කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ' - සාක්ෂිවලින් හෙළිවූ කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ දීපිකා ඩයස්, 2014 වසරේ තමා ලංකා පොහොර සමාගමේ සාම්පාදන අංශයේ සේවය කළ බවත්, එම වකවානුවේ එහි ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බවත් පැවසීය.

'මුදල් ගෙව්වා... කාපට් ඇතිරීමක් සිද්ධ වුණේ නෑ'

පොහොර සමාගමේ ගබඩා සංකීර්ණයට කාපට් ඇතිරීම වෙනුවෙන් ලංසු කැඳවා එම කටයුත්ත සිදු කිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනයක් තෝරා ගත් බවත් සාක්ෂිකාරිය පැවසීය.

ඇය සඳහන් කළේ, නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර අවම ලංසුව යටතේ එම ආයතනය තෝරා ගත් බව ය.

ඉන් අනතුරුව 2014 වසරේ පෙබරවාරි මස 18 වන දා මීට අදාළ ගිවිසුම් අත්සන් කළ බවත්, එහිදී අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් 8,859,708/-ක් අදාළ සමාගමට ගෙවූ බවත් සඳහන් කළ සාක්ෂිකාරිය, එහෙත් මෙම ක්‍රියාවලිය හරහා කාපට් ඇතිරීමක් සිදු නොවූ බව ප්‍රකාශ කළා ය.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවති බවත් ඊට තමන් කටඋත්තරයක් ලබා දුන් බවත් ය.

එම කටඋත්තර ලබා දීමේදී ඇතැම් කාරණා සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොතිබූ බැවින් වරින්වර විත්තිකාර කුමාර ජයකොඩි හමුවී කරුණු දැනගෙන කටඋත්තරය ලබා දීමට කටයුතු කළ බවත් ඇය ප්‍රකාශ කළා ය.

මෙහිදී විනිසුරුවරයා අල්ලස් කොමිසම වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මෙම සාක්ෂිකාරියගේ සාක්ෂිවලින් අනාවරණය වුණා මෙම කාපට් ඇතිරීමේ කටයුතු සඳහා අදාළ සමාගම තෝරාගත් ප්‍රසම්පාදන කමිටුවේ විත්තිකරු ඇතුළුව සාමාජිකයින් හතර දෙනෙකු සිටි බවට. එහි සෙසු සාමාජිකයින් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් නොකළේ ඇයි?" යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, සෙසු සාමාජිකයින් මෙම කටයුතුවලට සහය වීම පමණක් සිදුකර ඇති බව ය.

ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවෙකු වශයෙන් නම්කර සිටි ලංකා පොහොර සමාගමේ මුදල් කළමනාකරු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික පී. සමරවීර සාක්ෂි දෙමින් මෙම කාපට් ඇතිරීමේ කටයුත්තට සම්බන්ධ වූ සමාගමට පොහොර සමාගම රුපියල් 8,859,708/-ක් මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබෙන බවත් එම ගෙවීම සිදුකරනු ලැබුවේ විත්තිකරු විසින් කරන ලද නිර්දේශයකට අනුව බවත් සඳහන් කළේ ය.

අදාළ මුදල ගෙවන ලෙස විත්තිකරු නිර්දේශ නොකළේ නම්, එම මුදල අදාළ සමාගමට ගෙවීමට අවකාශ නොලැබෙන බවත් සාක්ෂිකරු පැවසීය.

මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු සියල්ල සිදුවූයේ, පොහොර සමාගමේ ප්‍රසම්පාදන අංශයෙන් බවත් මෙම අත්තිකාරම් මුදල් ගෙවීම සිදු කළ ද කාපට් ඇතිරීමේ කටයුතු සිදු නොවූ බවත් සාක්ෂිකරු පැවසීය.

මේ නිසා අදාළ පෞද්ගලික සමාගම දුන් ඇපකරය පොහොර සමාගම සතු කර ගැනීමට කටයුතු කළ බව ඔහු කියා සිටියේ ය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙම ගෙවීම අනුමත කරනු ලැබුවේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා බව පිළිගත්තේ ය.

විත්තිකරු සිදු කළේ මෙම ගෙවීම නිර්දේශ කිරීම පමණක් බවත් එය අනුමත කරනු ලැබුවේ පොහොර සමාගමේ සභාපතිවරයා බවත් සාක්ෂිකරු විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

එම අවස්ථාවේදී විනිසුරුවරයා අල්ලස් කොමිසම වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, "ස්වාමීනි... මේ ගෙවීම නිර්දේශ කරලා තිබෙන්නේ විත්තිකරු විසින්. එය ගෙවීම සඳහා අනුමත කළේ සභාපතිවරයා" යනුවෙනි.

මෙම අවස්ථාවේදී ගබඩා සංකීර්ණය කාපට් කිරීමට අදාළව පොහොර සමාගම අදාළ පෞද්ගලික සමාගම සමග ඇති කර ගත් ගිවිසුමේ පිටපත පරීක්ෂාවට ලක් කළ විනිසුරුවරයා, මෙම කාපට් ඇතිරීමේ කටයුතු අවසන් කළ යුතු කාල සීමාව පිළිබඳව එහි සඳහන් කර නොමැති බව පැවසීය.

"මෙම නඩුවේ චෝදනා දෙකට ම පදනම් වී තිබෙන්නේ එම කාලසීමාව. එය ඉතා වැදගත්" මෙම චෝදනා ඔප්පු කිරීම සඳහා අදාළ කාල සීමාව පිළිබඳව අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙසත් අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව, අදාළ සමාගමට අත්තිකාරම් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුමේ සඳහනක් නොමැති බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වන දා දක්වා කල් තැබූ විනිසුරුවරයා නියෝග කළේ, එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ය.

2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.