ජංගම දුරකතනවල තිරයෙන් නිකුත් වන නිල් ආලෝකය ගැන අලුත් සොයා ගැනීමක්

    • Author, තෝමස් ජර්මේන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

දශකයකට ආසන්න කාලයක් තිස්සේ අප අසා තිබුණේ ජංගම දුරකතනවල තිර (screens) අපගේ නින්ද විනාශ කරන බව ය. නමුත් සැබවින් ම නින්දට වඩාත් ම හානිකර බලපෑම එල්ල කරන්නේ ඔබේ දුරකතනයේ තිරයෙන් නික්මෙන ආලෝකයට වඩා බොහෝ විශාල වෙනත් සාධකයකි.

පසුගිය සති කිහිපය පුරා ම මම නින්දට යාමට පැය තුනකට පෙර විශේෂ තැඹිලි පැහැති ආරක්ෂිත උපැස් යුවළක් පැළඳුවෙමි. ඝන, සුවපහසුවක් නොමැති ප්ලාස්ටික්වලින් සාදා ඇති එම උපැස්වලින් මුළු ලෝකය ම බොඳවුණු තැඹිලි පැහැයකින් දක්වන අතර, නිල් පැහැති කිසිවක් දකින්නට නොලැබේ. නමුත් මම එතැනින් නොනැවතුණෙමි. මම ජනේල කළු පැහැ තිර රෙදිවලින් වසා දැමුවෙමි. ගෙදර තිබූ සියලු ම විදුලි බුබුළු එකින් එක නිවා දැමුවෙමි. ඒ වෙනුවට මගේ මහල් නිවාසය ඉටිපන්දම්වලින් ආලෝකවත් කළෙමි. මගේ නින්ද චර්යාව අවුල් වී ඇත, නමුත් එය අත්හදා බැලීමක් සඳහා ය. නිල් ආලෝකය ඉවත් කළ විට ඔබේ නින්දට කුමක් සිදුවේ දැයි මම සොයා ගතිමි.

පසුගිය වසර 10 පුරා ම මුළු ලෝකය ම මෙම ෆොටෝක්‍රොමික් ආලෝකය පිළිබඳව බියකින් පසුවිය. අපගේ දුරකතන, ටීවී, පරිගණක, ටැබ්ලට් මෙන් ම LED බල්බවලින් පවා විශාල ලෙස නිල් ආලෝකයක් නිකුත් වන බවත්, ඒ හරහා අපගේ ශරීරයේ ස්වාභාවික ජෛව ඔරලෝසුව අවුල් වී නින්ද විනාශ වන බවත් අපට නිතර ම අසන්නට ලැබේ. මේ පිටුපස යම් විද්‍යාත්මක පදනමක් තිබුණ ද, මෑතකදී සිදු කෙරුණු අධ්‍යයනවලින් සහ විශ්ලේෂණවලින් යෝජනා කරන්නේ මෙය ඊට වඩා බොහෝ සෙයින් සංකීර්ණ කතාවක් බව ය. ඇත්තට ම, ඔබත් මේ සම්බන්ධයෙන් පැතිර පවතින වැරදි මතවලට හසුවී සිටීමට විශාල ඉඩක් ඇත. විශේෂඥයින් මට පවසන්නේ, ඔබේ ජංගම දුරකතනයෙන් එන ආලෝකය නිසා නින්දට බාධා එල්ල වන බවට කියන කතාවේ සත්‍යතාවක් නොමැති බව ය.

මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල එකිනෙනට සමාන නොවේ. උදාහරණයක් ලෙස, රාත්‍රී කාලයේදී ඔබේ දුරකතනයේ නිල් ආලෝකය අඩු කිරීමට ඇති විශේෂාංග මගින් ඔබේ නින්දේ ගුණාත්මකභාවය වැඩි කිරීමට සිදු කරන්නේ කුඩා දෙයකි. නමුත්, නූතන ජීවන රටාවේ ආලෝකකරණයට සැබවින් ම අපගේ නින්දට විශාල බලපෑමක් කළ හැකි ය. වෙනසක් ඇති කිරීමට අප කළ යුත්තේ කුමක් ද?

මට සත්‍යය දැන ගැනීමට අවශ්‍ය විය. එමනිසා, මම ප්‍රවීණයන් සමග සාකච්ඡා කළ අතර විද්‍යාත්මක කරුණු පිළිබඳව ගැඹුරින් සොයා බැලුවෙමි.

තව ද, මට මෙහි වෙනස හඳුනාගත හැකි දැයි බැලීමට, මම හැකිතාක් දුරට නිල් ආලෝකයෙන් තොර සන්ධ්‍යාවන් ගත කිරීමට උත්සහ කළෙමි. ඔබට ප්‍රායෝගිකව භාවිත කළ හැකි උපදෙස් කිහිපයක් මම සොයා ගත්තෙමි. ඒ සඳහා අඳුරු පැහැති උපැස් පැළඳීම අවශ්‍ය වන්නේ නැත. සුවබර නින්දක් ලබා ගැනීමේ රහස එය විය හැකි ය.

අපේ නින්ද මරා දමන්නේ 'නිල් තිරය' ද?

නිල් ආලෝකය පිළිබඳ සමාජයේ ඇති වූ භීතිය ආරම්භ වූයේ, 2014 දී සිදුකළ අධ්‍යයනයක් සමගිනි. ඒ සඳහා සහභාගි වූ 12 දෙනෙකුගෙන් 6 දෙනෙකු නින්දට පෙර iPad මගින් යමක් කියවූ අතර, ඉතිරි පිරිස භෞතිකව පොත් කියවූහ. iPad භාවිත කළ අයට නින්ද යාමට වැඩි වේලාවක් ගත වූ අතර, පසුදින ඔවුන්ට නිදිබර ගතියක් දැනිණි. ඔවුන්ගේ සිරුරේ මෙලටොනින් හෝමෝන නිෂ්පාදනය ද අඩු වී තිබිණි. පර්යේෂකයන් පැවසුවේ, මෙයට හේතුව iPadහි LED තිරයෙන් නිකුත් වන ආලෝකය බව ය. එය ආලෝක වර්ණාවලියේ ඉහළ, නිල් පැහැති කෙළවරින් විශාල ආලෝක ප්‍රමාණයක් නිපදවයි. යම් විශේෂිත තත්ත්වයන් යටතේ, මෙලෙස නිල් ආලෝකය වැඩිපුර අඩංගු ආලෝකය මගින් අපගේ දෛනික ජීව විද්‍යාත්මක රටාව අවුල් කරයි. අපට මහන්සිය දැනෙන්නේ කුමන අවස්ථාවේදී දැයි තීරණය කිරීමට දිවා ආලෝකය භාවිත කරන්නේ අපගේ සිරුරේ ඇති මෙම ස්වාභාවික පාලකය යි. පසුව කළ පර්යේෂණවලින් ද මෙම සොයාගැනීම් තහවුරු වන බවක් පෙනෙන්නට තිබිණි. මෙය සරල ලෙස පෙනෙනවා ද? නමුත් එය එසේ නොවේ.

"මෙය විශ්වාස කළ නොහැකි රැවටිලිසහගත පර්යේෂණයක්," ආලෝකය මගින් ජීව විද්‍යාත්මක පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව අධ්‍යයනය කරන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව සහ චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේමී සෙයිට්සර් පවසයි. විද්‍යාව වැරදි නැති බව පවසන ඔහු ගැටලුව වන්නේ මිනිසුන් වැරදි නිගමනවලට එළඹීම බව පෙන්වා දෙයි.

අපගේ දුරකතන තිර අඳුරු පැහැ බව ඇත්තකි. නවීන තිර සහ විදුලි බුබුළු සඳහා LED භාවිත කරන අතර, ඒවාට තනි සුදු ආලෝකය නිපදවිය නොහැක. ඒ වෙනුවට, ඔවුන් නිල් LED භාවිත කර ඒවායින් කිහිපයක් 'කහ ෆොස්ෆර්' (yellow phosphor) නමැති රසායනික ද්‍රව්‍යයකින් ආවරණය කරයි. මෙම නිල් සහ කහ එකිනෙක මිශ්‍ර වී සුදු පැහැය ලෙස පෙනෙන ලෙස ඔබේ මොළය රවටනු ලබයි, නමුත් අමතර නිල් ආලෝකය සෑම විට ම පිටතට කාන්දු වේ.

නිල් ආලෝකයට සැබවින් ම ඔබේ නින්දට බලපෑම් කළ හැකි ය. සයිට්සර් පවසන්නේ, එයට ප්‍රධානතම හේතුව ඔබේ ඇස්වල මෙලනොප්සින් නමැති ආලෝකයට සංවේදී ප්‍රෝටීනයක් පිහිටා තිබීම බව ය. එය ඔබේ නින්දේ පද්ධතියට ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. "මෙලනොප්සින් කියන්නේ නිල් ආලෝකයට සංවේදී ප්‍රෝටීනයක්, ඒ කියන්නේ එය නිල් ආලෝකයට වඩාත් ම සංවේදී යි," ඔහු පවසයි. මෙලනොප්සින් අනෙකුත් වර්ණවලට ද ප්‍රතිචාර දක්වන අතර, නිල් ආලෝකය හමුවේ දක්වන බලපෑම තරමක් වැඩි ය.

"නමුත් තිරවලින් නිකුත් වන ආලෝක ප්‍රමාණය ඇත්තෙන් ම වැදගත් වෙන්නේ නැහැ" සෙයිට්සර් පවසයි. ඔබේ එදිනෙදා ජීවිතය නිල් ආලෝකය පිළිබඳ කෙරෙන බොහෝ පර්යේෂණවල කොන්දේසි සමග ගැලපෙන්නේ නැත. "අපි කෙනෙකුව පරීක්ෂණාගාරයට අරන් ඇවිත්, මුළු දවස ම ඉතා අඳුරු ආලෝකයක තබනවා. ඊටපස්සේ ඔවුන්ට තද ආලෝක උත්තේජනයක් ලබා දෙනවා," ඔහු පවසයි. එම තත්ත්වයන් යටතේ නිල් ආලෝකය නිසා මිනිසුන්ගේ නින්ද සම්පූර්ණයෙන් ම කඩාකප්පල් වන නමුත් එය සාමාන්‍ය මිනිස් ජීවිතයේ අත්දැකීම් නිරූපණය නොකරයි.

වසර ගණනාවක අනතුරු ඇඟවීම්වලින් පසුව සහ මිලියන සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේ දුරකතනවල ඇති 'බ්ලූ ලයිට් ෆිල්ටර්' ක්‍රියාත්මක කළ ද, නවතම විද්‍යාත්මක සොයාගැනීම්වලින් යෝජනා කෙරෙන්නේ නින්දට බාධා වීමට ප්‍රධාන ම හේතුව තිර නොවන බව ය. උදාහරණයක් ලෙස, වෙනස් අධ්‍යයනයන් 11ක් ඇසුරින් කරන ලද නවතම සමාලෝචනයකට අනුව සොයාගෙන ඇත්තේ, තිරවලින් නිකුත් වන ආලෝකය නිසා නින්ද ප්‍රමාද වන්නේ උපරිම මිනිත්තු නවයකින් පමණක් බව ය. ඉන් කිසිදු බලපෑමක් නොවන බව කිව නොහැකි නමුත් ජීවිතය වෙනස් කිරීමක් සිදු නොවේ.

එක් අධ්‍යයනයකට අනුව, දුරකතන, ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණකවල තිරවලින් විමෝචනය කෙරෙන නිල් ආලෝක ප්‍රමාණය, අපට සූර්යයාගෙන් ලැබෙන නිල් ආලෝකයට සාපේක්ෂව ඉතාමත් ම කුඩා එකකි. එක් අධ්‍යනයකට අනුව ඩිජිටල් උපාංගවලින් පැය 24 පුරා ම ලැබෙන නිල් ආලෝකය, එළිමහනේ ගත කරන එක මිනිත්තුවකටත් වඩා අඩු ය. අනෙක් අධ්‍යයන මගින් පෙන්වා දී ඇත්තේ, එය අපගේ නින්ද පාලනය කරන හෝමෝන මට්ටම්වලට බලපෑම් කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ය.

එසේ නම් මට සෑම විට ම මෙතරම් මහන්සියක් දැනෙන්නේ ඇයි? සෙයිට්සර් සහ අනෙකුත් අය මට පැවසුවේ, නිල් ආලෝකය සහ වෙනත් ආලෝක මගින් ඔබේ නින්දට බාධා විය හැකි වෙනත් බොහෝ ක්‍රම ඇති බව ය. මට සැබවින් ම මෙම නිල් ආලෝකයේ ප්‍රශ්නයට පිළියම් යෙදීමට අවශ්‍ය නම්, ඒ සඳහා බරපතළ ලෙස ජීවන රටාවේ වෙනසක් කිරීමට සිදුවනු ඇත.

වරද නිල් පැහැයේ ද?

මගේ අත්හදාබැලීමේ පළමු දිනයේ සන්ධ්‍යාවේදී රාත්‍රී ආහාරය සඳහා මම නිවසින් පිටතට ගොස් සිටියෙමි. රාත්‍රී 08. 30ට පමණ මට නිවසට යාමට අවශ්‍ය බව මම සිතුවෙමි. එය ආලෝකයෙන් සැඟවීමට කාලය විය. නින්ද පිළිබඳ විශේෂඥයන්ගෙන් මට ලැබුණු උපදෙස් මත පදනම්ව ඇඳට යාමට ප්‍රථමයෙන් සිදු කරන මගේ දැඩි පූර්ව සූදානම ආරම්භ වන්නේ මා ඇඳ ඇතිරිලි තුළට යාමට බොහෝ වේලාවකට පෙර සිට ය.

මගේ දවස ආරම්භ වන්නේ, හාස්‍යජනක පෙනුමක් ඇති උපැස් යුගලක් සමගිනි. ඔබ සාමාන්‍ය උපැස් පළඳින අයෙකු නම්, නිල් ආලෝකය ඉවත් කිරීමට පොරොන්දු වන විශේෂ ආලේපන ගැන ඔබත් අසා තිබෙන්නට පුළුවන. අධ්‍යයන මගින් යෝජනා කෙරෙන්නේ ඒවායින් සැලකිය යුතු යමක් නොකරන බව ය. සැබෑ නිල් ආලෝකය වළක්වන කණ්ණාඩි එතරම් ආකර්ෂණීය නැත. සැබැවින් ම, ඒවා බොහෝ දෙනෙකුට ප්‍රායෝගික විසඳුමක් ද නොවේ.

තත්ත්වයෙන් උසස් උපැස් යුවළවල තද තැඹිලි, රතු හෝ ඇම්බර් පැහැති කාච ඇති අතර, ඇස් දෙපසින් ආලෝකය ඇතුළු විය නොහැකි ලෙස ඒවා ඇස් වටා හොඳින් ආවරණය වී පවතී. විශ්වාසදායක නිෂ්පාදකයන් නිල් ආලෝකය කොපමණ ප්‍රමාණයක් ඇතුළට එන්නේ දැයි පෙන්වන වර්ණාවලි වාර්තාවක් පවා ලබා දෙයි. නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නින්ද සහ කාලානුක්‍රමික විද්‍යා පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ හවාර්ඩ් කැලෙස්ටාඩ් පවසන්නේ, ''ඔබට නිල් පැහැය ගොඩක් පේන්නේ නැති වෙන්න ඕනේ'' යනුවෙනි.

මා සතුව ඇති විශේෂ නිල් ආලෝක ආවරණ උපැස් සාදා ඇත්තේ ඇස්වලට ආරක්ෂාව අවශ්‍ය වන, ලේසර් සමග වැඩ කරන පුද්ගලයන් සඳහා ය. මම ඒවා පැළඳගෙන ජනේලයෙන් පිටත බැලුවෙමි. පාර දිගේ නිල් පැහැති නියෝන් පුවරුවක් සහිත වෙළෙඳසලක් තිබේ. මගේ උපැස් පැළඳ සිටියදී, එම පුවරුවෙන් ආ නිල් ආලෝකය සම්පූර්ණයෙන් ම අතුරුදන් විය. ඉලක්කය හරි ගියේ ය.

මාධ්‍යවේදියෙකුගේ කාර්යභාරය වෙනුවෙන් මම කරන කැපකිරීම් ගැන සිතමින් මම සෝෆාව මත වාඩි වී සිටියෙමි. මම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඉහළ පහළ ගියෙමි. එය තැඹිලි පාටින් දිස් විය. මා කරන මේ සියලු දේවල මූලික අරමුණ ආලෝකය මගේ නින්දට බලපාන ආකාරය පරීක්ෂා කිරීම බැවින්, මගේ දුරකතනය, රූපවාහිනිය හෝ පරිගණක භාවිතයේ පුරුදු මම වෙනස් කළේ නැත. නමුත් උපැස් පැළඳීම යනු ආරම්භයක් පමණි.

"මම හිතන්නේ ඔබ ඔබේ මහල් නිවාසය ගුහාවක් බවට පත් කර ගන්න ඕනේ," කල්ලෙස්ටාඩ් පවසයි. "පිටතින් ආලෝකය ඇතුළු වීම වළක්වා ඉටිපන්දම් ආලෝකය පමණක් භාවිත කරන්න." නූතන LED ආලෝකයන්ගෙන් අධික ලෙස නිල් ආලෝකය නිපදවයි. පැරණි පන්නයේ තාපදීප්ත බල්බවලින් නිපදවන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයකි, නමුත් ඉටිපන්දම්වල නිල් ආලෝකය නොමැති තරම් ය.

මම ජීවත් වන නිව්යෝර්ක් නගරයේ කිසි දා සැබෑ අඳුරක් නැත. එබැවින් මම මගේ ජනේල කළු පැහැති තිර රෙදිවලින් වසා දැමූ අතර, මගේ දුරකතනය සහ සැලෙමින් දැවෙන ඉටිපන්දම් කිහිපයක් පමණක් මා සහ අඳුරු ඝන අන්ධකාරය අතර රැඳී තිබිණි. මට නිදිමත පැමිණ නොතිබිණි. එය සති දෙකක් පුරා පැවතිණි.

නිල් ආලෝකයෙන් මිදෙන්නේ කෙසේ ද?

දවස පුරා ඔබට ලැබෙන ආලෝකයේ මාත්‍රාව ඇත්තෙන් ම වැදගත් වන බවට විශේෂඥයෝ එකඟ වෙති. සුවපහසු නින්දක් සඳහා, ඔබට උදෑසන කාලයේදී වැඩි ආලෝකයක් ද රාත්‍රී කාලයේදී ඉතා අඩු ආලෝකයක් ද අවශ්‍ය වේ. නිල් ආලෝකය මෙහිදී වැඩි බලපෑමක් කළ ද, සැබෑ වෙනස ඇති කරන්නේ සම්පූර්ණ නිරාවරණය යි.

ඊට ඇති විසඳුම ආරම්භ වන්නේ, ඔබ අවදි වන මොහොතේ සිට බව පෙනී යයි. මගේ පරීක්ෂණය අතරතුර සෑම උදෑසනක ම, මම 1980 ගණන්වල විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයකට යොදා ගන්නා උපකරණයක් වැනි ලාම්පුවක් ඉදිරිපිට වාඩි වී සිටියෙමි. මම මගේ කෝපි කෝප්පය පානය කරන අතරතුර එය මගේ මුහුණට ම ඉතා දීප්තිමත් ආලෝකයක් විහිදුවයි. ලාම්පුව කුඩා එකක් බැවින්, කලෙස්ටාඩ් පැවසුවේ, මට හැකි තරම් ඊට ආසන්නයෙන් වාඩි විය යුතු බව ය. එය විනෝද ක්‍රියාවක් නොවී ය. මෙම ලාම්පුව නිර්මාණය කර ඇත්තේ, සෘතුමය විශාදය (seasonal depression) සඳහා ප්‍රතිකාර කිරීමට වන අතර, එහි ඇති සායනික මට්ටමේ ආලෝකය විශේෂයෙන් ම නිල් පැහැති වේ. එය දවසේ මුල් කාලයේදී ලබා ගැනීමෙන් පුද්ගලයෙකුගේ අවධානය වැඩි වන බව පෙන්වා දී ඇත. නමුත් එය එදින රාත්‍රියේදී ලැබෙන නිල් ආලෝකයෙන් ආරක්ෂාවීමට ද මගේ ඇස් සූදානම් කරයි.

"දවල් කාලයේදී ඔබට වැඩි ආලෝකයක් ලැබෙන තරමට, සන්ධ්‍යා කාලයේදී ලැබෙන ආලෝකයෙන් සිදුවන බලපෑම අඩු වෙනවා," සෙයිට්සර් පවසයි. වසංගතයට පෙර ලෝකයේ මිනිසුන් තමන් සිතූ ප්‍රමාණයට වඩා වැඩි ආලෝකයකට නිරාවරණය විය. රැකියාවට යන අතරමගදී ලැබෙන හිරු එළිය, කාර්යාලයේ ඇති තියුණු ප්‍රතිදීප්ත බල්බවල ආලෝකය, දහවල් ආහාරය සඳහා ඇවිදයාම ඊට උදාහරණ වේ. නමුත් දැන්, අපගෙන් බොහොමයක් දෙනා ඇඳෙන් නැගිට රාත්‍රී නින්දට යන තෙක් ම එක ම ආලෝක තත්ත්වයක් යටතේ වාඩි වී සිටියි. එම නිසා අපගේ ශරීරවලට දහවල සහ රාත්‍රිය අතර වෙනස හඳුනාගත නොහැක.

නිවසින් පිටතට ගමන් කිරීම ඕනෑ ම ආලෝක ලාම්පුවකට වඩා ඉක්මනින් ගැටලුව විසඳනු ඇත. අළු පැහැති වලාකුළු සහිත දිනයක පවා ඔබට ලක්ස් (ආලෝකයේ තීව්‍රතාව මැනීමේ ඒකකය) 10,000ක පමණ ආලෝකයක් ලැබෙන බව සෙයිට්සර් පවසයි. හොඳින් හිරු එළිය තිබෙන දීප්තිමත් දිනයකදී එය ලක්ස් 100,000 දක්වා ඉහළ යා හැකි ය. ඊට සාපේක්ෂව, ඔබේ විසිත්ත කාමරයේ තිබෙන්නේ ලක්ස් 100ක පමණ ආලෝකයකි. (තව ද, ඔබේ ජංගම දුරකතනයෙන් ලැබෙන්නේ උපරිමයෙන් ම ලක්ස් 50-80 වැනි සුළු ආලෝකයකි. එහි දීප්තිය අඩු කර ඇති විට එය තවත් අඩු වන බව සයිට්සර් පවසයි.)

"ඔබට හැකි නම් නිවසින් පිටතට යන්න, තිබේ නම් ආලෝක ලාම්පුවක් භාවිත කරන්න," කැල්ස්ටැඩ් පවසයි. උදෑසන කාලයේදී විනාඩි 30ක ඇවිදීම පවා සැබෑ වෙනසක් ඇති කරයි. (sunscreen ආලේප කිරීමට අමතක නොකරන්න). එමෙන් ම පස්වරු 03න් පසුව නැවතත් එළිමහනට යාමට හැකි නම්, එය ද පුදුම හිතෙන තරම් ප්‍රයෝජනවත් වන බව සෙයිට්සර් පවසයි. එමගින් ඔබේ ශරීරයේ අභ්‍යන්තර ජෛව ඔරලෝසුවට තවදුරටත් ආරක්ෂා කරන අතර, රාත්‍රී කාලයේදී ආලෝකයට ඔබ දක්වන සංවේදීතාව ඍජුව අඩු කරයි.

ඔබ නිවසේ සිට රැකියාව කරන අයෙක් නම් ඔබට උත්සහ කළ හැකි තවත් උපක්‍රමයක් තිබේ. එය ටිකක් අසාමාන්‍ය ලෙස පෙනෙන්නට පුළුවන. දිවා කාලයේදී ඔබේ විදුලි පහන් දීප්තිමත් ලෙස දල්වා සවස් වරුවේ ඒවා නිවා දැමීමට පටන් ගන්න. "ආලෝකයට නිරාවරණය වීමේදී සැබෑ රහස වන්නේ ආලෝකයේ වෙනස යි," සෙයිට්සර් පවසයි.

එබැවින්, මුළු දවස පුරා ම තිර දෙස බලා සිටීම නිසා ඔබ නිවසට ම වී සිටින්නේ නම් සහ හොඳ නින්දක් ලබා දෙන ස්වාභාවික හිරු එළියෙන් ඈත් වී සිටින්නේ නම්, එය අසුබ පුවතකි. නමුත් එම තිරවලින් නිකුත් වන නිල් ආලෝකය අපගේ ජීවන රටාව පිළිබඳ මෙම විශාල ගැටලුවට බලපාන්නේ ඉතා සුළු වශයෙනි. සයිට්සර් පවසන්නේ සැබෑ ගැටලුව වන්නේ නින්දට පෙර අපගේ දුරකතන සහ ලැප්ටොප් පරිගණක මගින් අප කරන්නේ කුමක් ද? යන්න යි.

"මෙම උපාංගවලින් මිනිසුන් අවදියෙන් තබා ගන්නේ ආලෝකයට වඩා අන්තර්ගතය යි," සෙයිට්සර් පවසයි. එය මුල සිට ම ඔබ ආලෝකයට කොතරම් සංවේදී ද යන්න මත ද රඳා පැවැතිය හැකි ය – මම ඔබට වඩා වැඩිපුර හෝ අඩුවෙන් සංවේදී විය හැකි ය.

නිල් ආලෝක කාලය

මම මගේ නින්ද පරීක්ෂා කිරීම සඳහා ස්ලීප් ට්‍රැකර් එකක් භාවිත කරමි. එය සැබෑ විද්‍යාත්මක පරීක්ෂණයකට තරම් සුදුසු නොවුණ ද දළ සංඥාවක් ලබා දෙයි. මෙම අත්හදා බැලීම අතරතුර මගේ නින්දේ ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් සිදු වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් මට යම් යම් වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය විය. මගේ අත්හදා බැලීම අවසන් වන විට මම නිදාගත් කාලය කිසිදු අර්ථවත් ආකාරයකින් වෙනස් නොවී ය. අත්හදා බැලීම අවසානයේ මම නිදාගත් මුළු කාලයේ ලොකු වෙනසක් සිදු නොවූවත්, මම නිදා ගන්නා වේලාව සහ උදෑසන අවදි වන වේලාව පෙරට වඩා යම්තාක් දුරට ස්ථාවර විය. මෙය සිදු වූයේ මම නිල් ආලෝකය අවහිර කළ නිසා ද? එය නිවැරදිව පැවසීම අපහසු නමුත් එය විශාල ජයග්‍රහණයක් ලෙස දැනිණි.

මට පැහැදිලිව ම කිව හැකි දෙය වන්නේ, මම රාත්‍රියට ඉටිපන්දම් දැල්වූ පරිසරයට ආසාවෙන් බලා සිටීමට පටන් ගැනීමයි. එය වෙනසක් සිදුකළ්. යම් දෙයක් "නින්දට පෙර ක්‍රියාවලියේ කොටසක් බවට පත් වූ විට, එය ඔබේ ශරීරයට ඔබ ඊළඟට කළ යුතු දේ මතක් කිරීමට උපකාරී වන ඉතා ශක්තිමත් මනෝවිද්‍යාත්මක ඉඟියක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්," සෙයිට්සර් පවසයි.

ඔබේ දුරකතනයේ නිල් ආලෝකය සීමා කරන Auto-dimming පහසුකම් සඳහා ද එය එසේ ම වේ. "එය සැබවින් ම එතරම් හොඳින් සාර්ථක වන්නේ නැහැ. නමුත් එවැනි ෆිල්ටර් එකක් භාවිත කරන විට, නැතහොත් සවස කාලයේදී නිල් ආලෝකය ආවරණය වන උපැස් පළඳින විට සිදුවිය හැකි එක ම දේ නම්, එය ඇතැම් අයට උත්තේජන සංඥා වර්ගයක් ලෙස ක්‍රියා කිරීම යි. තිරයේ වර්ණය වෙනස් වන විට හෝ ඔබ උපැස් පළඳින විට, දැන් නින්දට සූදානම් වීමට කාලය හරි බව ඔබේ මොළය තේරුම් ගැනීමට පටන් ගන්නවා."

ඔබ රාත්‍රියක් ගත කිරීමට පැමිණෙන්නේ නම් මම නිල් ආලෝකය ආවරණය කරන උපැස් පැළඳ සිටින බව ඔබට දැකගත නොහැකි වනු ඇත. ඒවා පැළඳීම නතර කිරීම විශාල සහනයක් වන නමුත් රාත්‍රියට ඉටිපන්දම් පත්තු කිරීමේ පුරුද්ද පවත්වාගෙන යාමට ඉඩ ඇත.