උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය මව හෝ ඔහුගේ මතභේදාත්මක ලේ උරුමය ගැන කතා නොකරන්නේ ඇයි?

A young Ko Yong Hui at the centre, Kim Jong Un on the left, and Kim Jong Il on the right. A Japanese flag (L) and a North Korean flag behind the trio
    • Author, සන්ග්මි හන්
    • Role, බීබීසී කොරියානු සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වටා ගෙතී ඇති රහස් රැසක් අතරින්, ඔහුගේ මව පිළිබඳව පවතින අභිරහස කැපී පෙනෙන්නකි.

ඔහුගේ වසර 15ක පාලන කාලය තුළ කිසිදු දිනෙක ඇගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔහු කටයුතු කර නැත.

කිම්ගේ ඒකාධිපති පාලනයේ නීත්‍යානුකූලභාවය ප්‍රධාන වශයෙන් ම රඳා පවතින්නේ, කොරියානු ජනතාවගේ මිථ්‍යාමය නිර්මාතෘවරයා හා බැඳුණු "පෙක්ටු කඳුකරයේ" ලේ උරුමය මත ය.

මෙම පාරම්පරික පාරිශුද්ධත්වය ගැන ආඩම්බර වන රටක, කිම්ගේ මවගේ අනන්‍යතාවය රහසක් පමණක් නොව, පාලන තන්ත්‍රයටම තර්ජනයකි.

Ko Yong Hui, probably in her 30s or 40s, wears a blue and white Korean dress and smiles at the camera

ඡායාරූප මූලාශ්‍රය, Cheong Seong-chang

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය මාධ්‍ය විසින් කෝ යොන්ග් හුයි ගැන කිසිදා සඳහන් කර නැත

පුරාණ මිථ්‍යාවන් හා සම්බන්ධ උපන් ස්ථානය

ජනප්‍රිය විශ්වාසයට අනුව, කොරියාවේ කතාන්දරය ආරම්භ වන්නේ පෙක්ටු කඳුකරයෙනි. එය කොරියාවේ පළමු රාජධානියේ ආරම්භකයා බවට පුරාවෘත්තයේ සඳහන් ඩන්ගුන්ගේ උපන් ස්ථානය යැයි පැවසෙන චීන-උතුරු කොරියානු දේශ සීමාවේ පිහිටා ඇති කන්දකි.

වසර දහස් ගණනකින් අනතුරුව උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සන්ග්, ජපානයට එරෙහිව සටන් කරන සමයේ මෙම කන්ද සැඟවී සිටීමට භාවිත කළ බව පැවසේ. ඔහුගේ පුත් කිම් ජොන් ඉල් ද මෙම පූජනීය කඳු බෑවුම්වල උපත ලැබූ බව පැවසුණ ද ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ ඔහු බොහෝ විට රුසියාවේ උපත ලැබූවෙකු බවයි. කෙසේ වෙතත්, දශක ගණනාවක සිට කිම් වංශයේ නීත්‍යානුකූලභාවය සඳහා මෙම කන්දේ ඉතිහාසය උපයෝගී කරගෙන තිබේ.

"කිම් ජොන් උන් වයස 20 ගණන්වල පසුවන විටදී ම කිසිදු ජයග්‍රහණයක් නොමැතිව රාජ්‍ය උරුමක්කාරයා බවට පත්වුණා. ඒකට හේතුව පෙක්ටු ලේ උරුමය විතරයි," පිටුවහල්ව සිටින උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන රියු හ්යුන්-වූ ඔහුගේ 'Kim Jong Un's Secret Vault' කෘතියේ සඳහන් කර තිබේ.

නමුත් කිම්ගේ මව් පරම්පරාවේ යථාර්ථය ඊට හාත්පසින් ම වෙනස් වූවකි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පෙක්ටු කන්දේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ජපානයේ ඔසාකා නගරය, කිම්ගේ මව වන කෝ යොන්ග් හුයි උපත ලැබූ ස්ථානය බව පැවසේ.

චරිතාපදාන රචකයන් සොයාගෙන ඇති තොරතුරු අනුව කෝ, 1952දී ඔසාකාහි උපත ලබා ඇති අතර ඇගේ දෙමාපියෝ වත්මන් දකුණු කොරියාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි ජේජු දූපතේ පදිංචිව සිටිති.

ජපානයේ පදිංචිකරුවන් වූ කෝ පවුල "සයිනිචි කොරියානුවන්" විය. එනම් 1910-1945 යටත්විජිත පාලනය පැවති සමයේදී ජපානයට සංක්‍රමණය වූවන් ය.

කෙසේ වෙතත්, ඇයට වයස අවුරුදු 10ක් පමණ වන විට, කෝ පවුල උතුරු කොරියාව වෙත සංක්‍රමණය වූහ.

1959 සහ 1984 අතර කාලය තුළ උතුරු කොරියාවට සංක්‍රමණය වූ ඇස්තමේන්තු ගත 93,000ක් පමණ වන කොරියානුවන් අතර ඔවුහූ ද සිටියහ. ඔවුහූ නොමිලේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ රැකියා සහිත සැපවත් ජීවිතයක් ලබාදෙන බවට වූ පොරොන්දු මත ඔවුන් නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමයකට ආකර්ෂණය වූහ.

රටේ ධනවාදී අසල්වැසියා වූ දකුණින් මුදල්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ උපකරණ රැගෙන ආ නිසා, මුල් කාලයේදී උතුරට පැමිණි මෙම සංක්‍රමණිකයන් දෙස ඇතැම්හූ ඊර්ෂ්‍යාවෙන් බැලූහ.

විදේශීය, භයානක මතවාදයන්ගෙන් දූෂිත යැයි සැලකෙන කණ්ඩායමක් සඳහා වන අපහාසාත්මක යෙදුමක් වූ "ජේපෝ" (jjaepo) යන නාමයෙන් ඔවුන්ව හැඳින්විණි.

උතුරු කොරියානු සමාජය ගැඹුරු ලෙස පන්තිවලට බෙදී ඇති අතර ඇතැම් විශ්ලේෂකයින් එය සංසන්දනය කරන්නේ කුල ක්‍රමයකට ය. සොන්ග්බුන් ලෙස හැඳින්වෙන මෙම දැඩි සමාජ වර්ගීකරණය තුළ, ජේපෝ ජනතාව අයත් වූයේ පක්ෂපාතී පන්තිය සහ සතුරු පන්තිය අතර මැද පිහිටි පන්තියට ය.

ඔවුන් දැඩිලෙස රජයේ ඔත්තු බැලීම් හා නිරීක්ෂණවලට ලක් වූ අතර, බොහෝ විට උසස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට හෝ ඉහළ රැකියාවලට යාමට ඇති අවස්ථා ද ප්‍රතික්ෂේප විය.

මෙය කිම්ගේ පවුල දීර්ඝ කාලයක් පුරාවට ප්‍රවර්ධනය කරන ලද "පෙක්ටු" ලේ උරුමයේ කතාවට හාත්පසින්ම වෙනස් වූවකි.

"පාලන තන්ත්‍රය පෙක්ටු ලේ උරුමය දකින්නේ පූජනීය දෙයක් විදිහටයි," උතුරු පර්යේෂණ සංගමයේ කිම් හ්යුන් සූ පවසයි. "ඒ නිසා නායකයා 'ජේපෝ' පුත්‍රයෙක් කියන යන අදහස කිසිසේත් ම සිතාගත නොහැකි දෙයක්."

සින්ඩරෙල්ලා කතාන්දරය

About a dozen of young women in traditional Korean dresses stand in front of vehicles. Ko Yong Hui stands at the front, on the left

ඡායාරූප මූලාශ්‍රය, Yoji Gomi

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝ යොන්ග් හුයි (ඉදිරිපස දකුණේ) මන්සුඩේ උසස් කලා කණ්ඩායමේ සාමාජිකාවකි

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ ඊළඟ නායකයා ලෙස ඒවන විටත් තෝරාගෙන සිටි කිම් ජොං ඉල්ගේ අවධානය ඇයට යොමු වීමෙන් පසු කෝ, බොහෝ සයිනිචි කොරියානුවන්ගේ ඉරණමෙන් ඇය බේරුණි.

බුද්ධි අංශ පෙන්වා දෙන්නේ ඔහු ඒ වනවිටත් ඔහුගේ පියා විසින් තෝරා ගන්න ලද, ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකුගේ දියණියක වූ කිම් යොං සූක් සමග විවාහ වී සිටි බව යි. ඔහුට තවත් බිරින්දෑවරුන් දෙදෙනෙකු සිටින බව ද ප්‍රසිද්ධ විය.

එසේ වුව ද, මන්සුදේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක වූ කෝ, කිම්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ ඇය සතු ස්වාභාවික සුන්දරත්වය සහ නර්තන කුසලතාව නිසා යැයි කෝ පිළිබඳව 2025 වසරේදී ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ ජපන් මාධ්‍යවේදී යෝජි ගොමි පවසයි.

වාර්තා මගින් යෝජනා කරන්නේ කිම්, කෝ සමග දැඩිව ආදරයෙන් බැඳුණු බව සහ ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකු ද ලැබුණු බව යි.

Ko Yong Hui, in a purple and green Korean dress stands on the left. Kim Jong Il sits besides her

ඡායාරූප මූලාශ්‍රය, Cheong Seong-chang

නමුත් උතුරු කොරියාව තුළ විවාහයෙන් තොරව උපදින දරුවන්ට දැඩි සමාජ අපකීර්තියක් එල්ල වෙයි. මේ හේතුවෙන්, කිම්ගේ නීත්‍යානුකූල බිරිඳ පියොංයැන් අගනුවර ජීවත් වන පසුබිමක, කෝ සහ ඇගේ දරුවන් කිලෝමීටර් 210ක් (සැතපුම් 130ක්) දුරින් පිහිටි වොන්සන් වෙරළබඩ නගරයේ රඳවා තැබුවේය.

ඇය කිසිදිනෙක උත්තරීතර නායකයා සමග විවාහ නොවූ අතර, ඔවුන්ගේ එක්වීම පාලන තන්ත්‍රය විසින් ද පිළිනොගත්තේ ය. නමුත් ගොමි පවසන්නේ කෝ, "සින්ඩරෙල්ලා ජීවිතයක්" ගත කිරීමට වාසනාව ලද බව යි.

"කිම් ඉල් සන්ග් විසින් කිසිදිනෙක කෝ, ලේලියක ලෙස පිළි ගත්තේ නැත," යන්න ඉතා පැහැදිලි ලෙස පැවතුණු බව රියු සඳහන් කළ අතර ඔහු කිසිදු අවස්ථාවක ඇගේ දරුවන් සමග ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ ය.

කෝ, කිම් ඉල් සන්ගේ අනුමැතිය දිනා ගෙන තිබුණේ නම් ඔහුගේ සහ ඔහුගේ මුණුපුරන්ගේ ඡායාරූප බොහෝ දුරට ජනතාව අතරට යාමට ඉඩ තිබූ බව සේජොං ආයතනයේ ආචාර්ය චියොන්ග් සියොන් චන්ග් පවසයි.

කිම් ඉල් සන්ග්ගේ අභාවයෙන් පසු, කිම් ජොන් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකයා බවට පත් වූ අතර කෝ ආර්යාව බවට පත්වූවා ය. ඇය සිය සැමියා සමග හමුදා පරීක්ෂණ චාරිකාවලට එක් වූ අතර, ඔහුගේ සමීපතමයන් සමග ද මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා ය.

ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර කිම් ඇගේ මතය පවා විමසා ඇතැයි කිම්ගේ හිටපු සූපවේදියෙකු වන ෆුජිමොටෝ සඳහන් කරයි.

2011 වසරේදී නිෂ්පාදනය කරන ලද නිල වාර්තා චිත්‍රපටයක කෝ හා කිම් කැටුව ප්‍රාදේශීය සංචාරවල නිරත වන දර්ශන ඇතුළත් පෙන්වීය. නමුත් ඒවායෙහි කිසිදිනෙක ඇගේ නම හෝ ඇගේ සොන්ග්බුන් පැලැන්තිය හෙළිදරව් නොකළේ ය.

ආචාර්ය චියොන්ග් පවසන පරිදි, මෙම වාර්තා චිත්‍රපටය කිසිදිනෙක ප්‍රසිද්ධියේ මුදා හැරීමක් සිදු නොකළ නමුත්, 2012 ජුනි මාසයේදී පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන්ට පමණක් පෙන්වා තිබේ. කෙසේ වෙතත්, පසුව එය රහසිගතව පිටව තිබූ අතර, හොර රහසේ රට තුළට ගෙන ආ USB ඔස්සේ සාමාන්‍ය ජනතාව අතර ද එය ජනප්‍රිය විය.

"මෙය රට පුරා ප්‍රසිද්ධවීමත් සමග... කෝ යොන්ග් හුයි පිළිබඳව ජනතාවගේ කුතුහලය අහස උසට ගියා. ඒ නිසා පාලන තන්ත්‍රය වහා ම එම වාර්තා චිත්‍රපටය යළි කැඳවූවා," ආචාර්ය චියොන්ග් පැහැදිලි කරයි.

ඇයගේ පසුබිම නිසා පාලන තන්ත්‍රයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කළ හැකි බව ඔහු තවදුරටත් පවසයි.

2004 වසරේදී පියයුරු පිළිකාවක් හේතුවෙන් පැරීසියේ රෝහලකදී කෝ මිය ගියා ය. ඇගේ අභාවය පිළිබඳව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවී ය.

Ko Yong Hui, in sunglasses and a white beanie, sits in a wheelchair pushed by a man. Several people are around her at a hospital in France

ඡායාරූප මූලාශ්‍රය, Yoji Gomi

අනීතිකභාවය සහ උරුමය

නමුත් පවතින ගැටලුව වන්නේ අනියම් බිරිඳකගේ දෙවන පුත්‍රයා සහ කිම් ජොන් ඉල්ගේ බාල පුත්‍රයා, අවසානයේදී බලය උරුමකර ගත්තේ කෙසේ ද යන්න යි.

කිම්ගේ නීත්‍යානුකූල බිරිඳ වන කිම් යන්ග් සූක් දරුවන් දෙදෙනෙකු බිහි කළා ය. නමුත් ඔවුන් දෙදෙනා ම ගැහැනු දරුවන් වූ බැවින්, ඔවුන්ගෙන් කිසිවෙකුත් නායකත්ව උරුමය සඳහා ඉදිරිපත් නොවූහ.

කිම් ජොං ඉල්ට, කෝ හැරුණු විට තවත් බිරින්දෑවරුන් දෙදෙනෙක් ද සිටියහ. ඔවුන්ගේ නම් සන්ග් හේ-රිම් සහ කිම් ඔක් විය.

කිම් ඔක් හට දරුවන් නොසිටි අතර, සන්ග් හේ රිම්ට දාව උපන් කිම්ගේ කුලුඳුල් පුත්‍රයා වූ කිම් ජොන් නැම් පිළිබඳ සලකා බැලිය හැකිවිය.

නමුත් දශකයකට වැඩි කාලයක් විදේශ රටවලදී අධ්‍යාපනය ලබා, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා ද්විත්වයම චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබූ කිම් ජොන් නැම් උතුරු කොරියාවේ පාරම්පරික බල හුවමාරුව ප්‍රශ්න කරමින් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට පෙනී සිටි බැවින්, ඉතා ඉක්මනින් ම පියාගේ අප්‍රසාදයට ලක් වූ බව ඔහු සමග වසර ගණනාවක් පුරා විද්‍යුත් තැපැල් හුවමාරු කරගත් ගෝජි පවසයි.

නිතර කැසිනෝ ශාලාවල ගැවසීමට යාම සහ සුඛෝපභෝගී සංචාරක ජීවන රටාව නිසා ඔහු විනෝදකාමී පුද්ගලයෙකු ලෙසද ප්‍රසිද්ධ වී සිටියේ ය.

මකාවෝ වෙත පිටුවහල්ව වසර කිහිපයක් ජීවත් වූ කිම් ජොන් නැම්, 2017 වසරේදී මැලේසියාවේදී ඝාතනය විය. ඒ, ඔහුගේ ශරීරයට මාරාන්තික විෂ ශරීරගත කිරීමෙනි.

හිටපු රාජ්‍ය තාන්ත්‍රික රියුට අනුව කිම් ජොන් උන්ගේ වැඩිමහල් සහෝදරයා වූ කිම් ජොන් චුල් ද සිටි නමුත් ඔහු අබිං සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටීම හේතුවෙන් උරුමක්කාරයෙකු කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

කෝ, ඇයගේ දෙවන පුත්‍රයා වූ කිම් ජොන් උන් අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස කටයුතු කළ බව විශ්වාස කෙරේ. මාධ්‍යවේදිනී ඇනා ෆයිෆීල්ඩ් විසින් රචිත "The Great Successor: The Secret Rise and Rule of Kim Jong Un" නමැති කෘතියේ සඳහන් කර ඇති ආකාරයට, කෝ මෙම පියවර ගෙන ඇත්තේ ඇයගේ සහෝදරියගේ උපදෙස් මත වන අතර, ඇය පවසා ඇත්තේ ඇගේ පුත්‍රයා රටේ මීළඟ නායකයා විය යුතු බව සහ එසේ නොවුණොත් පවුලේ ආරක්ෂාව අවදානමට ලක්වනු ඇති බව යි.

විශ්ලේෂකයන් පවසන්නේ කිම් ජොන් උන් සතු නායකත්ව හැකියාව සහ ජයග්‍රාහීභාවය හේතුවෙන් ඔහු ඉතා ඉක්මනින් පියාගේ ප්‍රියතම පුත්‍රයා බවට පත් වූ බව ය. ඔහු ස්විට්සර්ලන්තයේ කෙටි කලක් අධ්‍යාපනය ලැබුවද, ඔහුගේ අර්ධ සහෝදරයා වූ කිම් ජොන් නැම්ට සාපේක්ෂව සමාජයෙන් බොහෝ සෙයින් වෙන්ව, රහසිගත ජීවිතයක් ගත කළ බව පැවසේ.

2011 වසරේදී කිම් ජොන් ඉල් අභාවප්‍රාප්ත වන විට 27 වන වියේ පසු වූ කිම් ජොන් උන් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වය තහවුරු කරගත්තේ ය.

දකුණු කොරියාවේ එක්සත් අමාත්‍යාංශයට අනුව, කිම් ජොන් උන් පසුව තම සහෝදරිය වන කිම් යෝ ජොන් කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඇයට විශාල බලතල පවරා ඇත. ඇය එරට බලපෑම් සහගත ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව විශ්වාස කරයි.

Ko Yong Hui, in a white dress, stands on the left. A young Kim Jong Un, in a miitary uniform, sits and writes with a pen.

ඡායාරූප මූලාශ්‍රය, Cheong Seong-chang

නමුත් උත්තරීතර නායක කිම් ජොන් උන්ගේ මව්පියන් පිළිබඳ ගැටලුව අදටත් ඔහු ඉදිරියේ පවතී.

විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ ඔහුගේ උපන්දිනය, පියාගේ සහ සීයාගේ උපන්දින මෙන් මෙතෙක් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති වීමට හේතුව මෙය බවයි. ඒ, ඔහුගේ උපත කෙරෙහි අවධානයක් යොමු කිරීමෙන් ඔහුගේ මව පිළිබඳ මෙන් ම ඔහු පියොංයැන් නුවරින් බැහැරව හැදී වැඩීම පිළිබඳව ද දුෂ්කර ගැටලු මතුවිය හැකි බැවිනි.

ඔහුගේ මව්පිය පාර්ශවය පිළිබඳ පවතින මෙම රහස්‍යභාවය, ඔහු තම බිරිඳ වන රි සෝල් ජූ ඉතා ඉක්මනින් සමාජයට හඳුන්වා දීමට හේතුවක් වන්නට ඇතැයි සැලකෙයි.

දකුණු කොරියානු බුද්ධි අංශවලට අනුව, කිම්ගේ මව මෙන් නොව, රි සෝල් ජූ පියොංයැන්හි ඉහළ මධ්‍යම පාන්තික පවුලකින් පැවත එයි. එරට කීර්තිමත් සංගීත කණ්ඩායමක හිටපු ගායිකාවක වන ඇය යොවුන් වියේ දී සම්භාව්‍ය සංගීතය හැදෑරීම සඳහා චීනය වෙත ද යවා ඇත. එය ඇගේ උසස් සමාජ තත්ත්වය පෙන්නුම් කරයි.

"තම මවගේ පසුබිම නිසා කිම් ජොන් උන්ට අත්විඳින්නට වූ නීත්‍යානුකූල නොවන බව ඔහුගේ බිරිඳ වන රි සෝල් ජූ සහ දියණිය වන ජූ ඒ මුල් අවධියේදීම ප්‍රසිද්ධ කරවීමට ඔහුට ලැබුණු ප්‍රබල පෙළඹවීමක්" ගොමි පවසයි.

මෙම ප්‍රසිද්ධ සංදර්ශන, කිම්ගේ මවගේ සම්භවය වටා ඇති "'අඩුපාඩුවක්' ඇතැයි විශ්වාස කිරීම මත" පැන නැගිය හැකි බව ගෝමි තවදුරටත් පවසයි.

මේ නිසා කිම්ගේ මවගේ සම්භවය කවදා හෝ ප්‍රසිද්ධියට පත් වුවහොත් කුමක් සිදුවේද?

"ඔහුගේ මව ජපානයේ සිට පැමිණි කොරියානු සම්භවයක් සහිත කාන්තාවක බව ප්‍රසිද්ධ වුවහොත්, එය ඔහුගේ පාලනයේ නීත්‍යානුකූලභාවය සෙලවීමට පමණක් නොව, මෙම පරම්පරාගත පාලන ක්‍රමය අස්ථාවර කිරීමට ද හේතු වනු ඇත," රියූ පවසයි.

"එය උතුරු කොරියානු සමාජයට න්‍යෂ්ටික බෝම්බයක් එල්ල වූවක් වැනි බලපෑමක් එල්ල කරාවි."

ඡායාරූපය: නැගෙනහිර ආසියානු දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායමේ ඇන්ඩ්‍රෝ සයිනි

අතිරේක වාර්තාකරණය ග්‍රේස් ට්සෝයි සහ ලයිග්නි බැරන් විසිනි.