නිහඬ ආසාදන: සමට සම ස්පර්ශයෙන් ඔබට වැළඳිය හැකි ලිංගාශ්‍රිත රෝග 3ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඔබත් බොහෝවිට තම සහකරුගෙන් හෝ සහකාරියගෙන් පිට වෙනත් අයවළුන් සමග ලිංගික සබඳතා පවත්වා තිබේ ද? එවැනි ලිංගික එක්වීමකදී ඔබ ඇතැම් විට කොන්ඩමයක් භාවිත කළා විය හැකි යි. ඒ කෙසේ වෙතත්, සමට සම ස්පර්ශ වීමෙන් වුව ද ආසාදනය විය හැකි ලිංගාශ්‍රිත රෝග 3ක් ඇති බව ඔබ දන්නවා ද?
එනම්, ලිංගික හර්පීස්, Human papillomavirus (HPV) නිසා ඇති වන ලිංගික ඉන්නන් සහ සිපිලීස්වලින් ඇති වන තුවාල ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව සමට ස්පර්ශ වීම තුළින් සිපිලීස් ද සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබේ.
ලිංගික සෞඛ්‍ය සහ HIV පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය බීබීසී සිංහල වෙත පැවසුවේ, ලිංගික සංසර්ගයන් හෝ ලිංගික තරල ස්පර්ශ වීමෙන් තොරව ඇතැම් ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන් ආසාදනය විය හැකි බව ය.
HIV ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා කොන්ඩම්වලින් 100%කට ආසන්න ආරක්ෂාවක් ලබා දිය හැකි ය. එහෙත්, කොන්ඩමයක් භාවිත කළ ද සමට සම ස්පර්ශ වීමෙන් ආසාදනය හැකි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ මේ තොරතුරු ගැන ඔබ දැන සිටියා ද?
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් යනු ප්‍රධාන වශයෙන් ම ලිංගික සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වන රෝගයකි. එය මුඛ සංසර්ගය, යෝනි සංසර්ගය හෝ ගුද සංසර්ගය හේතුවෙන් ඇති විය හැකි ය.
"හැබැයි අපි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් කියලා හැඳින්වූවාට මේ රෝග ගොඩක් ඒවා 100%ක් ම ලිංගිකව ම සම්ප්‍රේෂණය වෙනවා කියන්න බැහැ. ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවා වැඩි පිරිසකට. හැබැයි සමහරක් වෙලාවට මේ රෝග රුධිරය හරහා සම්ප්‍රේෂණය වෙනවා. සමහර රෝගී මව්වරු කිරි දීම හරහා සම්ප්‍රේෂණය වෙනවා. සම්ප්‍රේෂණය ඒ වගේ විවිධාකාර විදිහට සිද්ධ වෙනවා. හැබයි ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ ලිංගික සම්බන්ධතාවකින්."
කොන්ඩම්වලින් කොපමණ ආරක්ෂාවක් ලැබෙනවා ද?
සමට සම ස්පර්ෂයෙන් ඇති වන රෝග ලෙස ප්‍රධාන වශයෙන් සලකනු ලබන්නේ, ලිංගික හර්පීස්, ලිංගික ඉන්නන්, සිපිලීස් වැනි රෝගය.
ලිංගික සෞඛ්‍ය සහ HIV පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පැවසුවේ, සෑම ලිංගික සම්ප්‍රේෂණ රෝගයකට ම කොන්ඩම්වලින් වැඩි ආරක්ෂාවක් ලැබෙන බව ය. "සමහර රෝගවලට ඇත්තට ම සියයට සීයයකට කිට්ටු වෙන්න ආරක්ෂාවක් ලැබෙනවා. සමෙන් යන්න පුළුවන් රෝග ගත්තොත් ඇත්තට ම කොන්ඩම් භාවිතය තුළින් ඒ රෝගවලටත් 75%- 80%ක් වගේ සෑහෙන ආරක්ෂාවක් තියෙනවා."
විශේෂයෙන් ම අනාරක්ෂිත ලිංගික සබඳතා තුළින්, කොන්ඩම් එකක් පාවිච්චි නොකළොත් මේ රෝගවලට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව ඉතා ම වැඩි යි. නමුත් කොන්ඩම් එකක් නිවැරදිව තමන්ගේ ලිංගික ක්‍රියාවලියේ මුල සිට අගට ම හැම ක්‍රියාවලියකදී ම , මුඛ සංසර්ගය, යෝනි සංසර්ගය, ගුද සංසර්ගය යන සෑම ක්‍රියාවලියකදී ම නිවැරදිව කොන්ඩම් එක පාවිච්චි කරලා නිවැරදිව ගැලෙව්වොත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වෙන්න තියෙන හැකියාව ඉතා ම වැඩි යි."
"75%- 80%ක් වගේ කොන්ඩම් එකකින් ආරක්ෂා වෙනවා. කොන්ඩම් එක භාවිත කිරීම තුළින් සෑහෙන ආරක්ෂාව ලැබෙනවා. සමට සම ස්පර්ශවීමෙන් ඇතිවන රෝගවලින් පවා," ඇය සඳහන් කළා ය.
'කොන්ඩම් එක ගැලවීමත් නිවැරදිව කරන්න ඕනේ'
HIV, කැලැමීඩියා, ගොනෝරියා, වැනි රෝග ප්‍රධාන වශයෙන් ලිංගික තරල හරහා ආසාදනය වේ.
කොන්ඩමය නිවැරදිව ගැලවීමට නොහැකි වුවහොත් එම තරලයන් ලිංගික අවයවල ගෑවීමෙන් ආසාදනයන් ඇති වීමේ හැකියාව පවතී. "හැකියාවක් තියෙනවා රෝග තත්ත්වය අනෙක් කෙනාට ආසාදනය වෙන්න. කොන්ඩම් එක ගැලවීම කියන එකත් නිවැරදිව කළ යුතු යි," විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.
'ප්‍රධාන රෝගකාරකවලට වැඩි පිරිසකට රෝග ලක්ෂණ නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන්නේ, ලිංගිකව සම්ප්‍රේෂණය වන ඇතැම් රෝග සම්බන්ධයෙක් ඇතැමුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ය. "HIV ගත්තොත් අවුරුදු 8 - 10ක් විතර යනවා, රෝග ලක්ෂණ මතු වෙන්න. අනිත් ඒවා ගත්තොත් මුල් ජීවිත කාලයට ම රෝග ලක්ෂණ නැහැ. එතකොට ඉතින් පරීක්ෂාවකට යොමුවීමෙන් විතර යි, සමහර වෙලාවට ලිංගිකව සම්ප්‍රේෂණය රෝගයක් තියෙනව ද කියලා බලා ගන්න පුළුවන් වෙන්න."
ලිංගාශ්‍රිත රෝගයකදී ඇති විය හැකි රෝග ලක්ෂණ:
- පිරිමි පුද්ගලයින්ට - මුත්‍රා මාර්ගයෙන් සැරව හෝ කිරි පැහැති දියරයක් පිටවීම
- මුත්‍රා මාර්ගයෙන් වෙනස් ලෙස දියරමය ස්වභාවයෙන් ලිංගික ශ්‍රාවයන් පිටවීම
- මුත්‍රා දැවිල්ල
- තියුණු වේදනාවක් ඇතිවීම
- ලිංගික ප්‍රදේශයේ තුවාල
- ලිංගික ප්‍රදේශයේ ඉන්නන්
- වෘෂණ කෝෂවල වේදනාව
- ලිංගික ප්‍රදේශ හා ගුදය ආශ්රිත ප්‍රදේශවල කැසීම
යෝනි ශ්‍රාවයන් පිටවීම කාන්තාවන් තුළ සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඔසප් වීමට ආසන්න වීමේදී හෝ ඩිම්බ පිටවන කාලසීමාව තුළ මෙම ශ්‍රාවයන් වැඩි විය හැකි ය.
"කාන්තාවන්ට අන් අයට වඩා ශ්‍රාවයන් පිටවීම වැඩි වෙන්න පුළුවන්, කැසිල්ලක්, යටි බඩේ කැක්කුම, ඔසප් චක්‍රය ක්‍රමවත් නොවීම වෙන්න පුළුවන්. දුර්ගන්දයක් ඇතිවීම, තුවාල, ලිංගික ඉන්නෝ කියන එවා පිරිමි ගැහැනු කියලා වෙනසක් නැහැ."
"සමහර ඒවා මුළු ජීවිත කාලයට ම රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක පරීක්ෂණයක් කිරීම තුළින් හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා," විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.
"සමහර පරීක්ෂණ තියෙනවා. රුධිරයේ හෝ සිරුරේ ආසාදන තියෙනවා කියලා හඳුන ගන්න යම්කිසි කාලයක් යනවා. අපි කියනවා වින්ඩෝ පීරියඩ් එකක් කියලා. ඇඟට ආසාදනය ආවට පරීක්ෂණයකින් අහු වෙන්නේ නැහැ. මේක ආසාදනයෙන් ආසාදනයට වෙනස්."
විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළේ, ඇතැම් ආසාදන සිරුරට ආසාදනය වී ඇත්දැයි, අනාරක්ෂිත ලිංගික සබඳතාවකින් පසු ක්ෂණිකව දැන ගැනීමට නොහැකි බව ය. "ඒක වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ, මොන ටෙස්ට් එක ද, කොපමණ කාලයකින් ද කරන්නේ. ටෙස්ට් එක පොසිටිව් නොවුණට එයාගෙන් වෙන කෙනෙකුට රෝගය ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්."
"වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වලා, විශේෂයෙන් ම අනාරක්ෂිතව එයාට අවදානමක් තිබිලා, ගෙදර තමන්ගේ බිරිඳ, ස්වාමි පුරුෂයා එක්ක සම්බන්ධයක් තිබුණොත් ගෙදර ඉන්න කෙනාට අනිවාර්යෙන් ම අවදානමක් තියෙනවා මයි. HIV නම් අවදානම් තත්ත්ව ඇති වෙලා සමහර වෙලාවට දරුවන්ට පවා HIV ගිය අවස්ථා තියෙනවා."
"HIV වලට නම් ඇත්තටම කොන්ඩම් එකක් නිවැරදිව පාවිච්චි කලොත් යන්න තියෙන චාන්ස් එක ඉතාම අවමයි. සියයට 99.9%ක්ම වගේ කොන්ඩම් වලින් HIV වලින් ආරක්ෂා කරනවා. සමෙන් යන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. අපිට කියන්න බැහැනේ ගෙදර ඇවිල්ලා, කොන්ඩම් එකක් දාලා තමන්ගේ සහකාරිය හෝ සහකරු එක්ක ඉන්න කියලා. තමන් දැන ගන්න ඕනේ අනාරක්ෂිත වුණා නම් අනිවාර්යයෙන් ම ඒ කාලසීමාව පහු වෙනකල් ඉඳලා ටෙස්ට් කරනකම්, ගෙදර ඉන්න කෙනා එක්ක අනාරක්ෂිත සම්බන්ධතාවලට නොයනවා නම් හොඳ යි."
"හරියට ම කොන්ඩම් එකක් නිවැරදිව පාවිච්චි කළා නම් එහෙම යන්න තියෙන අවදානම ඉතා ම අඩු යි."
"හොඳ ම දේ තමා තමාගේ සහකරු හෝ සහකාරිය එක්ක විශ්වාසවන්තව ඒ සම්බන්ධතාව රැකගෙන ඉන්න එක."
කොන්ඩමයක් නිවැරදිව පාවිච්චි කිරීමෙන් නිවසේ සිටින භාර්යාව හෝ ස්වාමිපුර්ෂයා හෝ සහකාරිය හෝ සහකරුද ආරක්ෂා වනු ඇත.
"ඒ හින්දා කොන්ඩම් එක කියන්නේ තමන්ව ආරක්ෂා කරන ඖෂධයක් වගේ තමයි."
"කොන්ඩම් එකක් පාවිච්චි කළොත් ලිංගාශ්‍රිත රෝගයකට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව ඉතා ම අවමයි. ඒකෙන් තමාගේ ගෙදර ඉන්න භාර්යාව හෝ ස්වාමි පුරුෂයා හෝ සහකාරිය ආරක්ෂා වෙනවා. ඒ හින්දා කොන්ඩම් එක කියන්නේ තමන්ව ආරක්ෂා කරන ඇත්තට ම ඖෂධයක් වගේ තමයි."
ආසාදිතයෙකු නිවස තුළ සිටිය ද සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමෙන් වෙනත් අයෙකුට කිසිදු රෝගයක් ආසාදනය නොවන බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
"කිසි ම ලිංගික ඇසුරක් තිබුණේ නැත්නම් එහෙම රෝගයක් බෝවෙන්න විදිහක් නැහැ. නමුත් රුධිරයෙන් එහෙම යන්න පුළුවන් ලිංගික සම්බන්ධතාවක් තිබුණේ නැතත්. හැබැයි තියෙන කෙනෙක්ගේ රුධිරය වෙන ක්‍රමවලින් යන්න පුළුවන්. එක ම සිරින්ජරය භාවිත කරමින් මත්ද්‍රව්‍ය එන්නත් කිරීම වගේ ක්‍රියා තුළින්. ඒවගේ ම මවකගෙන් දරුවාට යන්න පුළුවන්, ලිංගික සම්ප්‍රේෂණයෙන් නෙමෙයි නමුත් යන්න පුළුවන් ක්‍රම තියෙනවා."
නිහඬ ම ලිංගාශ්‍රිත රෝගය
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිරුර තුළ නිහඬව තිබිය හැකි ලිංගාශ්‍රිත රෝගය ලෙස සැලකෙන්නේ ලිංගික හර්පීස් ය.
"ලිංගික හර්පීස් තියෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයට ම එක ම තුවාලයක්වත් එන්නේ නැතිව. ලිංගික ඉන්නනුත් සමහර වෙලාට එහෙම තියෙන්න පුළුවන්. සිපිලීස් වගේ රෝගයක් වුණාත් එහෙම තියෙන්න පුළුවන්. HIV නම් කාලයකින් එනවා. ක්ලැමීඩියා, ගොනෝරියා කියන එක ජීවිත කාලය පුරා තියෙන්න චාන්ස් එකක් නැහැ. සංකූලතා නිසා රෝග ලක්ෂණ එන්න පුළුවන්," විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළා ය.
"නිහඬව ම හර්පීස් තියෙන්න පුළුවන්. එයා අනෙක් කෙනාට බෝ කරනවා නමුත් එයාට මුකුත් ප්‍රශ්නයක් නැහැ."
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා වයස අවුරුදු 15–49 (13%) අතර පුද්ගලයින් මිලියන 520 ක් පමණ හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 2 (HSV-2) ආසාදනයෙන් පෙළෙන අතර එය ලිංගික හර්පීස් සඳහා ප්‍රධාන හේතුව යි.
ලොව පුරා වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින් බිලියන 3.8ක් (64%) හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 1 (HSV-1) ආසාදනයෙන් පෙළෙන අතර එය මුඛ හර්පීස් සඳහා ප්‍රධාන හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලිංගික හර්පීස් තවත් අයෙකුට ආසාදනය විය හැක්කේ, ලිංගික ඇසුරකින් පමණි.
පිළිගත් වෛද්‍යවරයෙකු වෙත හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වෙත හෝ රජයේ සායනයකට යොමු වීම තුළින් ලිංගික ආසාදනයක් ඇති දැයි නොමිලේ ම සැකහැර දැන ගැනීමේ හැකියාව පවතී.
"වැදගත් වෙන්නේ, අපි අහනවා ඒයාගේ ඉතිහාසය, ඒ අනුව තමා අපි තීරණය කරන්නෙ මොන ටෙස්ට් එක ද කරන්නේ කියලා. අපි මේ ටෙස්ට් එක කවදා ද කරන්න ඕනේ, කොන්ඩම් පාවිච්චි කරලා නම් සමහර ටෙස්ට් කරන්න ඕනෙ නැහැ. ඒ අනුව අදාළ පරීක්ෂණ ටික කරලා සැක හැරලා දැන ගන්න පුළුවන් තමනට ලෙඩක් තියෙනවද නැද්ද කියලා."
"හැබැයි හැම වෛද්‍යවරයෙකුට ම මේක නිශ්චය කරන්න අපහසු යි. මොන ටෙස්ට් එක ද කරන්නේ, කවද ද කරන්නේ, ආයිත් රිපීට් කරන්න ඕනේ ද? වගේ දේවල්"
පරීක්ෂණ මොනවා ද?
ලිංගාශ්‍රිත රෝග සඳහා කරනු ලබන පරීක්ෂණ වර්ග ගණනාවක් තිබේ.
- රුධිර පරීක්ෂණ
- කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් සාම්පල ලබා ගැනීමෙන් කරන අන්වීක්ෂ පරීක්ෂණ
- මුත්‍රා මාර්ගයෙන් ලබා ගන්නා සාම්පල් මගින් කරන පරීක්ෂණ
- කල්චර් පරීක්ෂණ
- PCR පරීක්ෂණ.
"ලිංගික ප්‍රදේශයෙන් සාම්පල් අරන් කරනවා. රුධිරයෙන් සාම්පල් අරන් කරනවා. මුඛ සංසර්ගයක් නම් අපි උගුරෙන් සාම්පල් අර ගන්නවා. ගුද සංසර්ගය කරලා තියෙනවා නම් ගුද මාර්ගය ආශ්‍රිතවත් සාම්පල් අරන් පරීක්ෂණ කරනවා," යැයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් පවත්වා ගෙන යන සායන දිවයින පුරා ම ක්‍රියාත්මක වේ.
මෙරට තුළ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යි.
"කොළඹ ඇතුළුව රජයේ සායන 40ක් තියෙනවා. ඕනෑ ම කෙනෙක්ට ඕනෑ ම වෙලාවකට අපේ සායන කරා යොමු වෙන්න පුළුවන්. වෝක් ඉන් ක්ලිනික්ස් කියලා කියන්නේ, සතියේ දිනවල උදේ 8 ඉඳලා සවස 4 වෙනකන් විවෘත යි. සෙනසුරාදා උදේ 8 ඉදන් 12 වෙනකන් ප්‍රතිකාර කරනවා."
ඇතැම් සායන ඉරිදා දිනවලත් විවෘතව ඇත.
"තමන්ට ඕන වෙලාවක මේ සායනවලට එන්න පුළුවන්. නමුත් කලින් පැමිණිම සුදුසු වෙනවා. එදින ම සාම්පල් අරගෙන ටෙස්ට් ටික කරනවා. සමහර ප්‍රතිඵල එවෙලේ ම කියනවා. අපි ලැබ්, ෆාමසි එකිනෙක සම්බන්ධ කරලා තියෙනනවා. දිනය නිමා වන අන්තිම මොහොතේ එන්නේ නැතිව, කලින් ආවා නම් ටෙස්ට් ටික කරගෙන නොමිලේ ම ප්‍රතිකාර අරගෙන, ඉන්ෂක්ෂන් ඕන නම් එන්නත් අරගෙනත් යන්න පුළුවන්."
'HIVවලටත් දැන් මාරක තර්ජනයක් නැහැ'
"මේ කිසි ම රෝගයකට මාරක තර්ජනයක් නැහැ. HIV වලටත් දැන් මාරක තර්ජනයක් නැහැ. දැන් හොඳට ම ප්‍රතිකාර තියෙනවා," විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.
"භයානක කියලා රෝගයක් නැහැ. නමුත් සමාජීය ගැටලුවලට සමහර රෝගීන් මුහුණ දෙනවා. එක එක රෝගියා මේ රෝගවලට මුහුණ දෙන ආකාරය වෙනස්."


































