ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව: මූලික විරෝධතාව ප්‍රතික්ෂේප යි; අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවට අදාළව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (ඔක්: 08) නියම කළේ ය
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනා මත නඩුකරය ඉදිරියට පවත්වාගෙන යන බව විනිසුරුවරයා නිවේදනය කළේ ය.
'නිවැරදිකරුවන්'
ඉන් අනතුරුව අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණයට දැනුම් දුන්හ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 199 වගන්තිය යටතේ ආරම්භක දේශනය ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා ය.
ඉන් අනතුරුව අධිකරණයේ අවසරය මත සිය දේශනය ඉදිරිපත් කළ සුභාෂිණී සිරිවර්ධන, "ස්වාමීනි..., මෙම නඩුකරයට පාදක වන්නේ 2022 වසරේ අරගලකරුවන් විසින් දේපළකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ වන්දි ගෙවීමේ සිද්ධිය පිළිබඳව යි. මෙවැනි වන්දි ගෙවීම සිදු කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේ ම අදාළ වන්දි ගෙවීම සිදු කරන ව්‍යවස්ථාපිත ආයතනයක් තිබෙනවා. 2017 අංක 34 දරන හානි පූර්ණ කාර්යාල පනත යටතේ හානි පූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම ආයතනය විසින් වන්දි ගෙවීමේදී සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් තමයි මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන්නේ," යනුවෙන් සඳහන් කළා ය.
ඉන්පසුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අධිකරණය නියෝග කළේ ය.
චෝදනාව කුමක් ද?
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හානි පූර්ණ කාර්යාලයේ හිටපු අධ්යක්ෂ සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කර රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.