ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: වාණිජ බැංකු 4ක කළමනාකාරවරුන් රිමාන්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වංචාසහගත අන්දමින් රටින් පිට කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වාණිජ බැංකු හතරක කළමනාකාරවරුන් සිව් දෙනෙකු අගෝස්තු 21 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (අගෝ. 17) නියම කළේ ය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් ය.
සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන්න වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විදේශ රටවලට යැවීමට බැංකුවලට පහසුකම් සලසා දී ඇතැයි පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ සංචිත වශයෙන් ඇති ඇමරිකානු ඩොලර් රටින් පිට කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනය ආරම්භ කළ බව දැනුම්දුන් පොලිසිය සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා, සිද්ධියට අදාළව කළ මූලික විමර්ශනවලදී සැකකරුවන් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදේශ රටවලට යවා ඇති බව හෙළි වූයේ යැයි දැනුම් දුන්නේ ය.
එම මුදල් විදේශගත කළ ආකාරය සහ මෙම අපරාධයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් කවුරුන් ද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන පවත්වන බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා සැකකරුවන් ඇප මත සිටීම විමර්ශනවලට මහත් බාධාවක් බව පෙන්වා දුන්නේ ය.
සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන්නයි ඉල්ලා සිටියේ ය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් අගෝස්තු 21 වන දා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියම කළේ ය.
































