩි කිරීමට ඉඩ ඇත. මෙය ගැටුම තවත් කලාපවලට ව්‍යාප්ත කළ හැකි අතර සටන් වඩාත් තීව්‍ර කළ නොහැක. ඇතැම් විශ්ලේෂකයෝ මෙය "ඡායා යුද්ධයක්" ලෙස හඳුන්වති, එනම් විවෘත යුද්ධයක් වෙනුවට ප්‍රොක්සි කණ්ඩායම් හරහා වක්‍රව සටන් කරන ගැටුමකි.

"දෙපාර්ශවය ම පූර්ණ පරිමාණ යුද්ධයකට අවතීර්ණ නොවී එකිනෙකාට බලපෑම් කිරීම සඳහා තමන් සතු විකල්ප ක්‍රම භාවිත කරන්න කැමති යි," හමීඩ්‍රේසා අසීසි බීබීසී පර්සියානු සේවයට පැවසීය.

"සටන් විරාමය උල්ලංඝනය කළහොත්, ඉරානය විශේෂයෙන් යේමනය ඇතුළු තමන්ගේ මිත්‍ර හමුදා හරහා නව ක්‍රියාමාර්ග ගන්න තියෙන ඉඩකඩ වැඩි යි කියලා තක්සේරු කරන්න පුළුවන්," ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මෙම අවස්ථාව අවදානම් නැතුවා ම නොවේ. ආතතීන් වැඩි වන විට, වැරදි සිදුවීමට ඇති අවස්ථාව වැඩි අතර, දෙපාර්ශවය ම ගැටුම් ඇති කර ගැනීමට අදහස් නොකළ ද එක් වැරදි විනිශ්චයකින් ගැටුම පාලනය කළ නොහැකි මට්ටමකට පත් විය හැකි ය.

3. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිහඬව අඛණ්ඩව ක්‍රියාත්මක වීම

US Vice President JD Vance (C) walks with Pakistan's Chief of Defence Forces and Chief of Army Staff Field Marshall Asim Munir (L), and Pakistani Deputy Prime Minister and Foreign Minister Mohammad Ishaq Daralong a red carpet after leaving an aircraft.

ඡායාරූප මූලාශ්‍රය, Pool/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථානයේ සාකච්ඡා අසාර්ථක වුව ද, නව වටයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් තවමත් ක්‍රියාත්මක විය හැකි ය.

පකිස්ථානයේ සාකච්ඡා අසාර්ථක වුව ද, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිසි පරිදි සිදු වී ඇති බව හෝ සාකච්ඡා මේසයෙන් බැහැර වී ඇති බව තවමත් නිගමනය කළ නොහැකි ය.

මෙම සාකච්ඡාවල සත්කාරකත්වය දරන පකිස්ථානය, ඉදිරි දිනවලදී ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පණිවිඩ යැවීමෙන් එකඟතාවකට පැමිණීමට උපකාර කිරීමට උත්සහ කිරීමට ඉඩ ඇත.

ඒ සමග ම, ගැටුම නරක අතට හැරෙන බව පෙනේ නම් කටාර්, ඕමානය, සෞදි අරාබිය සහ ඊජිප්තුව වැනි මැදිහත්කරුවන් සම්බන්ධ විය හැකි අතර ඔවුන් පාර්ශව අතර සන්නිවේදනය කරමින් තත්ත්වය උත්සන්න වීම කඩිනමින් නැවැත්වීමට උත්සහ කරනු ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන කරුණ නම්, මෙහිදී ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාව පවතින්නේ දෙපාර්ශවය අතර පවතින මූලික එකඟවීම් අවම කිරීම මත පමණක් වීම ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කරුණු 15කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉරානය ද කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ දෙපාර්ශවය ම තවමත් මැද මාවතකට ළඟා වීමට වඩා තමන්ගේ ම යෝජනාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමුඛත්වය දෙන බව ය.

කෙසේ නමුත්, නව සාකච්ඡා වටයක් පැවැත්විය හැකි වුව ද, අවම වශයෙන් කෙටි කාලීනව, කඩිනම් හා පුළුල් එකඟතාවක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බව පෙනෙන්නට තිබේ.

4. අඛණ්ඩ නාවික අවහිර කිරීම

A gigantic red tanker with five enormous white domes heads away from the camera. දැවැන්ත සුදු ගෝලාකාර පහක් සහිත දැවැන්ත රතු පැහැති නෞකාවක් මුහුදේ යාත්‍රා කරන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු නාවික අවහිරය දිගට ම පැවතුණහොත් ගල්ෆ්, රතු මුහුද සහ ඕමාන් බොක්කෙහි නැව් ගමනාගමනයට අවහිර කරන බවට ඉරාන හමුදාව තර්ජනය කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු නෞකාවක් හෝ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් යාත්‍රා කිරීම වළක්වාලමින් ඉරානයට සමුද්‍රීය අවහිරයක් පැනවීමට සිය නාවික හමුදාව අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානයට මුදල් ගෙවන්නේ නම්, එක්සත් ජනපදය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එම නැව් සිය භාරයට ගැනීමට ඉඩ ඇති බවට ද ඔහු තර්ජනය කළේ ය. ඉරානය ඉන්ධන විකිණීමෙන් ලබන ආදායම කපා හැරීම, ඉරානයේ ආර්ථිකය දුර්වල කිරීම සහ එම ඉන්ධනවලින් වැඩි කොටසක් මිල දී ගන්නා ඇමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදී රටවන චීනයට පීඩනය යෙදීම එහි අරමුණ බව පෙනෙන්නට තිබේ.

"විශේෂයෙන් ඉරානයට දිගු වෙරළ තීරයක් ඇති නිසා, ප්‍රමාණවත් බුද්ධි සහ නිරීක්ෂණ සම්පත් භාවිත කරනවා නම්, ඉරානයේ වරායන් මුහුදු තීරය හරහා අවහිර කිරීම හොඳින් ක්‍රියාත්මක විය හැකි," බව බෙහ්නාම් බෙන් තලෙබ්ලු පැවසීය.

"එවැනි පියවරක ප්‍රායෝගික ප්‍රතිඵලය වන්නේ රජයට එහි ප්‍රාථමික වෙළෙඳ භාණ්ඩය අපනයනය කිරීමට ඇති හැකියාව අහිමි කිරීම යි."

නමුත් අනෙක් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ, එවැනි ප්‍රතිපත්තියක් මගින් එක්සත් ජනපදයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ම, හමුදාව ඉරානයට සමීප කරවන නිසා ඔවුන් ප්‍රහාරයකට ඉලක්ක වීමේ අවස්ථාව වැඩි වන බව ය.

එපමණක් නොව, සැලැස්ම ඵලදායී වීමට නම්, සැලකිය යුතු පිරිවැයක් දරමින් නාවික හමුදාවට ඉරානයේ දේශසීමා අසල දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුවනු ඇත.

එවැනි ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ගෝලීය තෙල් හා බලශක්ති මිල ඉහළ යාමට ද හේතු විය හැකි අතර, බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහනය කඩාකප්පල් කිරීමට හූති සටන්කාමීන් මැදිහත් වීමේ සම්භාවිතාව වැඩි කරන අතර එමගින් ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි ය.

ව්‍යුහාත්මක අස්ථාවරත්වය - කලාපයේ නව පිළිවෙළ ද?

A woman walks past a brightly coloured anti-US mural depicting Iran-US talks ඉරාන-ඇමරිකානු සාකච්ඡා නිරූපණය කරන දීප්තිමත් වර්ණ සහිත ඇමරිකානු විරෝධී බිතුසිතුවමක් පසුකර යන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යුද්ධය සහ සාකච්ඡා එකවර සිදුවන අවස්ථාවකට පිවිස ඇත

අවසාන වශයෙන්, මෙම තත්ත්වයන් තුළින් පැහැදිලි වන්නේ යුද්ධය සහ සාමය අතර සීමාව අන් කවරදාකටත් වඩා අපැහැදිලි වී ඇති අවධියකට කලාපය අවතීර්ණ වී ඇති බව ය.

පකිස්ථාන සාකච්ඡා අසාර්ථක වීමෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අවසන් වී ඇති බව හෝ පුළුල් යුද්ධයක් නිසැකව ම ආරම්භ වන බව අදහස් නොවේ. ඒ වෙනුවට, සාමය සහ යුද්ධය අතර වන "අවිනිශ්චිත" තත්ත්වය දිගට ම පවතිනු ඇතැයි එයින් යෝජනා කෙරේ.

"මෙම ගැටුම අවසන් කරන්න දෙපාර්ශවය ම කැමති වුණත්, කෙටි කාලීනව එය සිදුවෙයි කියලා හිතන්න බැහැ," හමිද්‍රේසා අසීසි පැවසීය.

වත්මන් තත්ත්වය තුළ, උපක්‍රමශීලී තීරණ, ආරක්ෂක ගැටලු සහ සුළු සිදුවීම් අර්බුදය වර්ධනය වන ආකාරය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකි ය.

මෙය බොහෝ විශ්ලේෂකයින්ට කලාපය තුළ "ව්‍යුහාත්මක අස්ථාවරත්වයක්" ගැන කතා කිරීමට හේතු වී ඇති අතර පවතින තත්ත්වය පිළිබඳ පවතින නීති රාමුව අපැහැදිලි හෙයින් එහි ප්‍රතිඵලය ගැන අනාවැකි කීමට අපහසු ය.

එවැනි තත්ත්වයන් යටතේ, වඩාත් නිවැරදි තොරතුර වන්නේ ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යුද්ධය සහ සාකච්ඡා එකවර දිග හැරෙන අවධියකට අවතීර්ණ වී ඇති බව ය. දෙපාර්ශවය ම හමුදා හැකියාවන් මත විශ්වාසය තබන අතර ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අර්ධ වශයෙන් විවෘතව තබා ගනු ඇත.