ට්‍රම්ප්ගේ මීළඟ ඉලක්කය කියුබාව ද?: ඇමෙරිකා-කියුබා සබඳතාවල ස්වරූපය ගැන කෙටි විමසුමක්

Flag of Cuba and USA painted on a concrete wall with soldier shadow - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 7

ගෙවුණු මාර්තු මස මැද භාගයේදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "කියුබාව කිනම් හෝ ආකාරයකින් අත්පත් කර ගැනීමේ" ගෞරවය තමාට හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය.

එයින් ඔහු අදහස් කළේ කුමක්දැයි වාර්තාකරුවන් විමසූ විට ට්‍රම්ප් පැවසුවේ ඔහු විශ්වාස කරන්නේ "ඒ සම්බන්ධයෙන් මට අවශ්‍ය ඕනෑ ම දෙයක් කරන්න පුළුවන්. ඔයා ඇත්ත දැන ගන්න ඕන. ඒක මේ වන කොට ඉතා දුර්වල රටක්," යනුවෙනි.

ඒ, 2026 මුල් භාගයේදී එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සිය ග්‍රහණයට ගැනීමෙන් පසුව කියුබාව වෙත පනවන ලද ඉන්ධන අවහිරය ඇතුළුව ඔවුන්ට දැඩි ආර්ථික පීඩනයක් එල්ල වූ කාල පරිච්ඡේදයකින් පසුව ය.

මෙය සිදුවන්නේ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනල් දෙරට අතර වර්ධනය වන ආතතීන්ට විසඳුම් සෙවීම සඳහා එක්සත් ජනපදය සමග සාකච්ඡා කරමින් සිටින බව අසාමාන්‍ය ලෙස ප්‍රසිද්ධියේ කීමෙන් අනතුරුව ය.

එක්සත් ජනපද අවහිර කිරීම හේතුවෙන් මාස තුනකින් කියුබාවට ඉන්ධන නොලැබුණු බවත්, එමඟින් දුපතේ පවතින බලශක්ති අර්බුදය තීරණාත්මක තත්ත්වයකට පත් කර ඇති බවත් එහිදී ඔහු පැවසීය.

වසර ගණනාවක් පුරා කියුබානුවන් නිතර නිතර විදුලිය විසන්ධි වීම් අත්විඳිමින් සිටින අතර, විදුලිබල පද්ධතිය ක්‍රියාත්මක වන්නේ දුර්වල නඩත්තු කටයුතු යටතේ යැයි විචාරකයින් පෙන්වා දෙන බව බීබීසී මුන්ඩෝ පුවත් සේවය වාර්තා කළේ ය.

ජනවාරි මස මුලදී ඇමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැපයුම් කපා හරින තෙක් කියුබාව විශේෂයෙන් වෙනිසියුලාවෙන් ලැබෙන ඉන්ධන ආනයනය මත දැඩි ලෙස රඳා පැවතිණි.

කියුබාව කඩා වැටීමට ආසන්න ද?

A woman holds a sign that reads "Trump do it make Cuba great again" and a Cuban flag as Trump supporters participate in a protest against Cuba's government, in Miami, Florida, US, in February 2026

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කිලෝමීටර 145ක් දකුණින් පිහිටි මෙම දූපත් රාජ්‍යය ෆිදෙල් කැස්ත්‍රෝගේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කළ 1960 දශකයේ මුල් භාගයේ සිට එක්සත් ජනපද සම්බාධක යටතේ පවතී.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇමරිකානු හමුදාව ඉකුත් ජනවාරි මාසයේදී මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ට්‍රම්ප් පැවසුවේ, කියුබාව "කඩා වැටීමට ආසන්න" මට්ටමක පවතින බැවින් ඒ සඳහා හමුදාමය මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි.

කියුබානු සංක්‍රමණික යුවළකගේ පුත්‍රයෙකු වන ඇ,මෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ දිගු කලක සිට කියුබාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් අපේක්ෂාවෙන් සිටියි.

"මම හවානාහි [කියුබාවේ අගනුවර] ජීවත් වුණා නම් සහ මම රජයේ හිටියා නම්, මම ඒ ගැන අවම වශයෙන් ටිකක් හරි සැලකිලිමත් වෙනවා," යැයි එක්සත් ජනපදය මදුරෝ ග්‍රහණයට ගැනීමෙන් පසු ඔහු පැවසීය.

මෙවැනි අදහස් දැක්වීම් සහ රාජ්‍ය ලේකම් මෙන් ම ජාතික ආරක්ෂක උපදේශක ලෙස ඔහු හොබවන ඒකාබද්ධ භූමිකාව ට්‍රම්ප්ගේ මීළඟ පියවර කෙරෙහි බලපෑම් කිරීමට ඔහුට කොතරම් දුරට හැකිවේ ද යන ප්‍රශ්නය මතු කරයි.

යුරෝපා සංගමයේ හිටපු කියුබානු තානාපති කාලෝස් අල්සුගරේ මෙම වසර මුලදී බීබීසී ලෝක සේවයේ Newsday වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ, කියුබාව ඇමෙරිකානු මැදිහත්වීමකට සූදානම් වන බවයි. නමුත් ඔවුන් එය සිදුවනු ඇතැයි අපේක්ෂා කළ බවක් එයින් අදහස් නොවීය.

"මගේ වයසේ බොහෝ කියුබානුවන්... ඇත්තට ම එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ," ඔහු පැවසීය.

"කියුබානු වැසියන්ට වෙනසක් අවශ්‍යයි, විශේෂයෙන් ම ආර්ථික වශයෙන්, නමුත් ඔවුන්ට එය 'බාහිර පාර්ශවයකින් සිදු කිරීම' අවශ්‍ය නැහැ", ඔහු සඳහන් කළේ ය.

"අපි එය කොහොම හරි විසඳා ගන්නවා, නමුත් මේක නෙමෙයි ඒකට යන මාර්ගය," ඔහු පැහැදිලි කළේය.

"ඇමෙරිකාව සිදු කරන මැදිහත්වීමක් අපේ ගැටලු විසඳයි කියලා හිතන්න තරම් කියුබාවේ කිසි ම කෙනෙක් බොළඳ වෙන එකක් නෑ."

චීනය හෝ රුසියාව උපකාර කිරීමට මැදිහත් විය හැකි ද යන්න පිළිබඳව ද කතාබහක් පවතින නමුත් එය සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි දෙයක් සේ සැලකේ.

මේ මොහොතේ කියුබාවේ ජන ජීවිතය ගත වන්නේ කෙසේ ද?

An elderly woman uses a lighter to light her gas stove in order to make coffee. The photograph is dimly lit as electricity has been cut. Picture dated 16 March 2026.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එක්සත් ජනපදය මෙම පියවර ගෙන ඇත්තේ, කියුබාවේ තත්ත්වය වඩාත් දරුණු වෙමින් පවතින අතරතුර සහ ට්‍රම්ප්ගෙන් අඛණ්ඩව එල්ල වන තර්ජන මධ්‍යයේ ය. රට දිගින් දිගට ම විදුලිය කප්පාදු සඳහා මුහුණ දෙමින් සිටින අතර විශ්වාසදායක විදුලි සැපයුමක් නොමැතිව කියුබානු ජනයා දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.

සම්බාධක පනවා ඇති වෙනිසියුලානු ඉන්ධන නෞකා ට්‍රම්ප් පරිපාලනය විසින් අත්පත් කර ගැනීම කියුබාවේ ඉන්ධන සහ විදුලි අර්බුදය තවත් නරක අතට හරවා තිබේ.

වෙනිසියුලාව තවදුරටත් සිය දිගුකාලීන මිතුරාට තෙල් හෝ මුදල් නොයවන බැවින් කියුබාවේ "කඩා වැටීම" කඩිනම් විය යුතු බව පවසමින් ට්‍රම්ප් කියුබාවට තෙල් සපයන රටවලට බදු පනවන බවට තර්ජනය කර තිබේ.

නිෂ්පාදන ඌනතාවන්, යල් පැන ගිය තාප විදුලි බලාගාර සහ ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන වෙත ප්‍රවේශ වීමට විදේශ මුදල් නොමැතිකම හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමේදී ඇති කල්පවතින ගැටලු මගින් තත්වය තවත් උග්‍ර කර ඇත.

1960 ගණන්වලදී එක්සත් ජනපද සමාගම් ඇතුළු ව්‍යාපාර කැස්ත්‍රෝ විසින් ජනසතු කිරීමේ සිට කියුබාව මත පනවා ඇති එක්සත් ජනපද ආර්ථික සම්බාධක මෙම දුෂ්කරතාවලට හේතුවී ඇතැයි හවානා රජය දොස් පවරා තිබේ.

දශක ගණනාවක් තුළ අත්විඳින දරුණුතම ඉන්ධන සලාක ක්‍රමය හමුවේ ජනයාට දැන් ඉතිරිව ඇත්තේ අඟුරු සහ දර භාවිතයෙන් ආහාර පිසීම බව බීබීසී මුන්ඩෝ සේවය වාර්තා කරයි.

"විදුලිය නැතුව විදුලි උඳුන් භාවිත කිරීමට අපහසු නිසා, ගෑසුත් හරිම සුළු ප්‍රමාණයක් විතරක් ඉතුරුවෙලා තියෙන නිසා ගොඩක් අය ගොඩ කාලෙක ඉඳන් මෙහෙම තමයි උයා ගන්නේ," යනුවෙන් හවානාහි පදිංචි එලිසබෙත් කොන්ට්‍රේරාස් පසුගිය මාසයේ බීබීසී මුන්ඩෝ සේවයට පැවසුවාය.

"මෙම [අවිනිශ්චිත] කාලවකවානුවේදී අසල්වැසියන් විදිහට අපි එකිනෙකාට උදව් කරගෙන ඉන්නවා," 68 හැවිරිදි විශ්‍රාමික කාන්තාව පැවසීය.

මුදල් ඉතිරි කර ගැනීම සඳහා කියුබානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සැලැස්මට ඉන්ධන අලෙවිය සලාක ක්‍රමයට සිදු කිරීම, අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සහ සේවා සඳහා ඒවා භාවිත කිරීම මෙන්ම දුරකතන සේවයන් සඳහා ප්‍රමුඛත්වය දීම සහ විශ්වවිද්‍යාලවල හයිබ්‍රිඩ් ලෙස දේශන පැවැත්වීම ඇතුළත් වේ.

වෙනිසියුලාව සහ කියුබාව අතර පවතින සබඳතා මොනවා ද?

A black and white picture of former Cuban leader Fidel Castro waving to a camera and smiling. කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ කැමරාවක් දෙසට අත වනමින් සිනාසෙන කළු සුදු ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, Bettmann Archive / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ වසර 49ක් බලයේ සිටියේ ය

රාජ්‍ය පාලනය යටතේ පවතින සමාජවාදය පිළිබඳ දැක්මක් දෙරට විසින් බෙදා ගනු ලබන අතර 1999දී හිටපු වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් බලයට පත් වූ දා සිට එකිනෙකාට සහයෝගය දක්වමින් සිටියි.

වෙනිසියුලාව විසින් කියුබාවට සහනාධාර මත බොරතෙල් ලබා දෙන ලද අතර ඒ වෙනුවට කියුබාව සෞඛ්‍ය, අධ්‍යාපන සහ ක්‍රීඩා සේවකයින් මෙන් ම හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් සපයනු ලැබීය.

වෙනිසියුලාව තුළ සිදු කළ එක්සත් ජනපද මෙහෙයුමේදී කියුබානු සන්නද්ධ හමුදාවේ සාමාජිකයින් 32 දෙනෙකු පමණ මිය ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මදුරෝගේ සමීපතම ආරක්ෂක අංශයේ සාමාජිකයින් බව විශ්වාස කෙරේ.

නිවැරදි සංඛ්‍යාලේඛන තහවුරු කර ගැනීම දුෂ්කර වුව ද, වෙනිසියුලාව දිනකට තෙල් බැරල් 35,000ක් පමණ එනම් වාර්තා වන පරිදි කියුබාවේ තෙල් අවශ්‍යතාවයෙන් 30%ක් පමණ ලබාදුන් බව සැලකේ. එය ප්‍රධාන බලශක්ති හවුල්කරුවන් සහ දිගුකාලීන මිතුරන්ගෙන් තවත් රටක් වන රුසියාවෙන් ලැබෙන ප්‍රමාණය මෙන් පස් ගුණයක පමණ ප්‍රමාණයකි.

එක්සත් ජනපදය සහ කියුබාව - කෙටි ඉතිහාසයක්

A picture of a man putting up a poster that showed a cartoon Barack Obama with the words "Habana - Cuba Libre" marking the 10th anniversary of a historic attempt at reconciliation between the two countries in 2014.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1928දී කැල්වින් කූලිජ්ගෙන් පසු කියුබාවට ගිය පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා බැරැක් ඔබාමා ය

ඊට වෙනස්ව, කියුබාව සහ එක්සත් ජනපදය අතර ඓතිහාසික වශයෙන් එදිරිවාදයක් තිබේ.

කියුබානු විප්ලවයේදී 1959දී කැස්ත්‍රෝ එවකට කියුබානු ජනාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහ කරන ලදී. බැටිස්ටාට එක්සත් ජනපද රජය විසින් සහය ලබා දුන් අතර ඔහු බලයෙන් පහ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා නරක අතට හැරීම ආරම්භ විය.

කැස්ත්‍රෝ ඇමෙරිකානු ආනයන මත පැනවූ බදු ඉහළ නැංවූ අතර එවක සෝවියට් සංගමය සමග වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත්තේය. ඒ සඳහා ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව හවානා සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමූ අතර වෙළෙඳ සම්බාධක පැනවීය. එය අද දක්වා ම ක්‍රියාත්මක වෙමින් පවතී.

1961 වසරේදී 'බේ ඔෆ් පිග්ස්' ආක්‍රමණය සිදු වූ අතර එහිදී බොහෝ දුරට CIA අනුග්‍රහය ලත් කියුබානු පිටුවහලුන් 1,400ක පිරිසක් කැස්ත්‍රෝව බලයෙන් පහ කිරීමට උත්සහ කළ නමුත් දින තුනක් ඇතුළත කියුබානු හමුදාව විසින් ඔවුන් පරාජය කෙරිණි.

වසරකට පසුව එනම්, 1962දී එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි කියුබාව මත පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බව නිවේදනය කළේ ය.

එම වසරේ අගභාගයේදී කියුබානු මිසයිල අර්බුදය උද්ගත විය: සෝවියට් සංගමයට රට තුළ න්‍යෂ්ටික මිසයිල මධ්‍යස්ථාන ඉදිකිරීමට කියුබාව ඉඩ දී ඇති බව ඇමරිකාව අනාවරණ කර ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස ලෝකය දින 13ක් පුරාවට න්‍යෂ්ටික යුද්ධයක අද්දරටම පැමිණ සිටියේය. අනතුරුව කෙනඩි සහ සෝවියට් සංගමය එකඟතාවකට පැමිණි අතර එමගින් එක්සත් ජනපද න්‍යෂ්ටික මිසයිල තුර්කියෙන් ඉවත් කර ගත් අතර සෝවියට් අවි කියුබාවෙන් ඉවත් කර ගන්නා ලදී.

බැරැක් ඔබාමා ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වූ විටදී දෙරට අතර සබඳතා සුළු වශයෙන් ආරම්භ විය. සංචාරක සහ මුදල් හුවමාරු මත පනවා තිබූ සීමාවන් ඔහු විසින් ලිහිල් කළ අතර, 1982 වසරේදී ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කර තිබූ කියුබාව ඉන් ඉවත් කළේය. දෙරට සිය තානාපති කාර්යාල යළි විවෘත කළ අතර 1928 වසරින් අනතුරුව කියුබාවේ සංචාරය කළ පළමු ධූරය හොබවන එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වෙමින් 2016 වසරේදී ඔබාමා කියුබාවේ සංචාරය කළේ ය.

ඉන් වසරකට පසුව ට්‍රම්ප් ඇමෙරිකානුවන්ට කියුබාවට සංචාරය කිරීම සඳහා පනවා තිබූ සීමාවන් නැවත ක්‍රියාත්මක කළ නමුත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ නොදමන බව පැවසුවේය. එම වසරේ අගභාගයේදී රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ බුද්ධි අංශ නිලධාරීන්ට සෞඛ්‍ය ගැටලු මතු වීම හේතුවෙන් එක්සත් ජනපදය සිය තානාපති කාර්යාලයේ සේවකයින් බහුතරයක් ඉවත් කර ගත්තේය.

2021 වසරේදී එක්සත් ජනපදය නැවතත් කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ඇතුළත් ලැයිස්තුවට එක් කළ අතර, හවානාහි පැවති විරෝධතාවලින් පසුව එවක ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තවත් සම්බාධක ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන් වසරකට පසුව ඔහු ඉන් ඇතැම් සම්බාධක ලිහිල් කළ අතර 2025 වසරේදී කියුබාව නැවතත් ඇමෙරිකානු ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කරන බව පැවසීය. නමුත් ට්‍රම්ප් සිය ධුරයට පත් වූ පළමු දිනයේදී ම එම පියවර අවලංගු කළ අතර පසුව වඩාත් දැඩි සීමාවන් පැනවීය.