ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ෆේස්බුක්හි නිතර සැරිසරන ඔබට කලක සිට වෙන දා නොදුටු ආකර්ෂණීය මෙන් ම සරාගී ශ්‍රී ලාංකික කතුන් නෙත නොගැටුණා විය නොහැක.

ඇතැම් විට ඔවුහු තම අඟ-පසඟ වඩාත් නිරාවරණය වන පරිදි පෙනී සිටිමින් තමන් තනිකමින්, වැන්දඹුභාවයෙන්, දික්කසාදයෙන් පීඩාවට පත්ව සිටින බව හෝ මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන අය ලෙස හුවා දක්වමින්, විශේෂයෙන් පිරිමින් පොළඹවනසුලු ප්‍රකාශ සිදු කරති.

නමුත් මේවා සැබෑ නොවන, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ, තෙවන පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබන ගිණුම්/පිටු බව ඔබට සිතුණා ද?

මෙවැනි අන්තර්ගතවලට පළ කර ඇති කමෙන්ට් දෙස බැලීමේදී පෙනී යන්නේ, ඔවුන්ට මෙම ගිණුම් සැබෑ කාන්තාවන්ට අයත් ඒවා බවට ඒත්තු ගැන්වී ඇති බව ය.

සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව විසින් මෙවැනි ෆේස්බුක් ගිණුම් 10ක් සම්බන්ධයෙන් සිදු කරන ලද 'AI profiles of women on Facebook: Identity deception, sexualised engagement, and platform accountability' නමැති නව අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ, එම ගිණුම් මගින් පෙනී සිටින කිසිදු කාන්තාවක සැබෑ කාන්තාවන් නොවන බව ය.

මෙම ගිණුම් ව්‍යාජ වුව ද ඒවා පසුපස ඇති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මෙම ජාලය නිර්මාණය කර ඇත්තේ වේගයෙන්, පුළුල්ව සහ මහා පරිමාණයෙන් පරිශීලකයින් වෙත ළඟා වී ඔවුන් සමග ව්‍යාජ සමීප සබඳතා ගොඩනගා ගෙන ඔවුන් සූදු සහ වැඩිහිටියන් සඳහා වෙන් වූ වේදිකා හෝ ප්‍රශ්නසහගත මූල්‍ය වෙබ් අඩවි වෙත යොමු කිරීමට බව ඔහු සිය අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත.

'ලංකාවේ පිරිමි ගැන හොඳට ම දැනගෙන මේක කරන්නේ'

2025 පෙබරවාරි 15 ​​සිට 2026 ජූනි 13 දක්වා කාලය තුළ සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී අදාළ ෆේස්බුක් ගිණුම් විසින් පළ කරන ලද පෝස්ට් 1,706ක් සහ අන්තර්ක්‍රියා (engagements) 890,632 පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දෙන්නේ, මෙම පෝස්ට් සියල්ල ම පාහේ පිරිමින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් "හිතාමතා ම" නිර්මාණය කරනු ලැබ ඇති ඒවා බව ය.

අධ්‍යයනයට ලක්වූ ගිණුම් 10න් 5ක් එක ම පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබන බවට නිරීක්ෂණය වුණු බවත් ඒවායේ එකිනෙකට සමාන ශීර්ෂ (captions) සහ ආසන්න වශයෙන් එක ම ආකාරයේ පොස්ට් ඇතුළුව ප්‍රබල සම්බන්ධීකරණයක ලක්ෂණ දක්නට ලැබුණු බවත් ඔහු පෙන්වා දී ඇත.

එම ගිණුම්වල ඇති කාන්තාවන්ගේ රූපවල බොහෝවිට යථාර්ථවාදී නොවන විශාල පියයුරු, අසාමාන්‍ය ලෙස ඩහදිය දමා ඇති අයුරු, කිහිලි ප්‍රදේශය ආදිය හිතාමතා ම පෙනෙන්නට සලස්වන අතර බොහෝ අවස්ථාවලදී රාගික හැඟීම් අවුලවනසුලු වචන භාවිත කරමින් ප්‍රකාශ සිදු කරන බව එම අධ්‍යයනයේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව බීබීසී සිංහල සමග සංවාදයට එක් වෙමින් ආචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම ගිණුම් විශේෂයෙන් පිරිමි ෆේස්බුක් පරිශීලකයින් ඉලක්ක කර ගන්නා බවත් ඇතැම් ගිණුම්වලට පරිශීලකයින් (followers) දස දහස් ගණනක් සම්බන්ධ වී ඇති බව ත් ය.

"මේක ආධුනික වැඩක් නෙවෙයි, මේක ප්‍රාථමික වැඩක් නෙවෙයි. මේක වෘත්තීමය වැඩක්. මේක කරන කට්ටිය මේ ගැන හදාරලා තමයි මේක කරගෙන ගිහිල්ලා තියෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

"උදාහරණයක් විදිහට ඒ අය මේ ඇවටාර්ස් හදලා තියෙන්නේ එක් ස්වරූපයකට. සෙක්ස් විකුණන්න. විවිධ ඉරියව්, ඇඳගෙන ඉන්න දේවල්, ඩහදිය, අත් උස්සලා ඉන්න එක, එහෙම නැත්නම් නැවිලා ඉන්න එක, ඇඟ නිවාරණය වන විදිහට ඇඳුම් අඳින එක. අන්න ඒ වගේ රාමුගත කිරීමක් රූපමය වශයෙන් තියෙනවා."

ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දෙන්නේ, බොහෝ අවස්ථාවලදී මෙම ගිණුම් මගින් තනිකම, දිළිඳු බව හෝ අලුත් සම්බන්ධතාවක් ඇති කර ගැනීමේ අරමුණින් පසුවන බව හුවා දක්වන බව ය.

"ඒ අය තනි වෙලා, දික්කසාද වෙලා, තනි අම්මා කෙනෙක්, පොඩි ළමයෙක් ඉන්නවා, ආදර සම්බන්ධයක් අවශ්‍ය යි, යාළුවෝ අවශ්‍ය යි, කතා කරන්න කවුරු හරි අවශ්‍ය යි සහ හමුවෙන්න අවශ්‍ය යි වගේ කතාවක් ඉදිරිපත් කරනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, මෙම ගිණුම් සමග අන්තර් ක්‍රියා කරන පුද්ගලයින්ට ඒවායේ අව්‍යාජභාවය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද ආචාර්යවරයා පැවසීය.

"මම මේ පර්යේෂණයෙන් හොයා බැලුවේ නැහැ, ඒ අය හිතනවා ද මේ ඉන්නේ ඇත්ත එක්කෙනෙක් කියලා.

"හැබැයි, එන්ගේජ්මන්ට්ස් කියවලා බලනකොට ගොඩක් දෙනෙකුගේ කතාබහෙන් මට තේරෙනවා, පුදුමයට කාරණයක් වගේ, ඒ අය ඇත්තට හිතන්නේ මේ වගේ එක්කෙනෙක් ඉන්නවා කියලා," ඔහු සඳහන් කළේ ය.

"ලාංකික පිරිමි ෆේස්බුක් ඕඩියන්ස් එක හොඳට ම දන්න එක්කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. මොක ද ඒ [ගිණුම්වල පෙන්වා ඇති කාන්තාවන්ගේ] ස්වරූපය, ඒ ඉරියව්, හමේ පාට, ඒ මුහුණුවර, ඒ ඔක්කෝ ම කරලා තියෙන්නේ ලංකාවේ ෆේස්බුක් ප්‍රජාව, විශේෂයෙන් ම පිරිමි පරිශීලිකයින් ග්‍රහණය කර ගන්න."

'මේ වගේ දෙයක් වෙනවා කියලා ඒ අයට අවබෝධයක් නැහැ. ඒක ඉතා භායනක දෙයක්'

ආචාර්ය සංජන හත්තොටුව සිය අධ්‍යයනය මගින් පෙන්වා දෙන පරිදි, මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හෝ පිටුවල සැබෑ අරමුණ පහසුවෙන් හඳුනාගත හැකි වුව ද බොහෝ දෙනෙකුට ඒවා මගහැරී යයි.

ගිණුමේ තොරතුරු (bio) ඇතුළත් කොටසේ හෝ ඒවායේ පළ කිරීම්වල පළමු කමෙන්ටුවේ සඳහන් කර ඇති කෙටි කරන ලද සබැඳි (links) ඔස්සේ ඔවුන් පරිශීලකයින් වෙනත් වේදිකා වෙත රැගෙන යන බව එහි දක්වා තිබේ.

"මෙම සබැඳි බොහෝවිට විශාල පරිමාණයේ නිරීක්ෂණ සහ පරීක්ෂණවලට හසු නොවන අතර, පරිශීලකයන් වැඩිහිටි සංවාද (adult chat) සේවා, ඔන්ලයින් සූදු වෙබ් අඩවි, ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා සහ දැන්වීම් ආදායම් උපයන වෙනත් වෙබ් අඩවි වෙත යොමු කරයි," යනුවෙන් අධ්‍යයනය පෙන්වා දී ඇත.

ඇතැම් අවස්ථාවලදී අසභ්‍ය අනතර්ගත ඇති වට්ස්ඇප් සමූහ වෙත ද එම සබැඳි පරිශීලකයින් යොමු කරන බව ආචාර්යවරයා සඳහන් කරයි.

"හැබැයි මේ අය හැමවෙලේ ම එහෙම ලින්ක්ස් දාන්නේ නැහැ. එයාල ඇඳගෙන ඉන්න ඒවා, කොහේ ද යන්නේ, කොහේ ද ඉන්නේ, මොනවා ද කන්නේ, මොනවා ද බොන්නේ, ගෙදර ඉඳන් කාමරේ ඉඳන්, කුස්සියේ ඉඳන්, වත්තේ ඉඳන්, බස් එකක ඉඳන්, ගම්වල ඉඳන්, නගරයේ ඉඳන් දේවල් ඉදිරිපත් කරනවා," ඔහු පැවසීය.

ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ, මේවාට රැවටෙන පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව ය.

"ඒ අයට අවබෝධයක් නැහැ, මේ වගේ දෙයක් වෙනවා කියලා. ඒක ඉතා භායනක දෙයක්," ඔහු අනතුරු ඇඟවීය.

අවදානම කුමක් ද?

මෙහිදී අධ්‍යයනය කළ දත්ත මගින් මෙම ෆෙස්බුක් ගිණුම් හෝ පිටු ඔස්සේ දේශපාලනික බලපෑමක් සිදු කරන බවට පිළිබිඹු වූ සාක්ෂි සීමත නමුත් මෙම ජාලය අරමුණු කිහිපයක් සඳහා භාවිත කළ හැකි (dual-use) ස්වභාවයක් ගන්නා බව පෙන්වා දී තිබේ.

"මේකේ දේශපාලන පැතිකඩක් දැනට නැති වුණත්, මම මේ අධ්‍යයනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ, මැතිවරණ කාලවකවානුවක් තුළ මේක යටිතල පහසුකමක් වෙන්න පුළුවන්, ඒ කාලයේදී දුස්-තොරතුරු ව්‍යාපාරයක් කරගෙන යන්න," ආචාර්ය සංජන හත්තොටුව ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් පැවසීය.

ඊට හේතුව, මෙවැනි දේශපාලන බලපෑම් ව්‍යාපාරයකට අවශ්‍ය වන ප්‍රධාන අංග වන දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රේක්ෂක පිරිසක්, දැනටමත් විශ්වාසය දිනාගෙන ඇති අන්තර්ජාල චරිත (personas), සහ සැබෑ මූලාශ්‍රය හෝ මෙහෙයවන්නන් හඳුනාගත නොහැකි තත්ත්වයක් මෙම ජාලය තුළ දැනටමත් පවතින බැවින් බව අධ්‍යයනය මගින් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී මේවායේ ගොදුරු බවට පත්වන පුද්ගලයින්ට තම මුදල්, පෞද්ගලික දත්ත හෝ තොරතුරු, බ්ලැක්මේල්වලට නතු වීම් හෝ සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටලු ඇති වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පැවසීය.

"ඒ ඇරෙන්න, ෆොටෝස් එහෙම හුවමාරු කර ගන්න පටන්ගත්තොත්, අපි දන්නේ නැහැ කොහාට ද ඒවා යන්නේ කියලා. එහෙම වුණොත් ඉදිරියේදී ඉතා අවදානම් තත්ත්වවලට මුහුණ දෙන්න වේවි," ආචාර්යවරයා අනතුරු ඇඟවීය.

'අතිසූක්ෂම ජාලයක්'

ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් අවකාශයේ දක්නට ලැබෙන කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම ගිණුම් හෝ පිටු "අතිසූක්ෂම ජාලයක් මගින් මෙහෙයවන්නක් බව ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දෙයි.

ඔහු සිය අධ්‍යයන මගින් අවධාරණය කර ඇත්තේ, මෙම ගිණුම් කිසිවක් මගින් ෆේස්බුක් මාර්ගෝපදේශ හෝ නීති-රීති උල්ලංඝනය නොවන අතර ඒ වෙනුවට, ඒවා සියල්ල ම ෆේස්බුක් වේදිකාව විසින් ම සපයනු ලබන පහසුකම් සහ විශේෂාංග දක්ෂ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන බව ය.

එසේ ම, ෆේස්බුක්හි සාමාන්‍ය පරිශීලකයෙකුට මෙම වංචාව හඳුනා ගැනීමට කිසිදු ප්‍රයෝගික අවස්ථාවක් ලබා නොදෙන බව ද ඔහු පෙන්වා දී ඇත.

එවැනි පසුබිමක ෆේස්බුක් සමාගමට මේ සඳහා පිළිතුරු ලබා දීමට "වගවීමක් සහ වගකීමක්" ඇති බව ඔහු බීබීසී සිංහල සමග සිදු කළ සංවාදයේදී තවදුරටත් අවධාරණය කළේ ය.

ආචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙය ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක ජාලයක් නොවන බව ය.

"මේක ශෙයාඩ් ටෙම්ප්ලේට් එකක් අනෙක් කලාපවලත් මේක තියෙනවා. එක්කෝ මේක ජාත්‍යන්තර ජාවාරමක් වෙන්න පුළුවන්. අපරාධ ජාලයක් වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ. හැබැයි මේක අතිවිශාල ප්‍රශ්නයක් ෆේස්බුක් එකට," ඔහු පැවසීය.

ඔහු සිය අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත්තේ, ස්පාඤ්ඤ, ඉතාලි සහ මලයාලම් භාෂාවලින් ක්‍රියාත්මක වන ගිණුම් ද එම ආකෘතිය ම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාලයට සාපේක්ෂව තුන් ගුණයකටත් වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙම ජාලය හුදෙකලා සංසිද්ධියක් නොව, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ක්‍රියාකාරී ආකෘතියක දේශීය අනුවාදයක් ලෙස සැලකිය හැකි බව ඔහු තම අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත.

"මට තේරෙන්නේ නැහැ, ෆේස්බුක් එකට ඇයි මේක හඳුනා ගන්න බැරි වුණේ කියලා. ඒක ප්‍රේහෙලිකාවක්, ප්‍රශ්නයක්," ආචාර්යවරයා සිය කණස්සල්ල පළ කරමින් බීබීසීය සමග පැවසීය.

මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.

ඔහු අනතුරු අඟවන්නේ, මෙය ගෝලීය ප්‍රවණතාවක් වන අතර "ලිංගික නිරූපණය" අතිශය වැදගත් බවත් මෙහි ඇති "උගුල" එය බව ත් ය.