සටන් විරාමයකින් යුද්ධයක් අවසන් වනවා ද?

ඉරාන ධජ ලෙළවමින් ටෙහෙරානතයට විශාල පිරිසක් රැස්ව සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කියවීමේ කාලය: මිනිත්තු 7

ඉරානය සහ එක්සත් ජනපදය කොන්දේසි සහිත සති දෙකක සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති අතර, එම සටන් විරාමය අතරතුර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට අවසර හිමි වනු ඇත.

මෙය සිදුවන්නේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් මසකට වැඩි කාලයකින් අනතුරුව සහ ඉරානය ගල්ෆ් කලාපයේ තෙල් සහ අනෙකුත් අපනයන සඳහා වැදගත් නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් "අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇතැයි" එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුවයි.

Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් පැවසුවේ, "ඉරානය සමග දිගුකාලීන සාමය සහ මැදපෙරදිග කලාපය තුළ සාමය පිළිබඳ ස්ථිර ගිවිසුමක් සඳහා අප බොහෝ දුරක් පැමිණ ඇති" බැවින් ඔහු මෙම සටන් විරාමයට එකඟ වූ බවය.

"අතීතයේ මතභේදයට තුඩු දුන් කොන්දේසි සියල්ලට ම පාහේ එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වී ඇති නමුත්, මෙම සති දෙකක කාලය ගිවිසුම අවසන් කර සම්පූර්ණ කිරීමට ඉඩ ලබා දෙනු ඇත," ඔහු පැවසුවේය.

"මෙම දිගුකාලීන ගැටලුව විසඳීමේ ආසන්නයට පැමිණ සිටීම ගෞරවයක්."

අනතුරුව ට්‍රම්ප් Agence France Presse වෙත පැවසුවේ, එක්සත් ජනපදය පූර්ණ සහ පරිසමාප්‍ත ජයග්‍රහණයක්" ලබා ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.

නමුත් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) පැවසුවේ, එක්සත් ජනපදය මුහුණ දෙමින් සිටියේ ඓතිහාසික අසාර්ථකත්වයකට බවයි.

උපරිම දින 15ක් ඇතුළත "ඉරානයේ යුද්ධ පිටියේ ජයග්‍රහණය දේශපාලන සාකච්ඡා තුළින් ද තහවුරු වන පරිදි" එකඟතාවකට එළඹීම සඳහා පකිස්ථානයේදී සාකච්ඡා පවත්වන බව එම කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කළේ ය.

2025 ඔක්තෝබර් 13 වන දින ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික්හි පැවති ගාසා යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවකදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සමග සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් (දකුණේ) සටන් විරාමය නිවේදනය කළේ ය

"දෙපාර්ශවය ම කැපී පෙනෙන පරිදි ප්‍රඥාව සහ අවබෝධය පෙන්නුම් කර ඇති අතර, ඔවුන් සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින් ඵලදායී ලෙස සම්බන්ධ වී සිටිනවා," යනුවෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පැවසුවේය.

"'ඉස්ලාමාබාද් නුවර' පැවැත්වෙන සාකච්ඡාවලින් තිරසර සාමයක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වන අතර ඉදිරි දිනවලදී තවත් සතුටුදායක පුවත් ඔබත් බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා."

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, "ස්ථාවර සහ පුළුල් සාමයකට මග සෑදීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම්වලට අනුකූල වන ලෙසත් සටන් විරාමයේ කොන්දේසිවලට ගරු කරන ලෙසත් මැදපෙරදිග වත්මන් ගැටුමට සම්බන්ධ සියලු ම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින" බවයි.

නමුත් අනෙකුත් ගැටුම්වලදී මෙන් ම, සති දෙකක සටන් විරාමයක සිට දිගුකාලීන සාමයක් දක්වා වන ඕනෑ ම සංක්‍රාන්තියකට තවමත් ඉතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික කුසලතාවල අවශ්‍යතාව පවතී.

සටන් විරාමයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව "ceasefire" යන වචනය සඳහා විශ්වීය වශයෙන් පිළිගනු ලබන තනි අර්ථ දැක්වීමක් නොමැති වුව ද "වෙඩි තබන්න" යන හමුදා නියෝගයේ ප්‍රතිවිරුද්ධ අර්ථය වන "වෙඩි තැබීම නවත්වන්න" යන හමුදා නියෝගයෙන් මෙම වචනය ව්‍යුත්පන්න වී ඇත.

සටන් කරන පාර්ශව දෙක ඔවුන්ගේ එකඟතාවලදී අදහස් කරන්නේ කුමක් ද යන්න මත එහි අර්ථය තීරණය විය හැකිය.

එය ඇතැම් අවස්ථාවලදී "truce" සහ "armistice" යන වචන සඳහා ද භාවිත වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බොහෝ විට "සටන් විරාමය" සහ "සතුරුකම් නැවැත්වීම" අතර වෙනසක් පවතින බවයි.

"සතුරුකම් නැවැත්වීම" යනු සටන් නැවැත්වීම සඳහා වන අවිධිමත් ගිවිසුමක් බව එම සංවිධානය පවසයි.

"සටන් විරාමයක් (ceasefire)" වඩාත් විධිමත් ම කටයුතු කරන්නක් වන අතර එය පහත සඳහන් විස්තර ඇතුළත් ගිවිසුමකින් සමන්විත වේ.

  • සටන් විරාමයේ අරමුණ
  • ඉන් පසුව සිදුවන දේශපාලන ක්‍රියාවලිය
  • එය ක්‍රියාත්මක වන්නේ කවදා ද යන්න
  • එමගින් ආවරණය කෙරෙන භූමි ප්‍රදේශය

එමෙන් ම, මෙහිදී අවසර දෙනු ලබන සහ නොලබන හමුදා ක්‍රියාකාරකම් මොනවා ද යන්න සහ සටන් විරාමය නිරීක්ෂණය කරනු ලබන ආකාරය ද පැහැදිලිව දක්වා තිබිය හැකි ය.

1993 වසරේ ලයිබීරියාවේ ජාතික දේශප්‍රේමී පෙරමුණේ කැරලිකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1993දී ඇති කර ගත් සටන් විරාමයක් ලයිබීරියානු රජය සහ ලයිබීරියාවේ ජාතික දේශප්‍රේමී පෙරමුණේ කැරලිකරුවන් (ඡායාරූපයේ සිටින) අතර පැවති යුද්ධය අවසන් කිරීමට හේතු විය

උදාහරණයක් වශයෙන්, 1993 වසරේදී ලයිබීරියාවේ සිවිල් යුද්ධය අවසන් වූයේ ජාතික සමගිය සඳහා වූ අන්තර්කාලීන රජය, ලයිබීරියාවේ ජාතික දේශප්‍රේමී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ලයිබීරියාවේ එක්සත් විමුක්ති ව්‍යාපාරය සමග ගිවිසුමක් ඇති කර ගැනීමත් සමග ය.

අවි සහ පතරොම් ආනයනය නැවැත්වීමට, හමුදා ස්ථාන වෙනස් නොකිරීමට හෝ පහර නොදීමට, තවදුරටත් සතුරුකම් ඇති නොකිරීමට සහ බිම් බෝම්බ සහ ගිනි අවුළුවන උපකරණ භාවිත නොකිරීමට දෙපාර්ශවය ම එකඟ වූහ.

සටන් විරාමයක් ස්ථිර ද නැතිනම් තාවකාලික ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, සටන් විරාමයක් මෙම ආකාර දෙකෙන් ම පැවතිය හැකි බවයි.

ඇතැම් අවස්ථාවලදී, යුද්ධයක නිරත ප්‍රතිවිරුද්ධ දෙපාර්ශ තාවකාලික හෝ මූලික සටන් විරාමයකට එකඟ වේ.

මෙය ප්‍රචණ්ඩත්වය අවම කිරීමට හෝ මානුෂීය අර්බුදයක් සඳහා සහනයක් ලබා දීමට විය හැකිය.

2023 නොවැම්බර් 24 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ප්‍රමුඛ සටන්කාමී කණ්ඩායම් තාවකාලික සටන් විරාමයකට එකඟ වූ විට, සිරකරුවන් 240 දෙනෙකු වෙනුවෙන් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු නිදහස් කළේ ය.

සාකච්ඡා සඳහා උපකාරී වන සහ ස්ථිර හෝ නිශ්චිත සටන් විරාමයක් සඳහා මාර්ගයක් සැකසීමට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූලික සටන් විරාමයකට ද එකඟ විය හැකි ය.

2000 වසරේදී ඇල්ජියර්ස්හිදී සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඉතියෝපියාවේ සහ එරිත්‍රියාවේ නායකයින් අතට අත දෙන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2000 වසරේදී ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර යුද්ධයේදී තාවකාලික සටන් විරාමයක් ඇති වූ අතර ඒ හරහා ස්ථිර සාම ගිවිසුමකට අත්සන් තැබිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2000 ජූනි මාසයේදී, ඉතියෝපියාව සහ එරිත්‍රියාව ස්ථිර සටන් විරාමයක් සඳහා සාකච්ඡා කළ හැකි වන පරිදි ගැටුම් තාවකාලිකව නැවැත්වීමේ ගිවිසුමක් සඳහා අත්සන් තැබුවේ ය. ඔවුන්ගේ යුද්ධය අවසන් කළ මෙය ඇල්ජියර්ස් ගිවිසුමේ කොටසක් ලෙස අත්සන් තැබිණි.

කෙසේ වෙතත්, අසාර්ථක හෝ බිඳෙනසුලු මූලික සටන් විරාම මාලාවක් හේතුවෙන් යුද්ධයක් අඛණ්ඩව පැවතිය හැකි ය.

1978, 1981 සහ 1982දී ලෙබනනයේ සිවිල් යුද්ධය අවසන් කිරීමට උත්සහ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සටන් විරාම මාලාවක් සම්බන්ධීකරණය කළේ ය. කෙසේ වෙතත්, එක් එක් ගිවිසුමෙන් පසුව සටන් ඇවිළුණු අතර 1975දී ආරම්භ වූ යුද්ධය අවසන් වූයේ 1990දී ය.

ඇතැම් අවස්ථාවලදී සටන් කරන එක් පාර්ශවයක් හෝ දෙපාර්ශවය ම මූලික සටන් විරාමයක් භාවිත කරමින් යුද්ධ භුමිය තුළ ඔවුන්ගේ තත්ත්වය ශක්තිමත් කර ගැනීමට උත්සහ කළ හැකිය.

නිශ්චිත (හෝ ස්ථිර) සටන් විරාමයක් සාමාන්‍යයෙන් සිදුවන්නේ සටන් කරන දෙපාර්ශවය අතර පැවැත්වෙන සාර්ථක සාම සාකච්ඡාවලින් අනතුරුවයි.

සාමාන්‍යයෙන් එයට හඳුනා ගත් හමුදා කණ්ඩායම් නිරායුධ කිරීම හෝ විසුරුවා හැරීම ඇතුළත් වන නමුත් ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව පසු විපරම් ආරක්ෂක විධිවිධාන වසර ගණනාවක් පුරා පැවතිය හැකිය.

IRA වෙත බැඳුණු මුහුණු ආවරණයක් පැළඳ සිටින කාන්තාවක් 1970 දශකයේ ලන්ඩන්ඩෙරිහිදී අවි පුහුණුව ලබමින් සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු අයර්ලන්තයේ 1998 මහ සිකුරාදා ගිවිසුම අනුව තාවකාලික අයර්ලන්ත ජනරජ හමුදාව සහ පක්ෂපාතී කණ්ඩායම් දෙක ම නිරායුධ වීම අවශ්‍යතාවක් විය

නිදසුනක් වශයෙන්, 1998 උතුරු අයර්ලන්තයේ 'මහ සිකුරාදා' ගිවිසුම මගින් තාවකාලික අයර්ලන්ත ජනරජ හමුදාව සහ අනෙකුත් බ්‍රිතාන්‍ය හිතවාදී කණ්ඩායම් ඔවුන්ගේ ආයුධ බිම තැබීමට එකඟකර ගැනිමට සමත්විය.

මෙම ගිවිසුම උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත සමූහාණ්ඩුව අතර දේශ සීමාව බාධාවකින් තොරව සහ තීරුබදු රහිත වෙළෙඳාම සඳහා විවෘතව තැබීම වැනි, එම පළාතේ පවතින සාමය සහ සමගිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් වගන්තිවලින් ද සමන්විත විය.

සීමිත සටන් විරාම වර්ග මොනවා ද?

2023 නොවැම්බර් මාසයේදී නිදහස් කරන ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් බස් රථයකින් රැගෙන එන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසාහි "මානුෂීය සටන් විරාමය" අතරතුර, ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු වෙනුවෙන් පලස්තීන සිරකරුවන් 240 දෙනෙකු නිදහස් කෙරිණි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය 2023 නොවැම්බර් මාසයේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය "මානුෂීය විරාමයක්" ලෙස හැඳින්විය.

ප්‍රචණ්ඩත්වය අවම කිරීමට හෝ මානුෂීය අර්බුදයකට සහනයක් ලබා දීම සඳහා ඇතැම් අවස්ථාවලදී මානුෂීය විරාම භාවිත කරයි.

නිදසුනක් ලෙස සුඩාන රජය සටන්කාමී කණ්ඩායම් දෙකක් වන සුඩාන විමුක්ති ව්‍යාපාරය සහ යුක්තිය සහ සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය සමග සටන් විරාමයකට එකඟ වූ අතර, එමගින් ඩාර්ෆූර්හි පැවැති සටන් දින 45කට නතර වූ අතර එමගින් සහන සේවා සපයන ආයතනවලට දේශීය ජනතාව සඳහා මානුෂීය ආධාර ලබා දීමට අවස්ථාව උදාවිය.

2004 වසරේදී ඉන්දුනීසියාවට සුනාමි ව්‍යසනය බලපෑ අවස්ථාවේදී, ඉන්දුනීසියානු රජය සහ නිදහස් ආචේ ව්‍යාපාරය (Free Aceh Movement) යන දෙපාර්ශ්වය ම සටන් විරාම ප්‍රකාශයට පත් කළේ ඔවුන් සටන් කරමින් සිටි ප්‍රදේශවලට ආධාර බෙදා දීමට හැකි වන පරිදිය.

භූගෝලීය සටන් විරාමයක් ලෙස හැඳින්වෙන විශේෂිත ප්‍රදේශයක සටන් නැවැත්වීමට ද ගිවිසුම් තිබිය හැකිය.

ජනතාව ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ හොඩෙයිඩා වරාය වටා සටන් කිරීම නැවැත්වීම වෙනුවෙන් 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යේමන රජය සහ හූති කැරලිකරුවන් අතර ගිවිසුමක් ඇති කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ ය.