බාල ගල් අඟුරු සිද්ධිය: බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙති

කුමාර ජයකොඩි

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල එම ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද (අප්‍රේල් 17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව ය.

ඔවුන් එම ධූරවලින් ඉල්ලා අස්වූයේ, නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හරහා රජයට රුපියල් මිලියන 2237.7ක අලාභයක් සිදුව ඇති බවට විගණන වාර්තා මගින් ද සනාථ කර ඇති පසුබිමක ය.

එම චෝදනා හේතුවෙන්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමති ධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විවේචන එල්ල කළේ ය.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 'ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින්' ඔවුන් ඉල්ලා අස්වූ බව ය

කුමාර ජයකොඩි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබිණි.

ලිපිය

විගණන වාර්තාවෙන් හෙළිවූ අක්‍රමිකතා

2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

'බාල ගල් අඟුරු' ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.

කුමාර ජයකොඩි සහ මහාචාර්ය උදයංග හේමපාල

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, කුමාර ජයකොඩි සහ මහාචාර්ය උදයංග හේමපාල

ජනාධිපති කොමිසමක්

'ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මගින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව කොමිෂන් සභාවක් පත්කරනු ලැබූ' බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

එම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගත්, සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න පත් කර තිබේ.

මෙම කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කරනු ලැබ ඇත.

  • ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එමගින් රජයට මූල්‍යමය හානියක් සිදුව ඇත්නම් එය තක්සේරු කිරීමත්,
  • අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්ද, නැද්ද යන වග සහ ප්‍රසම්පාදන ක්‍රියාදාමය, සැපයුම් ක්‍රියාදාමය, තත්ත්ව පරීක්ෂණ ක්‍රියාදාමය, මෙහෙයුම් ක්‍රියාදාමය සහ උපයෝගීතා ක්‍රියාදාමය ඇතුළු සමස්ථ සම්බන්ධිත ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කිරීමත්,
  • ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී විදුලි ජනන මට්ටම අපේක්ෂිත ඵලදායී ආකාරයට සිදු වී ඇත්ද, නැද්ද යන වග සොයා බැලීමත්,
  • ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කරන ලද්දේ නම් එම ගල්අඟුරු භාවිතා කර විදුලි බල උත්පාදන ක්‍රියාවලිය තුළදී නෛතික සහ මූල්‍යමය අක්‍රමිකතා/නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,
  • මෙකී ක්‍රියාදාමය තුළ සිදු කරන ලද ප්‍රකාශිත හෝ කොන්දේසි කඩ කිරීම් සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එලෙස සිදු වී ඇත්නම් එකී කඩවීම්වලට එරෙහිව ගෙවීම් අත්හිටුවීම හෝ වෙනත් හානි පූර්ණ ක්‍රියාදමයන් අනුගමනය කර ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,
  • ඉහත ආකාරයේ සිදුවීම් සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරීන්, රජයේ නිලධාරීන්, සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ නිලධාරීන් හා සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීමත්,
  • එසේ සිදුවී ඇතැයි කියන අකටයුතුකම් හෝ නීති විරෝධී ක්‍රියා අනාගතයේදී සිදුවීම වළක්වා නිසි සුපිළිපන්නභාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමත්,
  • ඉහත සඳහන් කරුණුවලට අමතරව ගල්අඟුරු ආනයනය කර විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි වාර්තා විය හැකි වෙනත් අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා සම්බන්ධව වාර්තා කිරීමත්,
  • එවැනි තත්ත්වයන් සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම වාර්තා කිරීමත්,

එම කොමිසමට පවරා තිබේ.