මහින්ද සහ ශිරන්ති රෝහල්ගත කළේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ
Published
කියවීමේ කාලය: මිනිත්තු 4

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ශිරන්ති රාජපක්ෂ අද (ඔක්:12) කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බව ය.

"බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත ශිරන්ති රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඇය රෝහල්ගත කර තිබෙනවා," යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත වුණේ ඇයි?

ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 10ක් සිරිලිය සවිය සංවිධානයට අයත් බැංකු ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් දූෂණය සිදු කිරීම, ඊට ආධාර අනුබල දීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එවකට සභාපති ප්‍රදීප් කාරියවසම් පසුගිය ඔක්තෝබර් 5 වන දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරිණි.

මෙම සිද්ධියට අදාළ නඩුව නැවත හෙට (ඔක්. 13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

මහින්ද රාජපක්ෂත් රෝහල් ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

අද (ඔක්. 12) උදෑසන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් ද සිදුකර ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසීය.

"හිටපු ජනාධිපතිවරයා අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය යි. එතුමා එවැනි අසාධ්‍ය තත්ත්වයක නැහැ. වයස සැලකිල්ලට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා එතුමාව රෝහල්ගත කර තිබෙනවා. වෛද්‍යවරුන් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය තීරණ ගනීවි. එතුමා අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් මානසිකව කඩාවැටී ඇති බවත් කියන ප්‍රචාර අසත්‍යයි. එතුමාව මානසිකව කඩාවැට්ටවිය හැකි පුද්ගලයෙක් නොවේ. මේ ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේත් එය යි. මොක ද එතුමා මහින්ද රාජපක්ෂ. මම අද උදෑසනත් එතුමා සමග කතා කළා. මේ පැතිර යන කතා සියල්ල අසත්‍ය යි," නීතිඥ මනෝජ් ගමගේ පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, "තුමාව මානසිකව කඩාවැට්ටවිය හැකි පුද්ගලයෙක් නොවේ. මේ ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේත් එයයි. මොකද එතුමා මහින්ද රාජපක්ෂ."

අපේක්ෂිත ඇප අයැදුම්පතට අධිකරණයෙන් ලැබුණු නියෝගය

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්: 12) නියෝග කළේ ය.

පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව, සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලමින් ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ගොනු කර තිබිණි.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා විසින් එම ඇප අයැදුම්පත සලකා බලනු ලැබූ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිගනිමින් එම අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ගොනු කර තිබිණි.

මෙම ඇප අයැදුම්පත පසුගිය 6 වන දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (ඔක්: 12) අධිකරණය හමුවේ පෙනී සිට අදාළ කරුණු වාර්තා කරන ලෙස නොතීසි ද නිකුත් කෙරිණි.