නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ගැන අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්: අද අධිකරණයේදී සිදුවූ දේ

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අද [ඔක්. 13] කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 27 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙසත් නියෝග කළේ ය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවිණි.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියේ ය.

"ස්වාමීනී, මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. එම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම විමර්ශනය අවසන් බව දැනුම් දීමටයි. විමර්ශන අවසන්කර එම උදෘත නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර තිබෙනවා. එම විමර්ශන උදෘත පරීක්ෂා කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීලා තිබෙනවා මෙම නඩුකරයේ පස්වන සැකකරු ලෙස 'බිස් සොලියුෂන් සමාගම' නම් කරන ලෙසට. එය බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි වී තිබෙන සමාගමක්. එහි අධ්‍යක්ෂවරිය ලෙස මෙහි දෙවන සැකකාරිය වශයෙන් නම් කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක කටයුතු කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා ලිඛිතව උපදෙස් ලබා දීලා තිබෙනවා අදාළ සමාගම මෙහි පස්වන සැකකරු වශයෙන් නම් කරන ලෙස."

"ස්වාමීනී, ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරන්න තීරණය කර තිබෙනවා. අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එකම අධි චෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත් කිරීම පවා අවසන් වෙලා තිබෙනවා. එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මෙම සිද්ධිය තුළින් රාජ්‍යය කෙරෙහි ඇති වූ බලපෑම සැලකිල්ලට ගෙන අධිකරණ සංවිධාන පනතේ 12(අ)1(අ) වගන්තිය ප්‍රකාරව මෙම නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අග විනිසුරුවරයා වෙත ඉල්ලීමක් සිදු කිරීම සුදුසු බව නීතිපතිවරයා නිගමනය කළා. ඊට එකඟතාවය පළ කර තිබෙන අල්ලස් කොමිසම අගවිනිසුරුතුමා වෙත අදාල ඉල්ලීම යොමු කිරීමට තීරණය කර තිබෙනවා. එම ඉල්ලීම මේ වන විටත් යොමු කර ඇතැයි මා විශ්වාස කරනවා. එසේ යොමු කර නැතිනම් අද හෝ හෙට දින තුළ එය යොමු කිරීමට එම කොමිසම කටයුතු කරයි," යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේ ය.

'මෙම සැකකරුගේ මව සහ පියා රෝහල්ගතව තිබෙනවා'

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු "ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු දැන් අවසන් වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසත් ඔවුන් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවත් සඳහන් කළා. එම නිසා එම කරුණු සුවිශේෂී කරුණක් සේ සලකා ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ ම මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව තිබෙනවා," යැයි කරුණු දක්වමින් සැකකරුට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

"ස්වාමීනි, මේ අවස්ථාවේදී ඇප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නැති බව යි මගේ අදහස. මොකද මේ සිද්ධියට අදාළ නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කිරීමට තීරණය කර තිබෙනවා. එවැනි අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නැහැ. එය සිදු කළ යුත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමෙන් පසුව යි. නඩු පැවරීමේ කටයුතු උපරිම වේගයෙන් සිදුකරනු ලබනවා. මෙම අවස්ථාවේදී ඔබතුමාගේ අධිකරණය ඇප සම්බන්ධයෙන් මැදිහත් විය යුතු නැහැ."

ඉන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, " මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව පැමිණිල්ල විසින් සඳහන් කර තිබෙනවා. එම නිසා විමර්ශන අවසන් වීම හා නඩු පැවරීම අතර කාලසීමාව තුළ ප්‍රමාදයක් උද්ගත වන බවක් පෙනී යන්නේ නැහැ. එම නිසා විමර්ශන අවසන් වීම යන කරුණ සුවිශේෂී කරුණක් හැටියට සලකන්න බැහැ. ඊට අමතරව මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව සිටින බව දැනුම් දෙනු ලැබුවා. නමුත් ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා හෝ ලේඛන කිසිවක් මාගේ අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. එම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නැහැ," යැයි සඳහන් කරමින් ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු උද්ගත නොවන නිසා සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සැකකරු ලබන 27 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ බව තම අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

එසේ නඩු පවරනු ලැබීමෙන් පසුව, මෙම සැකකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඇප ඉල්ලීම් සිදු කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා, එසේ නොවුණහොත් සැකකරු විසින් ඇප ඉල්ලීම් සිදු කළ යුත්තේ කුමන අධිකරණයක ද යන ගැටලුව මතුවන බවත් එය සිදු නොවිය යුත්තක් බවත් පැවසුවේ ය.

කෙසේ වෙතත්, තම අධිකරණය ඇප සලකා බැලීමට තිබෙන අවස්ථාව අහිමි වන්නේ මෙම නඩුකරය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කිරීමෙන් පසුව බවත්, එතෙක් මෙම සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු උද්ගත වුවහොත් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරිමට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සදහන් කළේ ය.