මුල්ලිවයික්කාල් ස්මරණය ගැන විජෙයිගේ X සටහන නිසා ආන්දෝලනයක් ඇතිව තිබෙන්නේ ඇයි?

TVK නායක තමිල්නාඩු මහ ඇමති විජෙයි සහ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි

ඡායාරූප මූලාශ්‍රය, Getty Image

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

දශක තුනකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 17ක් ගත වී තිබේ. යුද්ධයෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන්වූවන් සිහි කිරීම සඳහා වන සැමරුම් රටේ විවිධ ප්‍රදේශවල සිදුකෙරිණි.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ජෝසෆ් විජෙයි, මුල්ලිවයික්කාල්හිදී සිදු කෙරෙන අනුස්මරණය සම්බන්ධයෙන් තබන ලද X සටහන පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

"මුල්ලිවයික්කාල්හි මතකයන් තවමත් අපේ හදවත් තුළ තියෙනවා! මුහුදෙන් එතෙර ජීවත් වන අපගේ දමිළ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිට ම සහය පළ කරනවා!" යනුවෙන් තමිල්නාඩු මහ ඇමතිවරයාගේ පක්ෂයේ TVK Vijay යන X ගිණුමේ සඳහන් කර තිබිණි.

තමිල්නාඩු මහ ඇමති සිය X ගිණුමේ තබා ඇති සටහන

ඡායාරූප මූලාශ්‍රය, X

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මුල්ලිවයික්කාල්හි මතකයන් තවමත් අපේ හදවත් තුළ තියෙනවා!' - ජෝසෆ් විජෙයි තැබූ X සටහන

ඇතැම් පරිශීලකයින් ඊට තම විරෝධය පළ කර තිබුණු අතර තවත් පිරිසක් යුද්ධයෙන් දිවි අහිමි වූ දමිළ ජනතාව සිහි කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි.

"අරගලය ඔවුන්ගේ ජීවිතය කර ගත් සහ ඒ වෙනුවන් සිය ජීවිතය සහ හුස්ම හෙළන ලද අපගේ ම අයට ආචාරය පුදකරනවා," එක් පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

විජෙයිගේ සටහනට ශ්‍රී ලංකාවේ විරෝධය

තමිල්නාඩු මහ ඇමති විජෙයි විසින් මුල්ලිවයික්කාල් අනුස්මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ශ්‍රී ලංකාව තුළ ද දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

ඊට ප්‍රතිචාර දක්වමින් එක් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, විජෙයි සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා කැඳවිය යුතු බව ය.

"විජෙයිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැඳවිය යුතුයි. ප්‍රභාකරන් යනු බොහෝ දෙමළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අන්තවාදී නායකයෙක්. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අතිමහත් දුක් වේදනාවලට වගකිව යුතු අයෙක්. එල්ටීටීඊය මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ළමා සොල්දාදුවන් යොදා ගත්තා. බොහෝ රටවල ඔවුන්ව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා," එහි සඳහන් විය.

විජෙයි සහ ශ්‍රී ලංකාව

තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජෙයි සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධය තරමක් ඈතට දිව යයි. විජෙයිගේ පියාගේ පාර්ශවයේ ඥාතීන් මෙරට උතුරු පළාතේ ජීවත්ව සිට ඇති අතර පසුව ඔවුන් ඉන්දියාවට සංක්‍රමණය වී තිබේ. එමෙන් ම විජෙයි පළමුව විවාහ වී සිටි සංගීතා සෝර්නලිංගම්ගේ මව්පියන් ද ශ්‍රී ලංකාවට සම්බන්ධ වූවෝ වෙති.

2008 - 2009 කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අතරතුර විජෙයි ඉන්දියාවේ විරෝධතා සංවිධානය කිරීමට මෙන් ම ඒවාට ක්‍රියාකාරීව සම්බන්ධ විය.

ශ්‍රී ලංකාවේ යුද ගැටුම්වලට එරෙහිව උපවාස කළ විජෙයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත්වීමට පෙර සිට ම විජෙයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ඇතැම් ප්‍රකාශ පිළිබඳව මෙරට දේශපාලන වේදිකාවල මෙන් ම සමාජ මාධ්‍යවල ද කතාබහට ලක් විය.

ඉන් පළමු වැන්න, කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගත යුතු බවට විජෙයි සිදු කළ ප්‍රකාශය යි.

කෙසේ වෙතත්, විජෙයි ශ්‍රී ලංකාව පිළිබඳව සිදු කළ පළමු මතභේදාත්මක ප්‍රකාශය එය නොවේ.

2008 වසරේදී උතුරේ යුද ගැටුම්වලට එරෙහිව තමිල්නාඩුවේ පැවති උපවාසයකට විජෙයි ඔහුගේ එවකට බිරිඳ වූ සංගීතා සමග සම්බන්ධ විය. මෙම විරෝධතාවට කොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පීන් පිරිසක් මෙන් ම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී විජෙයි පැවසුවේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබූ "යුද ගැටුම්වලින් සහ දෙමළ ජනතාව සංහාරයකට ලක්වන බවත් එය නැවැත්වීම සඳහා වහා ම පියවර ගත යුතු බවත්" ය.

"ඊලාම් දෙමළ ජනතාව ඉන්න හිටින්න තැනක්, අඳින්න ඇඳුම් සහ කෑම නැතුව අමාරුවෙන් ඉන්නවා," ඔහු රැස්ව සිටි විරෝධතාකරුවන් වෙත පැවසීය. "මේ වෙලාවේ, අපිට එක දවසක්වත් කෑම නැතුව ඉන්න බැරි ද? මේ උපවාස විරෝධතාවට හේතුව ඒකයි."

"මගේ රසිකයිනි, මට කැමති ඕනෑ ම කෙනෙකුගෙන්, මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ඊලාම් යුද්ධය අවසන් වෙන්න ඕන, දෙමළ ජනතාවට ආරක්ෂිතව ජීවත් වෙන්න භූමියක් තියෙන්න ඕන. කරුණාකරලා ඉන්දීය අගමැතිතුමාට මේ ගැන දැනුම් දීලා ලියුම් ලියන්න. ඉදිරි පැය 24 තුළ, ඔබ කොච්චර ලියුම් ලිව්වත්, අවම වශයෙන් ලියුම් කෝටියක්වත් ඔහු වෙත ඒ ලිපි ළඟා වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා."

"ඊලාම් දෙමළ ජනතාවට නිදහස උදා වේවා. මෙම ආයාචනය මගේ රසිකයන්ගෙන් විතරක් නෙමෙයි ඉන් ඔබ්බට සිදු කරනවා. තමන් තුළ දෙමළ අනන්‍යතාව තියෙන ඕනෑ ම කෙනෙකුට කරන අවංක ආයාචනයක්." විජෙයි තවදුරටත් පැවසුවේය.

ඊට සමගාමීව තමිල්නාඩුවේ ස්ථාන 37ක විජෙයිගේ රසිකයින් විරෝධතා සංවිධානය කර තිබිණි. මෙම විරෝධතාවලට ඔහුගේ මව වන ශෝබා චන්ද්‍රසේකර් ද එක් විය.

"ශ්‍රී ලංකාවේ දුක් විඳින දෙමළ ජනතාවට මගේ සහයෝගය දක්වන එක මගේ මේ උත්සහයයි. මම සතුටු වෙනවා, ඒ වගේ උද්ඝෝෂණයකට සහභාගි වෙන්න ලැබීම ගැන. මේ අවස්ථාව මට වරප්‍රසාදයක් ලෙස සලකනවා. අපිට ශ්‍රී ලංකාවට ගිහින් දෙමල ජනතාව වෙනුවෙන් සටන් කරන්න බැහැ. මෙම උද්ඝෝෂණ ඔවුන්ට අපගේ ශක්තිමත් සහයෝගය පෙන්වන එකේ උත්සහයක්," විජෙයි තමිල්නාඩුවේ සංවිධානය කර තිබූ තවත් එක් විරෝධතාවකට එක්වෙමින් පැවසුවේ ය.

විජෙයි සහ ඔහුගේ මව තමිල්නාඩුවේ පැවති විරෝධතා රැළියකට එක්වෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Social Media

ඡායාරූප ශීර්ෂ වැකිය, විජෙයි පැවසුවේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබූ "යුද ගැටුම්වලින් දෙමළ ජනතාව සංහාරයකට ලක්වන බවත් එය නැවැත්වීම සඳහා වහා ම පියවර ගත යුතු බවත්" ය

'ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතුරුදන් වෙයි'

මේ අතර, 2011 සහ 2014 වසරවලදී තමිල්නාඩු ධීවරයින්ට "ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදුවන ගැටලුවලට" එරෙහිව පැවති විරෝධතාවලට ද විජෙයි ඍජුව සම්බන්ධ විය.

එම විරෝධතාවකදී ඔහු පැවසුවේ, ධීවරයින්ට එරෙහි ප්‍රහාර දිගට ම පැවතුණහොත් "ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතුරුදන් වෙයි," යනුවෙනි.

"ඔබ අපගේ අසල්වැසි රට නිසා, අපි ඇත්තට ම ඉවසිලිවන්තව ඉන්න උත්සහ කරනවා. කරුණාකරලා අපිව පරීක්ෂා කරන්න එපා," විජෙයි අනතුරු අඟවමින් පැවසීය.

ඔහු තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත්වී දිනකට පසුව නැවත වරක් තමිල්නාඩු ධීවර ගැටලුව මතු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් වෙත ලිපියක් යොමු කර තිබිණි.

එහි ඔහු සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සියලු ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.

විජෙයිගේ 'සැමරීම හේතුවෙන්' කොංග්‍රසයට එල්ල වූ චෝදනාව

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

මෙවැනි පසුබිමක, භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී අමිත් මාල්වියා, විජෙයි මුල්ලිවයික්කාල් අනුස්මරණය ගැන තැබූ සටහන "එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට තමිල්නාඩු මහ ඇමතිවරයා විසින් සිදු කරන ලද උපහාරයක්" ලෙස අර්ථ දක්වමින් දක්වමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධිට චෝදනා කළේ ය.

ඒ, කොංග්‍රස් පක්ෂය TVK පක්ෂය සමග සන්ධානගත වීමට කැමැත්ත පළ කිරීමට ගත් තීරණය මුල් කර ගෙන ය.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමිත් මාල්වියා සඳහන් කර තිබුණේ, "සිය පියාගේ (රජීව් ගාන්ධි) ඝාතනයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් ඇති බව මතක තබා ගත යුතු" බව ය.

"තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට උපහාර දක්වා තිබෙනවා. ඇත්ත වශයෙන් ම, කොංග්‍රසයට බලයේ කොටසක් ලැබෙන තාක් කල්, රාහුල් ගාන්ධිට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ඇත්තට ම, DMK පක්ෂයත් එල්ටීටීඊයට සහය දුන්නා. එහෙම වෙලත් කොංග්‍රසය ඔවුන් සමග සන්ධානගත වීමට කැමති වුණා," එහි වැඩිදුරටත් සඳහන් විය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

රාහුල් ගාන්ධිගේ X සටහන

මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉන්දියාවේ 6 වන අග්‍රාමාත්‍යවරයා වූ රජීව් ගාන්ධි ඝාතනය වී මැයි 21 වන දාට වසර 35ක් සම්පූර්ණ වේ.

එය සිහිපත් කරමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සිය X ගිණුමේ මෙලෙස අදහස් දක්වා තිබිණි.

"තාත්තේ, ඔබ සිහින මැවූ දක්ෂ, සමෘද්ධිමත් සහ ශක්තිමත් ඉන්දියාවක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමේ වගකීම මම සම්පූර්ණයෙන් ම භාර ගන්නවා. ඔබගේ ඉගැන්වීම්, ඔබේ වටිනාකම් සහ ඔබේ මතකයන් සැමවිට ම මා සමග පවතිනු ඇත," එහි සඳහන් විය.

මීට ප්‍රතිචාර දක්වමින් ඇතැම් පරිශීලකයින් දෝෂාරෝපණය කර තිබිණි.

ඒ, ඒ එල්.ටී.ටී.ඊ. නායක "වේළුපිල්ලේ ප්‍රභාකරන් සමරන තමිල්නාඩු මහ ඇමති විජෙයි සමග දේශපාලන සබඳතා දක්වන බවට" චෝදනා කරමිනි.

"ඉන්දියාවේ හිටපු අගමැතිට උපහාර වේවා. නමුත් ඔබ සහය දුන් රජය ඔබේ පියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රභාකරන්ට උපහාර දක්වනවා. ඔබට ඔවුන් එක්ක ඉන්න පුළුවන් වුණේ කොහොම ද?," නාතික් ගෝර් නම් එක් පරිශීලකයෙකු රාහුල් ගාන්ධි ගේ X සටහනට පිළිතුරු දෙමින් සඳහන් කර තිබිණි.

අනු දගාර් නම් වූ තවත් පරිශීලකයෙකු රාහුල් ගාන්ධිට චෝදනා එල්ල කරමින් සිය X ගිණුමේ මෙලෙස සඳහන් කර තිබිණි.

"ඔබ හොඳ වගකීමකට උරදෙනවා. ඔබ එක්ක තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ඉඳගෙන ඉන්න කෙනා, විජෙයි ජෝසෆ්, ප්‍රභාකරන්ට උපහාර දක්වනවා," එම පරිශීලකයා එහි සඳහන් කර තිබිණි.