ඉරානය සමග සාම සාකච්ඡා සඳහා ඇමෙරිකානු කණ්ඩායමට නායකත්වය දෙන උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, මයික් වෙන්ඩ්ලින්ග්, බීබීසී පුවත් - මිල්වෝකි, විස්කොන්සින්, සාරා බෙල් - බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 9
ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් යනු පරිවර්තනයන් සඳහා අලුත් කෙනෙකු නොවේ.
කුඩා කල දරිද්‍රතාවයෙන් පීඩා වින්ද ද පසුව යේල් නීති විද්‍යාලය වෙත පිය මනින ඔහුට කැලිෆෝර්නියාවේ සිලිකන් වැලීහි තාක්ෂණික කර්මාන්තය තුළ සිටින ධනවත් මෙන් ම බලවත් පුද්ගලයින් සමග කාලය ගත කිරීමට වරම් ලැබුණේ, තම ජීවිත කතාව පිළිබඳව ඊට සියුම් ලෙස දේශපාලනික හැඩයක් ද එක් කර ගතානුගතික අදහස් රජයන ස්වයං චරිත කථාවක් එළි දැක්වීමට පෙරාතුව ය.
වෑන්ස්, එක්සත් ජනපද මැරීන් බළකායේ හිටපු සාමාජිකයෙකි. ඔහු ඉරාකයේ මිලිටරි ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අතර, පසුව විදේශ රාජ්‍යන් වෙත සිදු කරන ඇමෙරිකානු මැදිහත්වීම් දැඩි ලෙස විවේචනය කරන්නෙකු බවට පත් විය.
කලකට පෙර තමන් "ට්‍රම්ප්ට කිසි දා සහය නොදක්වන පුද්ගලයෙකු" ලෙස පැවසූ ඔහු, පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැන්නා ලෙස තනතුරෙහි වගකීම් ගෙන, ඔහුගේ Make America Great Again න්‍යායපත්‍රයේ ස්ථිර ආධාරකරුවෙකු බවට පත් විය.
ඔහුගේ වර්තමාන තනතුර, 2028 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ මුල් පෙළ අපේක්ෂකයෙකු ලෙස ඔහු හැඳින්වීමට හේතු වේ. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ නීති අනුව එම වසරේදී ට්‍රම්ප්ට ජනාධිපතිවරණයකට තරග කළ නොහැක.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තනතුර භාරගත් දා සිට, 41 වන වියේ පසුවන වෑන්ස්, යුරෝපීය සංගමය, NATO සහ අනෙකුත් මිතුරු රාජ්‍ය විවේචනය කිරීමෙන් ගෝලීය ක්‍රියා පටිපාටිය වෙනස් කළ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩිව ප්‍රකාශ කිරීමේ ප්‍රධාන භූමිකාව දරා තිබේ.
දැන්, හිටපු ඔහායෝ සෙනෙට් සභිකයෙකු වන සහ තමන් විසින්ම "හිල්බිලී" (ග්‍රාමීය පසුබිමකින් එන සරල ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු හැඳින්වීමට භාවිත වන ඇමෙරිකානු පදයකි) කෙනෙකු ලෙස හඳුන්වා ගත් වෑන්ස්, අප්‍රේල් 11 දා පකිස්ථානයේදී ආරම්භ වූ ඉරානය සමග කෙරෙන සාම සාකච්ඡා සඳහා ඇමෙරිකානු නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙයි.
අවුල්සහගත ගෘහස්ත ළමා කාලය
වෑන්ස්, ඔහායෝ ප්‍රාන්තයේ මිඩ්ල්ටවුන්හිදී ජේම්ස් ඩොනල්ඩ් බෝමන් ලෙස උපත ලැබීය. ඔහුගේ මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර පියා ඔහු කුඩා කල ම පවුල හැර ගොස් තිබිණි.
ඔහු "Mamaw" සහ "Papaw" ලෙස හැඳින්වූ තම මිත්තණිය සහ මුත්තණුවන් ළඟ හැදී වැඩිණි. 2016 වසරේදී පළ වූ කෙන්ටකි, මිඩ්ල්ටවුන්හි සිට පැවත එන තම පවුලේ අගයන් මෙන් ම සිය උපන් ප්‍රදේශය වූ ඔහායෝහි සමාජ‑ආර්ථික ගැටලු විස්තර කරන 'Hillbilly Elegy' නමැති ඔහුගේ ජිවිත කතාව ඇතුළත් කෘතියේ ඔහු ඔවුන් පිළිබඳව දයාවන්තව සඳහන් කර තිබිණි.
තම පියා ලෙස වරින් වර පැමිණ ගිය පිරිමින් හේතුවෙන් ඔහුගේ වාසගම කිහිප වතාවක් ම වෙනස් වීම — සහ මවගේ මත්ද්‍රව්‍ය ගැටලු, ඔහුගේ ළමා කලය අවුල්සහගත එකක් බවට පත් කළ අතර ඔහුට අවශ්‍ය රැකවරණය ලැබුණේ තම මිත්තණියගේ නිවසේදී පමණි.
ඔහු විවාහ දිවියට එළඹි අවස්ථාවේ ජේ.ඩී. සහ ඔහුගේ බිරිඳ උෂා, ඔහුගේ මව්පාර්ශවීය මිත්තණිය සහ මුත්තණුවන්ගේ වාසගම වූ "වෑන්ස්" යන නාමය තෝරා ගත්හ. ඉන් ඔහුගේ වර්තමාන නම නිර්මාණය විය: එනම් ජේම්ස් ඩේවිඩ් වෑන්ස් යන්නයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මිඩ්ල්ටවුන් ඔහායෝහි "මල බැඳි තීරය" ලෙස හඳුන්වන ප්‍රදේශයේ පිහිටා තිබේ. එය නිෂ්පාදනය අඩුවීමත් සමග ආර්ථික වශයෙන් පරිහානියට ලක් වූ කලාපයකි. නමුත් වෑන්ස්ට තම පවුලේ සෙසු ඥාතීන්ගේ මූලයන් පැවති ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශයට සමීප බවක් දැනිණි.
ඇපලාචියා ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය, ඩීප් සවුත් සිට මිඩ්වෙස්ට් සහ ඊසානදිග දක්වා විහිදෙන විශාල කඳුකර ප්‍රදේශයකි. වැඩි වශයෙන් සුදු ජාතිකයන් ජීවත්වන එහි, විරැකියාව, මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වය බහුල රටේ දුප්පත් ම ප්‍රදේශ කිහිපයක් ද ඇතුළත් වේ.
ඔහුගේ පොත ප්‍රකාශයට පත් වූ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය උච්චතම අවස්ථාව වන විට වෑන්ස් තම උපන් ගම වන මිඩ්ල්ටවුන් වෙතින් ඈත්ව බොහෝ දුර ගමන් කර තිබිණි.
ඉරාකයේ යුද්ධමය රජකාරී සඳහා කළ සංචාරය ද ඇතුළුව ඇමෙරිකානු මැරීන් බළකායේ සේවය කළ කාලය අවසන් වූ පසු, ඔහු ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහ යේල් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, පසුව කැලිෆෝර්නියාවේ නව ව්‍යාපාර වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස ද රැකියාවේ නිරතවිණි.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
ඔහුගේ කෘතිය වන 'Hillbilly Elegy' ඔහුව වැඩිම අළෙවියක් සහිත කතුවරයෙකු බවට පත් කළා පමණක් නොව, සුදු ජාතික කම්කරු පන්තියේ ඡන්දදායකයින්ට ට්‍රම්ප්ගේ ආකර්ෂණය පැහැදිලි කිරීමට නිතර කැඳවනු ලැබූ ජනප්‍රිය විචාරකයෙකු බවට පත් කළේය.
වෑන්ස් තම පොත ප්‍රවර්ධනය කරමින් කම්කරු පන්තිය සහ ගතානුගතික අදහස් ගැන කතා කළ නමුත් ඔහු එදා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා විවේචනය කිරීමට ලද කිසිදු අවස්ථාවක් මග නොහැරියේ ය. ඔහු කළ ප්‍රකාශ අතර: "දෙවියනේ, මොන මෝඩයෙක් ද?" යනුවෙන් ප්‍රකාශයක් ද ඇතුළත් විය.
බිරිඳ සහ පවුල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යේල්හිදී වෑන්ස්ට ඔහුගේ බිරිඳ ඌෂා මුණගැසුණු අතර ඔවුන්ට දාව යුවාන්, විවේක් සහ මිරබෙල් නමැති දරුවන් තිදෙනෙක් සිටිති. එළඹෙන ජුලි මස දී තම සිව්වන දරුවා ලෙස පිරිමි දරුවෙකු බිහිවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ජනවාරි මාසයේදී ඌෂා ප්‍රකාශ කළා ය.
ඇයගේ ජීවිත ආරම්භය, ඇගේ සැමියාට වඩා සුවිශේෂී විය. කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ නගරයට තදාසන්න ප්‍රදේශයක ඉන්දියාවෙන් සංක්‍රමණිය වූ අධ්‍යාපනවේදීන් දෙදෙනෙකුගේ දියණියක ලෙස ඇය හැදී වැඩුණා ය. යේල්හි ඉතිහාසය සහ නීති උපාධිවලට අමතරව, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලද දර්ශනපති උපාධියක් ද ඇයට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2017 වසරේදී, ට්‍රම්ප්ගේ පළමු පාලන කාලයේ මුල් වසරවලදී, එක්සත් ජනපදයේ නැගෙනහිර සහ බටහිර වෙරළ ප්‍රදේශ දෙකෙහි ම වසර කිහිපයක් ම ගත කිරීමෙන් පසු වෑන්ස් සහ ඔහුගේ පවුල ඔහායෝ වෙත නැවත ගියේ ය.
එම කාලයේදී ම, වෑන්ස් ලද ජනප්‍රියත්වයත් සමග ඔහු දේශපාලනයට පිවිසීමට ඇති හැකියාව පිළිබඳ කටකතා වර්ධනය වන්නට විය. ඉන් වසර කිහිපයකට පසු, ඔහායෝහි රිපබ්ලිකන් සෙනෙට් සභික රොබ් පෝට්මන් 2022දී නැවත මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ විට වෑන්ස් තමන්ට අවස්ථාවක් ඇති බව දුටුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැතිවරණ ව්‍යාපාරය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මුලදී සෙමින් ඉදිරියට ගිය ද, සිලිකන් වැලීහි බලවත් පුද්ගලයෙකු වන සහ ඔහුගේ හිටපු ආයතන ප්‍රධානියා වූ පීටර් තියෙල් ලබා දුන් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් සමග එය වේගවත් විය.
ඔහුගේ කතා විලාසය වෙනස් විය. ග්‍රාමීය පසුබිමකින් මිනිසුන්ගේ අසමත්කම් ගැන කතා කිරීම අඩු කර ඒ වෙනුවට ඔහු ප්‍රභූන්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සහ ප්‍රගතිශීලීන් විවේචනය කළේ ය. ඔහු නිතර Fox News තුළ දක්නට ලැබුණත් වැඩි අවධානයක් දිනා ගැනීමට සහ ආධාරකරුවන්ගෙන් ලැබෙන සහය වැඩි කර ගැනීමට ප්‍රධාන ධාරාවේ නොවන දක්ෂිණාංශික නිව්ස්මැක්ස් ජාලය, කුඩා පොඩ්කාස්ට් වැඩසටහන් සහ යූටියුබ් නාලිකා ඇතුළු දේශපාලනය ගැන වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙන මාධ්‍යවල ද පෙනී සිටියේය.
2024 ජනාධිපති ව්‍යාපාරය අතරතුර නැවත ජනප්‍රිය වීමට පටන් ගත් ආන්දෝලනාත්මක වීඩියෝ, ඔහු සෙනේට් ධූරයට තරග කළ කාලය තුළ පළ වූ ඒවා විය.
කෙසේ වෙතත්, ඔහු සෙනෙට් සභාවට තේරී පත්වීම වැළැක්වූ ප්‍රධාන බාධාව වූයේ, ට්‍රම්ප් පිළිබඳ ඔහු කලින් කළ විවේචනයි.
කෙසේ වෙතත්, අවසානයේ ඔහු ට්‍රම්ප්ගේ දේශපාලන මාවතට පිවිසියේ 2022 සෙනෙට් මැතිවරණ ව්‍යාපාරය අතරතුර සමාව අයැද සිටිමින් සහ මහජන සහය හිමි කර ගනිමිනි. එය ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ඉහළට තල්ලු කළ අතර අවසානයේ සෙනෙට් සභාවට ගෙන ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සෙනෙට් සභික වෑන්ස්
සෙනෙට් සභාවේ ඔහුගේ කෙටි කාලය තුළ, වෑන්ස් නිරන්තරයෙන් ගතානුගතික ප්‍රතිපත්තිවලට මෙන් ම "ජනතාව කේන්ද්‍ර කරගත්" ආර්ථික අදහස්වලට සහය දැක්වීය.
කෙසේ වෙතත් ඔහු යුක්‍රේනයට එක්සත් ජනපදය ආධාර කිරීමට දැඩි ලෙස විරුද්ධ විය. එය ඔහු ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ද නොවෙනස්ව පවත්වා ගෙන යන ස්ථාවරයක් විය.
ඔහු කොංග්‍රසයේ සිටි කාලය පුරා ඩිමොක්‍රටික් පක්ෂයට බහුතර බලයක් හිමිව තිබුණු අතර එකළ නව රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකුට ඒ තුළ බලයක් නොතිබුණු තරම් ය.
ලොව පුරා සිටින දක්ෂිණාංශික සහ අන්ත දක්ෂිණාංශික නායකයින්ගේ සහභාගිත්වයෙන් 2024 ජූලි මාසයේදී පැවති National Conservatism Conferenceහිදී කළ කතාවකදී ඔහු තර්ක කළේ, යුක්‍රේනය තුළ ඇමෙරිකානු මැදිහත්වීමට "පැහැදිලි අවසානයක් හෝ, අපි ළඟා කර ගැනීමට ආසන්න ඉලක්කයක්වත් නොමැති," බවයි.
එම සම්මේලනයේදී ම, සංක්‍රමණික ගැටලු හේතුවෙන් එක්සත් රාජධානිය සිටින්නේ "එතරම් හොඳ තත්ත්වයක නොවන බවත්" කම්කරු පක්ෂ රජයක් යටතේ රට න්‍යෂ්ටික බෝම්බයක් සහිත "පළමු සැබෑ ඉස්ලාමීය රට" බවට පත්වන බවත් පැවසීය.
ඉන් දින කිහිපයකට පසුව, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප් වෑන්ස් උපජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Erik S Lesser via EPA
උපජනාධිපති ලෙස වෑන්ස්
ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දුන් දා සිට, උපජනාධිපතිවරයාගේ විශාලතම බලපෑම රටේ විදේශ ප්‍රතිපත්තියට එල්ල වී ඇති බවට තර්ක කළ හැකි ය.
ඔහු ලෝක වේදිකාවට පිවිසියේ යුරෝපයට කළ සංචාරයක් සමගිනි. එම සංචාරයේදී මියුනිච් ආරක්ෂක සමුළුව ඇමතූ ඔහු ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයන් විවේචනය කළේ ය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීම, ඕනෑවට වඩා සංක්‍රමණිකයන් රට තුළට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කැපීම සම්බන්ධයෙන් වෑන්ස් චෝදනා කළේ ය.
ඉන්පසු ඕවල් කාර්යාලයේදී යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් වාදය සිදුවිය. නිසි ගෞරවයක් ලබා නොදෙන බවටත්, දේශපාලනඥයින් "තමන්ට නැඹුරු කර ගැනීමට යුක්‍රේනය තුළට ගෙන්වා ගන්නා බවටත්" සහ එක්සත් ජනපදය ලබා දෙන සහයෝගයට ප්‍රමාණවත් තරම් කෘතඥ නොවන බවටත් පවසමින් වෑන්ස් සෙලෙන්ස්කි විවේචනය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එමෙන් ම, සම්පත් බහුල ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගැනීම පිළිබඳ ට්‍රම්ප්ගේ උනන්දුව, යුරෝපය පුරා මිත්‍ර පාක්ෂිකයින් කණස්සල්ලට පත් කර තිබේ. සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ වහා ම වෑන්ස් ග්‍රීන්ලන්තය බලා ගිය අතර ඔහු ඩෙන්මාර්කය එය පාලනය කරන ආකාරය විවේචනය කළේ ය. ජනවාරි මාසයේදී, ධවල මන්දිරයේදී වෑන්ස් සමග සිදු කළ සාකච්ඡාවලින් පසු, මෙම කරුණ පිළිබඳව ඇමෙරිකාව සමග "මූලික විසම්මුතියක්" පවතින බව ඩෙන්මාර්ක් විදේශ අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මිත්‍ර රාජ්‍ය විවේචනයට කිරීමට උපජනාධිපතිවරයාගේ ඇති සූදානම, ගෝලීය දැක්මක් පිළිබිඹු කරයි. ඔහුගේ වචනවලින් ම සඳහන් කරන්නේ නම්, "'මේ රට හොඳයි', 'මේ රට නරකයි' වැනි සදාචාරාත්මක විවේචන" කිරීම සඳහා ඔහු කාලය වැය නොකරයි.
දැන්, දිගු කාලීන සාමයක ආරම්භයක් විය හැකි "දොරටුවක්? ලෙස විස්තර කර ඇති සටන් විරාමයට පසු, ඉරානය සමග සිදුවන සාම සාකච්ඡා තුළ ඔහුට ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇත.
සංස්කරණය කළේ, ඇන්ඩෲ වෙබ් විසිනි.

































