ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ කොටුවේ රැඳී සිටින භික්ෂූන් ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණය දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් ලබා සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, කොටුව මහේස්ත්රාත් අධිකරණය විසිනි.
ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ප්රදේශය අධිආරක්ෂිත කලාපයක් බැවින් වහා ම එම ස්ථානයෙන් ඉවත්වන ලෙස විරෝධය දක්වන පිරිසට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
කොටුව පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන එම නියෝගය නිකුත් කළේ ය.
කොටුව පොලිසියේ නිලධාරීන් මෙම උද්ඝෝෂණය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටුව අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරත වන බව දැනුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලය අධිආරක්ෂිත කලාපයක පිහිටා ඇති බවත්, මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම ප්රදේශයේ ආරක්ෂාවට දැඩි තර්ජන සහ බාධා එල්ල වී ඇති බවත් දැනුම් දුන් පොලිසිය, විරෝධතාවයේ නිරතව සිටින පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නියම කරන්නැයි ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු පිළිගත් මහේස්ත්රාත්වරයා උද්ඝෝෂකයින්ට අදාළ නියෝගය නිකුත් කළේ ය.
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව මහනුවරින් ඇරඹි පාගමන ඊයේ (ඔක්: 15) කොළඹට ළඟා විය.
පාගමන ඊයේ කඩවතින් ආරම්භ වූ අතර, එම අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කොළඹට පැමිණි විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ, ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබා දීම ය.
ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු හමුවී සන්දේශයක් භාර දීමට භික්ෂූන් උත්සහ කළ ද, මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන්, ඊට බාධා එල්ල විය.
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඔක්තෝබර් 06 වන දා කොළඹ මහාධිකරණය වෙත පැමිණියේ ගිහි ඇඳුමකින් සැරසීමෙනි.