2026 ලොව දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා රුමේෂ් තරංගට ඡන්දය පළ කරන්නේ මෙහෙමයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

2026 ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛන මේ වන විට නිවේදනය කර තිබේ.

ඉතිහාසයේ පළමු වරට මෙවර වසරේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට නිර්දේශ වී තිබේ.

එම සුවිශේෂී ක්‍රීඩකයා වන්නේ, හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් ම සිටින ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ය.

ඔහු සමග තවත් ක්‍රීඩකයින් 9 දෙනෙකු 2026 වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටී.

මෙම වසර තුළ ජාත්‍යන්තර තරග බිමේ ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව එම ක්‍රීඩකයින් දස දෙනා තෝරාගෙන ඇත.

එම 10 දෙනා මෙසේ ය.

01. කෙනත් බෙඩ්නරෙක් ( Kenneth Bednarek ) - ඇමෙරිකා එක්සත් ජනපදය

'' කුංග් ෆු බක්'' ලෙස ද හඳුන්වන මොහු කෙටි දුර ධාවන ඉසව්වලින් දක්ෂතා දක්වයි. 2020 ටෝකියෝ සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ඇත. ඔහු මීටර 200 පිරිමි ධාවන ඉසව්වට තත්පර 19.52ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කර ඇති අතර, එය එම ඉසව්වට මෙම වසරේදී ක්‍රීඩකයෙකු සටහන් කළ වේගවත් ම කාලය යි. එමෙන් ම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 ඉසව්වේ ශූරයා වූයේ ද ඔහු ය.

02. ක්‍රිස්ටියන් චේ (Kristian Čeh) - ස්ලෝවේනියාව

කව පෙත්ත විසි කිරීමේ ශූරයෙකු වන ක්‍රිස්ටියන් 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා අවසන් අදියරේදී එම ඉසව්ව ජය ගත්තේ ය.

03. ඇන්ඩි ඩයස් හර්නැන්ඩස් (Andy Díaz Hernández) - ඉතාලිය

තුන් පිම්ම ඉසව්වේ ශූරයෙකු වන ඇන්ඩි මෙම වසරේදී ගෘහස්ථ ලෝක ශූරතාව, යුරෝපා ශූරතාව මෙන් ම ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ ශූරතාව ද දිනා ගත්තේ ය. ඔහු මෙම වසරේදී මීටර 18.15ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර එය වාර්තා අතරට එක් වූයේ, තුන් පිම්ම ඉසව්ව සඳහා ලොව සිව්වැනියට වාර්තා වූ ඉහළ ම දක්ෂතාව ලෙස ය.

04. ඇලිසන් ඩොස් සැන්ටොස් (Alison dos Santos) - බ්‍රසීලය

''පියු'' ලෙස ද හඳුන්වන ඔහු මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් 2020 ටෝකියෝ සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. ඔහු මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටවූයේ, 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 45.80ක දක්ෂතාවක් දක්වමිනි. එවර ඔහු බිඳ දැමුවේ කාස්ටන් වෝහෝම් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව යි. සැන්ටොස් මෙම වසරේ සහභාගී වූ ජාත්‍යන්තර තරග 11 ම ජයගෙන තිබේ.

05. ආමන්ඩ් ඩුප්ලැන්ටිස් ( Armand "Mondo" Duplantis ) - ස්වීඩනය

''මුන්ඩෝ ඩුප්ලැන්ටිස්'' යන නාමයෙන් ද හඳුන්වන ඔහු රිටි පැනීම ඉසව්වේ වත්මන් ලෝක ශූරයා මෙන් ම ඔලිම්පික් ශූරයා ද වේ. එමෙන් ම රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ තමන්ගේ ලෝක වාර්තාව බිඳ දමමිනි. ඔහු 2020, 2022 හා 2025 වසරවලදී මෙම සම්මාන උළෙලේ වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ ය.

06. කෝලෙන් කෙබිනට්ෂිපි (Collen Kebinatshipi ) - බොට්ස්වානා

2006 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්ව කෝලෙන් ජය ගත්තේ තත්පර 43.39ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. එය වාර්තා අතරට එක් වූයේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට මෙතෙක් සටහන් වූ පස් වන හොඳ ම කාලය ලෙසජය. එමෙන් ම අදියර 3ක් ද සමගින් ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව ජය ගැනීමට ද කෝලෙන් සමත් විය.

07. ජොෂ් කෙර් ( Josh Kerr ) - බ්‍රිතාන්‍යය

මැදි දුර ධාවන ශූරයෙකු වන ජොෂ් කෙර් සැතපුම් 01 පිරිමි ධාවන ඉසව්වෙන් මිනිත්තු 3:42.66ක කාලයක් සටහන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටවූයේ, 2026 ලන්ඩන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ය. ඔහු බිඳ දැමුවේ 1999 වසරේදී මොරොක්කෝවේ හිෂාම් එල් ගෙරූජ් (Hicham El Guerrouj) පිහිටුවා තිබූ ලෝක වාර්තාව ය. වසර 27ක් පුරා වෙනස් නොවී පැවති ලෝක වාර්තාව ජොෂ් කෙර් බිඳ දැමුවේ, "Project 222" (තත්පර 222 කින් සැතපුමක් සම්පූර්ණ කිරීමේ ව්‍යාපෘතිය) ලෙස හැඳින්වූ දැඩි පුහුණුවකින් පසුව බවට වාර්තා වේ. ජොෂ් කෙර්, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

08. රුමේෂ් තරංග පතිරගේ (Rumesh Tharanga Pathirage ) - ශ්‍රී ලංකාව

හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වට තරග කරන රුමේෂ් 2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දැක්වීය. එය එම ඉසව්වට මෙම වසරේදී ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළ ම දක්ෂතාව මෙන් ම ශ්‍රී ලංකා වාර්තාව ද වේ. ඔහු මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දෝහා, ලොසෑන්, සියුරික්, රෝම යන අදියර මෙන් ම බ්‍රසල්ස්හිදී පැවැති අවසන් අදියර ද ජය ගත්තේ ය. ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා අවසන් අදියරක් ජය ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස රුමේෂ් වාර්තා අතරට එක් වේ. එමෙන් ම, 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සහ 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්ව ජය ගත්තේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ තරගාවලියක ඉසව්වක් ජය ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.

09. සබාස්තියන් සාවේ (Sabastian Sawe ) - කෙන්යාව

මැරතන් ධාවන ශූරයෙකු වන සාවේ මෙවර ලන්ඩන් මැරතන් තරගය පැය 1:59:30ක කාලයකින් අවසන් කරමින් පැය 2ට වඩා අඩු කාලයකින් මැරතන් තරගයක් ජය ගත් ලොව පළමු වැන්නා ලෙස වාර්තා අතරට එක් විය.

10. ජේකෝබ් තාප් (Ja'Kobe Tharp ) - ඇමෙරිකා එක්සත් ජනපදය

මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් දස්කම් දක්වන ජේකෝබ්, ඇමෙරිකාවේ පැවති 2026 NCAA මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 12.75 ක දක්ෂතාවක් දක්වමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය. වසර 50කට පසුව NCAA මලල ක්‍රීඩා ශූරතාවලියකදී පිහිටවු පළමු ලෝක වාර්තාව එයයි.

ඒ අනුව මෙම වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී සිටින ක්‍රීඩකයින්ගෙන් අතරින් පස් දෙනෙක් ලෝක වාර්තාලාභීන් වෙති.

ඡන්දය පළ කරන්නේ කෙසේ ද?

සම්මාන සඳහා නිර්දේශ වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පළ කරන ඡන්දයක් මත ජයග්‍රහණය තීරණය වේ.

එම ඡන්දය පළ කිරීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන වාර්ෂික සම්මාන උළෙලේදී සම්මාන දිනූ ආසියානු ක්‍රීඩකයින්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය (World Athletics) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලවලදී (World Athletics Awards) විවිධ කාණ්ඩ යටතේ සම්මාන දිනාගත් ප්‍රධාන පෙළේ ආසියාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සිටිති.

  • මූටාස් ඒසා බර්ෂිම් (Mutaz Essa Barshim ) - කටාර් රාජ්‍යය

මලල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම උස පැනීමේ ක්‍රීඩකයෙකු වන ඔහු, 2017 වසරේ ලෝකයේ හොඳ ම මලල ක්‍රීඩකයා' (World Athlete of the Year) සම්මානය දිනා ගත්තේ ය. මීට අමතරව, 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉතිහාසගත ලෙස උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම සමව බෙදා ගත්තේ, ඉතාලියේ ජියැන්මාර්කෝ ටැම්බේරි (Gianmarco Tamberi) සමග සමාන දස්කම් දක්වමිනි. මූටාස්, 2021 වසරේදී විශේෂ සම්මානයකින් (Inspiration Award) ද පිදුම් ලැබී ය.

  • ජෑං ජියාලේ (Zhang Jiale) - චීනය

චීනයේ මිටිය විසි කිරීමේ (Hammer Throw) ක්‍රීඩිකාවක වන ඇය, 2025 වසරේ ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ නැගී එන ක්‍රීඩිකාවට හිමි (Female Rising Star) සම්මානය දිනා ගත්තා ය.

  • හම්දාන් අල්-බිෂී (Hamdan Al-Bishi) - සෞදි අරාබිය

මීටර් 400 ධාවන ශූරයෙකු වන ඔහු, 2000 වසරේදී ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ නැගී එන ක්‍රීඩකයා (Male Rising Star/Promising Athlete) සම්මානය දිනා ගත්තේ ය.

අබ්දුල් හකීම් සනි බ්‍රවුන් (Abdul Hakim Sani Brown) - ජපානය

ජපාන කෙටිදුර ධාවන ශූරයෙකු වන ඔහු, 2015 වසරේදී ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ නැගී එන ක්‍රීඩකයා (Male Rising Star) සම්මානය දිනා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් පවත්වනු ලබන මෙම වාර්ෂික සම්මාන උළෙලේදී ප්‍රධාන කාණ්ඩ යටතේ දකුණු ආසියාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙකු මෙතෙක් ප්‍රධාන සම්මානයක් දිනාගෙන නොමැත.

කෙසේ වෙතත්, දකුණු ආසියාතික රටවල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක මලල ක්‍රීඩා ශූරතා (World Athletics Championships) සහ ඔලිම්පික් වැනි සෙසු ජාත්‍යන්තර තරගවලදී පදක්කම් දිනා තිබුණ ද, ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂිකව ලබා දෙන හොඳ ම ක්‍රීඩකයා/නැගී එන ක්‍රීඩකයා වැනි ප්‍රධාන ගෝලීය සම්මාන සඳහා ආසියාවෙන් වැඩිපුර තේරී පත්වී ඇත්තේ මැද පෙරදිග කලාපයෙන් සහ නැගෙනහිර/ගිනිකොණදිග ආසියානු (චීනය, ජපානය වැනි) රටවල ක්‍රීඩකයින් ය.

ඉන්දියාවෙන් බිහි වූ හෙල්ල විසි කිරීමේ ශූර නීරජ් චොප්රා ලෝක මලල ක්‍රීඩා උළෙලේ වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වූයේ 2023 වසරේදී ය. වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වූ පළමු ඉන්දීය ජාතිකයා වන්නේ නීරජ් ය. මෙතෙක් ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධාන වාර්ෂික සම්මානයක් දිනාගෙන නැත. කෙසේ නමුත්, ඉන්දියාවෙන් බිහි වූ ප්‍රවීණ දුර පැනීමේ ක්‍රීඩිකාවක වන අන්ජු බොබී ජෝර්ජ් 2021 ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන වාර්ෂික සම්මාන උළෙලේදී ''වසරේ කීර්තිමත් ක්‍රීඩිකාව'' නමැති ගෞරව සම්මානය දිනාගෙන තිබේ. ඒ, ඉන්දියාව තුළ මලල ක්‍රීඩා නගාසිටුවීම සඳහා, විශේෂයෙන් ම තරුණ තරුණියන් සහ දැරියන් ක්‍රීඩාවට යොමු කිරීමට ඇය දැක්වූ කැපවීම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීම සහ තරුණ ක්‍රීඩිකාවන් මෙහෙයවීම ද අගැයීමට ලක් කරමිනි. අන්ජු, 2003 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්, ලෝක මලල ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් දිනාගත් ප්‍රථම ඉන්දියානු ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්ව සිටී. ඒ අනුව, ඇය දකුණු ආසියානු කලාපයෙන් ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ මෙවැනි විශේෂ ගෝලීය සම්මානයක් දිනාගත් පළමු ක්‍රීඩිකාව වේ.