රිය පදවන අතරතුර මාර්ගයකදී වන අලියෙකු හමු වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මහමග ගමන් කරන අතරතුර වන අලි හමුවීම රියැදුරන්ට සහ මගීන්ට අලුත් අත්දැකීමක් නොවේ.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ එවැනි අවස්ථාවලදී වාහනවල සිටින පුද්ගලයින් වන අලින්ට ආහාර ලබා දී හෝ අලියාට ඉතා ආසන්නයෙන් ගමන් කර එම සත්වයා මගහැර යාමට උත්සහ දරන ආකාරය යි.
ඇතැම් විට ආහාර ලබා ගැනීම සඳහා වන අලි වාහන අසලට පැමිණ හොඬය වාහනය තුළට දමන ආකාරයත්, වාහන තල්ලු කර පෙරළීමට උස්තහ කරන ආකාරයත් එම දර්ශනවල නිරීක්ෂණය වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බහුලව කතරගම - බුත්තල මාර්ගයේ ද මින්නේරිය ජාතික උද්‍යානය අසල මාර්ගය සහ හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ ද මෙවැනි සිදුවීම් වාර්තා වන බව ය.
එවැනි අවස්ථාවක රියැදුරන් සහ මගීන් කළ යුත්තේ කුමක් ද? වන අලියෙකු මහමගදී හමුවුණොත් ආරක්ෂිතව කටයුතු කරන්නේ කෙසේ ද? මේ ඒ පිළිබඳ විශේෂඥයන් සහ වනජීවී නිලධාරීන් ලබා දෙන උපදෙස් කිහිපයකි.
1. වාහනය නතර කිරීම සහ පරතරය පවත්වා ගැනීම
ඔබ මහා මාර්ගයේ රිය ධාවනය කරන අවස්ථාවක වන අලියෙකු හමුවුවහොත් පළමුව කළ යුත්තේ අලියාට සමීප නොවන සේ වාහනය නතර කර ගැනීම ය.
බොහෝවිට සත්වයින් මාර්ගය දෙසට පැමිණෙන්නේ, "පාර මාරු වීමට" විය හැකි බැවින් "එම සත්වයාගේ ස්වභාවික චර්යාවට ඉඩ දී" සත්වයා එම ස්ථානයෙන් පිටව ගිය පසු නැවත ගමන් කිරීම ආරම්භ කළ යුතු බවට වනජීවී නිලධාරීහු උපදෙස් දෙති.
වන සත්වයින් මාර්ගයේ ගැවසෙන බවට සංඥා පුවරු සවිකර ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් මෙන් ම නිතර ම සත්වයෙකු බලාපොරොත්තුවෙන් සහ වේග සීමාවලට අනුගතව රිය ධාවනය කළ යුතු වේ.
2. පසුකර යාමට උත්සහ නොකරන්න
වන අලියෙකු හමුවූ අවස්ථාවක එම සත්වයා පසු කර යාමට උත්සහ නොකළ යුතු ය.
නමුත් වන අලියා මාර්ගයේ මැදට වන්නට නොව අයිනක සිටින අවස්ථාවක සත්වයාගේ චර්යාව නිරීක්ෂණය කර අනතුරුදායක නොවේ නම් ගමන් කළ හැකි වේ.
එවැනි කිසිදු අවස්ථාවකදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝගත කර ගැනීමේ අරමුණින් මෝටර් රථය නතර කිරීම හෝ සත්වයාගේ අසලට ගමන් කිරීම නොකළ යුතු ය.
නමුත් වන අලියා ආසන්නයට ගොස් "වෙට්ටු දමා" ගමන් කිරීම නොකළ යුතු බවට වන ජීවී නිලධාරීහු රියැදුරන්ට උපදෙස් ලබා දෙති.
3. සතුන්ට බාධා වන ක්‍රියාකාරකම්වලින් වැළකීම
හෝන් ගැසීම සහ හෙඩ්ලයිට් දැල්වීම සතුන්ගේ සංචරණයට බාධාවක් වන අතර, එමගින් එම සතුන් ආකර්ෂණය වී හෝ කලබලයට පත් වී ප්‍රතිචාර දක්වා වාහනයට පහර දීමට ඉඩ තිබේ.
එබැවින් එවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතු ය.
4. වාහනයෙන් ඉවතට නොබසින්න
වන අලියෙකු මාර්ගයකදී හමුවූ විට වාහනයෙන් ඉවතට බැසීම නොකළ යුතු ය. අනතුරක් සිදුවීම වළක්වා ගැනීම සඳහා සත්වයා සහ වාහනය අතර පරතරය පවත්වා ගැනීමට වාහනය පසුපසට ගැනීම වඩාත් උචිත බව වනජීවී නිලධාරීහු පවසති.
ඡායාරූප හෝ වීඩියෝගත කිරීමෙන් වැළකී තම ආරක්ෂාවට ප්‍රමුඛතාව දිය යුතු ය.
5. වන අලියෙකු වාහනය දෙසට පැමිණෙනවා නම්?
මෙවැනි අවස්ථාවක වාහනය ඉදිරිය ධාවනය නොකර ආපසු හරවා ගමන් කිරීමට උත්සහ ගැනීම වඩාත් සුදුසු වේ. වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ, එවැනි අවස්ථාවක වාහනයෙන් බැස දිවීම අනතුරුදායක විය හැකි බව ය.
6. ආහාර දීමෙන් වළකින්න
මෝටර් වාහනවල ගමන් කරන පුද්ගලයින් බොහෝ අවස්ථාවල අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දෙන්නේ වන අලින්ට ආහාර ලබා දීමට යාමෙන් බව වනජීවී නිලධාරීහු පවසති.
ඇතැම් පුද්ගලයින් එම සතුන්ගෙන් මිදීමට එලෙස ආහාර දෙන නමුත් එය ගැලවීමේ උපක්‍රමයක් නොවේ. එම අවස්ථාවලදී අලින් තවත් ආහාර ගැනීමට උත්සහ කරන අතර, එහිදී කලබලයට පත් වීමෙන් අනතුරු සිදුවන බව වනජීවී නිලධාරීහු පවසති.
එබැවින් කිසිදු අවස්ථාවක වන අලින්ට හෝ වන සතුන්ට ආහාර ලබා දීම සිදු නොකළ යුතු බව ඔවුහු අවධාරණය කරති.
නීතිමය තත්ත්වය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාර්ගවලදී වන අලි සම්බන්ධ සිදුවන සිදුවීම් දිගින් දිගට ම වාර්තා වන පසුබිමක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය.
1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව, එලෙස ආහාර ලබා දීම නොකළ යුතු ය.
ඒ පිළිබඳව එහි 52 (ආ) වගන්තියේ මෙලෙස දැක්වෙයි:
"අල්ලා ගැනීමේ කාර්යය සඳහා හෝ වෙනත් යම් කාර්යයක් සඳහා යම් සතෙකු තමාගේ දේපළක් බවට පත් කර ගැනීමට පෙළඹවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ කාර්යය සඳහා කිසි ම තැනැත්තෙකු විසින් යම් ආහාරයක්, සුවඳ වර්ගයක්, වර්ණයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ උපකරණයක් භාවිත නොකළ යුතු ය."
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ අංශය ප්‍රධානී හසිනි සරත්චන්ද්‍ර බීබීසී සිංහල සමග සඳහන් කළේ, බුත්තල - කතරගම මාර්ගයේ වන අලි ගැවසෙන ස්ථානය යාල ජාතික වනෝද්‍යානයට අයත් බැවින්, එම සතුන්ට ආහාර ලබා දෙන පුද්ගලයින්ට එම වනෝද්‍යානවලට අදාළ නීතිය යටතේ කටයුතු කරන බව ය.
ඒ අනුව, එම කොටසට පිවිසෙන සහ පිටත් වන ස්ථානවලට වනජීවී නිලධාරී යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළා ය.
ඇය පෙන්වා දුන්නේ, මහජනතාව ගන්නා අනතුරුදායක පියවර හේතුවෙන් මෙවැනි ස්ථානවලදී ජීවිත හානි මෙන් ම මෝටර් වාහනවලට සිදුවූ අනතුරු බහුල බව ය.
වන අලින්ට විවිධ පුද්ගලයින් විසින් මහා මාර්ගයේ ගමන් කරන අවස්ථාවලදී ආහාර ලබා දීම හේතුවෙන් එම සතුන් වාහන නවතා ආහාර ලබා ගැනීමට හුරු වී ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.



































