උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මියගොස් ඇති බවට කටකතා: රජය ඡායාරූප නිකුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, KCNA
- Author, ලෝරා බිකර්
- Role, චීන වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
මොළයේ රුධිර වහනයක් හේතුවෙන් මිය ගිය බවට කටකතා පැතිර තිබූ කිම් ජොන් උන්, උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පෙනී සිටියේ එවැනි රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට වඩා විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න අයෙකු ලෙසිනි.
රාජ්‍ය පුවත්පතක් වන 'රොඩොං සින්මුන්' (Rodong Sinmun) විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවලින් දැක්වෙන්නේ, 42 හැවිරිදි ඒකාධිපති පාලකයා තම දියණිය සමග ඇඳුම් සහ පාවහන් ප්‍රදර්ශනයක් පැවති ස්ථානයක සංචාරය කරන ආකාරය යි.
ඇමෙරිකාවේ ජීවත් වන බව පවසන චීන ජාතික විරුද්ධ මතධාරියෙකු, කිම් කෝමා තත්වයෙන් බීජිං නුවර රෝහලක් වෙත ගෙන ගිය බවත්, එහිදී ඔහු මිය ගිය බවත් කිසිදු සාක්ෂියකින් තොරව ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව මෙම ඡායාරූප නිකුත් විය.
උතුරු කොරියාව සමීපව නිරීක්ෂණය කරන්නන්ට මෙවැනි කටකතා දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
ලොව වඩාත් ම රහසිගත රාජ්‍යයන්ගෙන් එකක් වන උතුරු කොරියාවේ, කරුණු සත්‍ය දැයි තහවුරු කර ගැනීම බොහෝවිට අපහසු වන අතර, එම තත්ත්වය විවිධ අනුමාන කිරීම් සඳහා මනා පසුබිමක් සපයයි.
මෙම නවතම ප්‍රකාශය සිදුකරනු ලැබ ඇත්තේ, චීන බලධාරීන් විසින් තහනම් කරනු ලැබ ඇති 'චීන ප්රජාතන්ත්රවාදී පක්ෂය' (Chinese Democratic Party) හි සභාපතිවරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා වන්ජුන් ෂී (Wanjun Xie) විසිනි. චීන නායක ෂී ජින්පිංගේ මරණය පිළිබඳ අනුමාන ඇතුළුව, තහවුරු නොකළ ප්‍රකාශ ඔහු මීට පෙර ද සිදු කර තිබේ.
කිම්ට මොළයේ දරුණු රුධිර වහනයක් සිදුවී ඇති බවත්, ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් උතුරු කොරියාවේ නොතිබූ බැවින් ඔහු බීජිං වෙත රැගෙන ගිය බවත් ෂී ප්‍රකාශ කළේ ය.
කිම් පසුව මිය ගිය බවත්, ඔහුගේ මළ සිරුර රහසිගතව උතුරු කොරියාව වෙත ආපසු යැවූ බවත්, එරට පාලන තන්ත්රය ඔහුගේ මරණය වසන් කර තැබූ බවත් ඔහු පවසා තිබිණි.
කෙසේ වෙතත්, ඡායාරූපවලින් දිස්වන්නේ වෙනස් කතාවකි.
එහිදී කිම් ප්‍රදර්ශන භාණ්ඩ නිරීක්ෂණය කරමින් සිටින අතර, ඔහු සමග කිම් ජු ඒ සහ ඔහුට නිතර ම සමීපව සිටින නිලධාරීන්ගේ කණ්ඩායම ද එහි සිටිනු දැකිය හැකි ය.
මෙම ඡායාරූප ගනු ලැබුවේ කවදා දැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති වුව ද, එම ප්‍රකාශය සැක කිරීමට තවත් හේතු තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA/KCNA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ පිරිහීමක් සිදුවුවහොත්, උතුරු කොරියාවේ දේශසීමාවලින් ඔබ්බට ඒ පිළිබඳ ඉඟි බොහෝවිට දක්නට ලැබීමට ඉඩ තිබිණි.
අස්ථාවර තත්ත්වයක් හෝ සරණාගතයින් පැමිණීමේ තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වීම සඳහා චීනය තම දේශසීමාවේ ආරක්ෂාව තර කළ හැකි ය. උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල අවට ක්‍රියාකාරකම් ද ඉහළ යා හැකිව තිබිණි. දකුණු කොරියාවෙන් පලාගිය අයට බොහෝවිට චීන දේශසීමාවේ අවිධිමත් ජාල හරහා තොරතුරු ලැබේ. එවැනි කිසිවක් සිදුවී නොමැත.
මේ අතර, දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීන් 'යොන්හාප්' (Yonhap) වෙත ප්‍රකාශ කළේ, එම වාර්තා තහවුරු කිරීමට ඉවහල් වන කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බව ය.
මෙම කටකතාව මීට පෙර ඇති වූ අසත්‍ය අනතුරු ඇඟවීම් ද සිහිගන්වයි.
2020 වසරේදී, උතුරු කොරියාවෙන් පලා ආ ඉහළ පෙලේ පුද්ගලයෙකු කියා සිටියේ, හෘද හා රුධිර නාල ආශ්රිත ශල්‍යකර්මයකින් පසු කිම් මිය ගොස් ඇති බවට තමාට "99%ක් ම නිශ්චිත" බව ය. නමුත් ඉන් වැඩි කලක් ගත වීමටත් පෙර, කිම් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර එම ප්‍රකාශය අසත්‍ය බව තහවුරු විය.
එසේ නම්, මෙම කටකතා නැවත නැවත මතු වන්නේ ඇයි? පළමු හේතුව වන්නේ අනුප්‍රාප්තිය යි.
උතුරු කොරියාව පරම්පරා තුනක් පුරා පාලනය කරනු ලැබුවේ, කිම් පවුල විසිනි; එහෙත් කිම් ජොන් උන්ගෙන් පසුව කුමක් සිදුවේ ද යන්න, ඔහුගේ පූර්වගාමීන් සම්බන්ධයෙන් පැවති තත්ත්වයටත් වඩා අවිනිශ්චිත ය.
කිම් ඉල් සුං තම පුත් කිම් ජොන් ඉල් බලයට පත් කිරීම සඳහා දශක ගණනාවක් සූදානම් කළේ ය. 1994 දී කිම් ඉල් සුං මිය යන විට අනුප්‍රාප්තික සැලැස්ම ස්ථිරව ස්ථාපනය වී තිබිණි. කිම් ජොන් ඉල්ගේ බලයට පත්වීම සාපේක්ෂව සුමට විය.
කිම් ජොන් උන්ගේ නැගී ඒම වඩාත් වේගවත් මෙන් ම වඩාත් අවිනිශ්චිත විය. 2008 වසරේදී කිම් ජොන් ඉල් ආඝාත තත්ත්වයකට ගොදුරු වීමෙන් අනතුරුව, ඔහුගේ බාල ම පුත්‍රයා ඉතා වේගයෙන් ඉහළ තනතුරු කරා උසස් කරනු ලැබී ය. 2011 වසරේදී ඔහුගේ පියා මිය යන විට, ඔහු අනාගත නායකයා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දී තිබිණි.
එසේ වුව ද, කිම් ජොන් උන් වසර ගණනාවක් පුරා තම බලය තහවුරු කර ගැනීමටත්, ප්‍රතිවාදීන් ඉවත් කිරීමටත්, තමාට තර්ජනයක් යැයි හැඟුණු දේ මුලිනුපුටා දැමීමටත් කටයුතු කළේ ය.
දකුණු කොරියාවේ බුද්ධි අංශය විශ්වාස කරන්නේ, ඔහු තම දියණිය අනුප්‍රාප්තිකයා ලෙස සූදානම් කරමින් සිටින බව ය. ඇය මෑතක සිට ඉහළ පෙළේ උත්සව සහ හමුදා ප්‍රදර්ශනවල නිතර දක්නට ලැබෙන්නට පටන් ගෙන තිබේ.
නමුත් ඇයගේ වයස අවුරුදු 13ක් පමණ යැයි විශ්වාස කෙරේ. උතුරු කොරියාව කිසි දා කාන්තාවක විසින් පාලනය කර නොමැති අතර, ඇය නිල වශයෙන් අනුප්‍රාප්තිකයා ලෙස නම් කර නොමැත. ඇයගේ ළාබාල වයස හේතුවෙන්, බලය සඳහා ඇති විය හැකි ඕනෑ ම අරගලයකදී ඇය අවදානමට ලක්විය හැකි තත්ත්වයක පසුවේ.
මෙම සියලු අවිනිශ්චිතතා, කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා කෙරෙහි මෙතරම් විශාල අවධානයක් යොමු වීමට හේතුව පැහැදිලි කිරීමට උපකාරී වේ.

ඡායාරූප මූලාශ්‍රය, KCNA
දෙවන හේතුව නම්, එම කටකතා සම්පූර්ණයෙන් ම විශ්වාස කළ නොහැකි ඒවා නොවීම ය.
කිම් අධික බරින් යුක්ත වන අතර දැඩි ලෙස දුම්පානය කරන්නෙකි. ඔහුගේ ජීවන රටාව ඔහුව හෘද වාහිනී රෝග ඇතිවීමේ ඉහළ අවදානමකට ලක් කරන බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත. එසේ ම, කිම් පවුල තුළ හෘද රෝග සහ ආඝාත ඇතිවීමේ ප්‍රවණතාවක් ද පවතී.
කිම්ට යම් දෙයක් සිදුවුවහොත්, එය අසල්වැසි රටවලට මෙන් ම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවට ම බරපතළ ප්‍රතිවිපාක ගෙන දිය හැකි ය. හදිසියේ ඇති විය හැකි නායකත්ව අර්බුදයක් මගින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි පාලනය කිරීම සහ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමේ හැකියාව සම්බන්ධයෙන් සංකීර්ණ ගැටලු මතු කෙරේ.
බල අරගලයක් හේතුවෙන් දැඩි මතධාරීන් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීමට පෙළඹිය හැකි ද? නොසන්සුන්කාරී තත්ත්වයන් චීන දේශසීමාව ආශ්‍රිතව සරණාගත අර්බුදයක් ඇති කිරීමට හේතු විය හැකි ද? දකුණු කොරියාවේ භටයන් 28,000ක් පමණ රඳවා සිටින වොෂින්ටනයට මෙන් ම, බීජිං සහ සෝල් යන නගරවලට ද මෙම ප්‍රශ්න දැඩි අවධානයට ලක්වන කරුණු වේ.
ඕනෑ ම පුවතක් සඳහා සූදානම් වීමේ අරමුණින් බුද්ධි අංශ කිම් ජොන් උන් සමීපව නිරීක්ෂණය කරයි.
උතුරු කොරියාව තොරතුරු හෙළි නොකරන පසුබිමක පවතින නිසා, එය අසත්‍ය වාර්තා සඳහා පහසු ඉලක්කයක් ද වේ. එහි නායකයා වෙත නිතිපතා ප්‍රවේශ විය හැක්කේ කුඩා පිරිසකට පමණි. බුද්ධි අංශ පවා විශ්වාසදායක තොරතුරු ලබා ගැනීමට අරගල කරන අතර, මතු වන බොහෝ දේ තහවුරු කළ කරුණු වෙනුවට සත්‍යාපනය නොකළ හෝ බොහෝ දුරට ඉඩ ඇති බවට දැඩි ලෙස අවවාදය යි.
රට තුළ ඇත්ත වශයෙන් ම සිදුවෙමින් පවතින දේ වසන් කිරීම සඳහා, හිතාමතා ම ව්‍යාකූලත්වය දිරිමත් කිරීමටත්, නොමග යවනසුලු තොරතුරු කාන්දු කිරීමටත් පාලන තන්ත්රය විසින් ම කටයුතු කරනු ලබන බවට සැකයක් පවතී.
එවැනි වැදගත් පුවතක් පිළිබඳව, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීම තම වෘත්තීය වගකීම කර ගත් අයට පවා දැනගැනීමට නොහැකි වූ පසුබිමක, වන්ජුන් ෂී (Wanjun Xie) එය අහම්බෙන් සොයාගත්තා යැයි විශ්වාස කිරීම අපහසු ය.
ඔහු සරලව ම අවධානය දිනා ගැනීමට උත්සහ කළා විය හැකි ය. නැතහොත් ලෝකයට පැහැදිලිව පෙනෙන බීජිං සහ ප්යොංයැං අතර සබඳතා ඉස්මතු කරමින් බීජිං අපහසුතාවට පත් කිරීමට ඔහුට අවශ්‍ය වූවා විය හැකි ය.
ඔහුගේ අරමුණ කුමක් වුවත්, උතුරු කොරියාවේ නායකත්වය සම්බන්ධ අවිනිශ්චිතතාවයෙන් ප්‍රයෝජන ගත් පළමු පුද්ගලයා ඔහු නොවේ.



































