රට පුරා විදුලිය බිඳ වැටීමට බලපෑ සිද්ධිය හෙළි වෙයි: අද සිට දින 3ක් පැයක විදුලි කප්පාදුවක්

විදුලිය
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු වූයේ, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඇති වූ ගැටලුවක් බවට දැනට හඳුනාගෙන ඇතැයි වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.

ගැටලුව ඇති වූයේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ බවට හඳුනාගනු ලැබුව ද ඊට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"හේතුව තව ම නිශ්චිතව අඳුරගෙන නැහැ. ටෙක්නිකල් ඩීටේල්ස් ඇනලයිස් කරලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒක මේ වෙනකොට ඉංජිනේරුවන් ඇනලයිස් කරගෙන යනවා. ඉනීෂියේට් වුණ තැන පැහැදිලි නොරොච්චෝලේ කියන එක, හැබැයි මොන හේතුව නිසා වුණා ද කියන එක තව ම පැහැදිලි නැහැ."

රට පුරා විදුලිය බිඳ වැටීම පැය 7කට අධික කාලයක් පැවති අතර ක්‍රම ක්‍රමයෙන් පද්ධතිය යථාතත්ත්වය පත් කිරීමට කටයුතු කළ අතර එදින රාත්‍රී 9.40 පමණ වන විට සම්පූර්ණයෙන් ම විදුලිය ලබා දීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වුණේ ඇයි?

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා පෙරවරු 11.43ට පමණ ජාතික විදුලි බල පද්ධතියෙන් ජනන යන්ත්‍රයක් ඉවත්වීමත් සමග ඇති වූ අසමතුලිතතාව හේතුවෙන් තත්පර 30කට අඩු කාලයකදී මුළු දිවයිනට ම බලපාන පරිදි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවූ බව ජාතික පද්ධති ක්‍රියාකරු නිවේදනය කළේ ය.

එම තත්ත්වය යථාවත් කිරීමේ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම කටයුතු කළ අතර, ඒ අනුව දහවල් 12.11 වන විට ප්‍රධාන ජල විදුලි ජනන යන්ත්‍ර පද්ධතියට එකතු කරමින් පද්ධතිය වෙන් වෙන් වශයෙන් කොටස් හතරක් යටතේ සමගාමීව පණ ගැන්වීමට කටයුතු කළ බව එම නිවේදනයේ දැක්වේ.

හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම පවසයි.

'තව ද, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට යොමු වී ඇති බැවින්, දින කිහිපයක් යන තෙක් පද්ධතියට නැවත සම්බන්ධ නොකෙරෙනු ඇත. එම නිසා පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්‍රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇත.'

පවතින වර්ෂාපතනය නිසා ජල විදුලි ජනනය උපරිම අගයක් පවත්වා ගැනීමට හැකි වීමත්, පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩු වී ඇති ප්‍රවණතාවත් නිසා, ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අහිමි වන විදුලිය සපයා ගන්නේ කොහොම ද?

නොරොච්චෝලේ බලාගාරවල ගැටලුවක් මතුව නැති බවත් දින 3කින් පමණ ගල් අඟුරු බලාගාර ක්‍රියා කරවීමට හැකි වනු ඇති බවත් අමාත්‍ය අනුර කරුණාතිලක බීබීසී සිංහල සේවය වෙත පැහැදිලි කළේ ය.

"මෙතන ට්‍රිප් වෙලා තියෙන්නේ, ප්ලාන්ට්වල ගැටලුවක් නෙමෙයි. ට්‍රිප් වෙලා රීස්ටාර්ට් කරන්න සමාන්‍යයෙන් හීට් එක කූල් වෙනකම් ඉන්න ඕන. දවස් තුනක් විතර යයි කියලා තමයි ඉංජිනියර්ස්ලා කියන්නේ. අපි හිතනවා බදාදා, බ්‍රහස්පතින්දා වෙනකොට නොරොච්චෝලේ පද්ධතියට එකතු කරන්න පුළුවන් වෙයි කියලා. එතකල් අපිට ගැටලුවක් තියෙනවා මෙගාවොට් 250ක් 300ක් විතර අඩුවක් තියෙනවා."

සතියේ දිනවල රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන බව පැවසූ අමාත්‍යවරයා, නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන විදුලි ප්‍රමාණය සපුරා ගැනීම සම්බන්ධව අද සවස විදුලි ඉංජිනේරුවන් සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද පැවසීය.

සතියේ විදුලි ඉල්ලුම වෙනස් වීම

සතියේ දිනවල රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි වන අතර, පසුගිය සතියේ රාත්‍රී 8ත් 9ත් අතර කාලය වන විට විදුලි ඉල්ලුම මෙගාවොට් 2500ත් 2700කට වැඩි ප්‍රමාණයක් පැවතියේ ය.

ඔක්තෝබර් 18 වන ඉරිදා රාත්‍රී 8ත් 9ත් අතර කාලයේ මෙගාවොට් 2500කට වැඩි ඉල්ලුමක් පැවති බව ජාතික පද්ධති ක්‍රියාකරු වෙබ් අඩවියේ දැක්වේ.

එම කාලයේ තුළ විදුලිය උත්පාදනය කිරීම සඳහා ජල විදුලය සහ තාප ඉන්ධන වැඩි වශයෙන් යොදාගෙන ඇති බව ද එම දත්තවල සඳහන් කර තිබේ.

දින 3කට පැයක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය විදුලි බල පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් දින කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ පැවසීය.

ඒ අනුව, සවස 4.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක කාලයක් දිවයින කලාප 4කට වෙන් කර විදුලි කප්පාදුව සිදුකරන බව ද ඔහු කියා සිටියේ ය.

"අපි ඉල්ලුම කළමනාකරණය කරනවා පැයක කාලයක් ඒක හවස 4.30 ඉඳලා රෑ 8.30 වෙනකල් 19,29,21 කියන දවස් තුනේ සිදුකරනවා."

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් 22 වන බ්‍රහස්පතින්දා වන විට විදුලි බල පද්ධතියට එක් කළ හැකි බවට බලාගාරයෙන් දැනුම් දී ඇති බව ද ජාතික පද්ධති ක්‍රියාකාරු සමාගම තවදුරටත් කියා සිටියේ ය.

බලශක්ති අමාත්‍යංශය සහ මහජන උපයෝගීතා කොමිසම මෙම විදුලි කප්පාදු සඳහා අවසරය ඉල්ලා ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ පැවසීය.

අද සිට දින තුනක් විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන

විදුලිය කැපීම
විදුලිය කැපීම
විදුලිය කැපීම