Face ID: ඔබ මිය ගිය පසු වෙනත් පාර්ශවයකට ඔබේ ඇපල් දුරකතනය අන්ලොක් කරන්න පුළුවන් ද?

The first buyer of an iPhone X, Mazen Kourouche, takes a selfie inside an Apple showroom in Sydney on November 3, 2017. Apple iPhone X went for sale in Australia with long queues outside the Apple stores. / AFP PHOTO / SAEED KHAN (Photo credit should read SAEED KHAN/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, එය අගුළු දැමීමට ඇපල් සමාගම විසින් මීට වසර 9කට පමණ පෙර හඳුන්වා දෙන ලද Face ID නමැති පෙරළිකාර තාක්ෂණයේ සාක්ෂිකරුවෙකු වී හමාර ය.

අනෙකුත් සන්නාම යටතේ වෙළෙඳපොළේ ඇති ස්මාර්ට් ජංගම දුරකතනවල ද මීට සමාන තාක්ෂණයක් – facial recognition system – පවතී.

iPhone X මාදිලිය සමග ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොළට පැමිණි මෙම තාක්ෂණය දැන් තවත් දියුණු වී iPhone 17 දක්වා දිගු ගමනක් පැමිණ තිබේ.

ඇපල් සමාගම පවසන්නේ, අපගේ ඩිජිටල් ජීවිතය සම්බන්ධ බොහෝ තොරතුරු iPhone සහ iPad වැනි උපාංගවල ගබඩා කර ඇති අතර, එම තොරතුරු ආරක්ෂා කර ගැනීම වැදගත් බව ය.

පසුගිය දා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පසු ඔහුගේ ජංගම දුරකතනයේ අගුළු ඇරීමට විමර්ශන නිලධාරීන් උත්සහ කළ බවට මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමග Face ID පිළිබඳව ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් නිර්මාණය විය.

ඔහුගේ ජංගම දුරකතනයේ මුරපදය වශයෙන් Face ID භාවිත කර ඇති බැවින් අගුළු ඇරිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත්, ඒ හේතුවෙන් අදාළ ජංගම දුරකතනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයකට යොමු කර එහි අගුළු ඇරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව අධිකරණ වාර්තාවේ සඳහන් විය.

පුද්ගලයෙකු මිය ගිය පසු එලෙස දුරකතනයක් අගුළු ඇරිය හැකි ද? මේ, බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.

Face ID යනු කුමක් ද?

ඇපල් සමාගම Face ID තාක්‍ෂණය හඳුන්වන්නේ, ඔවුන් මෙතෙක් නිර්මාණය කර ඇති වඩාත් ම දියුණු දෘඪාංග හා මෘදුකාංගවලින් එකක් ලෙස ය.

එහිදී සිදු වන්නේ, දුරකතනයේ ඇති TrueDepth කැමරා පද්ධතිය භාවිත කර, ඔබේ මුහුණේ ජ්‍යාමිතික හැඩතල නිවැරදිව අනුරූපණය කරගෙන වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව දුරකතනයට ඇතුළු වීමට ඉඩ සැලසීම ය.

සරල බැල්මකින්, Face ID ඔබගේ iPhone හෝ iPad Pro ආරක්ෂිතව අගුළු හරින බව ඇපල් සමාගම පවසයි.

එමෙන් ම ඔබට දුරකතනය මගින් ගෙවීම් කිරීම, apps ඩවුන්ලෝඩ් කිරීම සහ වෙනත් සේවා ලබා ගැනීම වැනි බොහෝ දේ සඳහා එය භාවිත කළ හැක.

එය ක්‍රියාකරන්නේ කෙසේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇපල් සමාගම පවසන පරිදි, TrueDepth කැමරාව ඔබේ මුහුණ වෙත ඇසට නොපෙනන තිත් දහස් ගණනක් ප්‍රක්ෂේපණය සහ විශ්ලේෂණ කර නිවැරදිව මුහුණේ දත්ත ග්‍රහණය කරගෙන මුහුණේ 'depth map' එකක් නිර්මාණය කරන ගන්නා අතර ඔබේ මුහුණේ අධෝරක්ත රූපයක් (infrared image) ද ග්‍රහණය කර ගනී.

අනතුරුව ඔබේ දුරකතනයේ 'Secure Enclave' තුළ ආරක්ෂිතව ඇති 'neural engine' එක මගින් මුහුණේ depth map එක සහ අධෝරක්ත රූපය ගණිතමය නිරූපණයක් බවට පරිවර්තනය කර එම ඔබ දුරකතනයට ලබා දුන් මුහුණේ දත්ත සමග සංසන්දනය කරයි.

මෙය ඔබේ පෙනුමේ වෙනස්කම් සමග අනුවර්තනය වන බව ඇපල් සමාගම පවසයි.

එනම් ඔබ රූපලාවණ්‍ය ආලේපන භාවිත කරන්නේ නම් හෝ රැවුල වැවීම වැනි දේ සිදු කරන්නේ නම් ඒවා සමග Face ID තාක්ෂණය අනුවර්තනය වීම සිදුවේ.

යම් හෙයකින් ඔබේ පෙනුමේ සැලකිය යුතු වෙනසක් සිදුව තිබේ නම්, උදාහරණයක් ලෙස ඔබ සම්පූර්ණයෙන් රැවුල කපා ඇති අවස්ථාවක, Face ID එම නව දත්ත ලබා ගැනීමට පෙර ඔබේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඔබේ මුර කේතය (passcode) විමසයි.

ඔබ තොප්පියක්, ස්කාෆ් එකක්, උපැස් යුවළක්, අක්ෂි කාච හෝ විවිධ වර්ගයේ අව් කණ්නාඩි පැළඳ සිටිය ද එයට ඔබ හඳුනාගත හැකි වේ.

තව ද ඔබ ගෘහස්ථව, එළිමහනේ හෝ පූර්ණ අන්ධකාරයේ සිටින විට පවා ක්‍රියා කිරීමට එය නිර්මාණය කර ඇත. ඇපල් සමාගම පවසන්නේ, iPhone 12 හෝ ඊට පසුව නිකුත් කෙරුණු ඔවුන්ගේ ජංගම දුරකතන මුහුණු ආවරණ පැළඳ සිටින විට පවා ක්‍රියා කරන බව ය.

එය ආරක්‍ෂිත වන්නේ කෙසේ ද?

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම තාක්ෂණය නව තාක්ෂණයක් නොවන අතර එයට අදාළ පුද්ගලයා ජීවී තත්ත්වයේ සිටින බව ද ග්‍රහණය කර ගත හැකි බව ය.

"ජෛවමිතික දත්ත [biometrics] පාවිච්චි කරලා උපාංගයක් අන්ලොක් කරන එක තමයි තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තා ම තියෙන ආරක්‍ෂිත ම ක්‍රමය," ඔහු පැවසීය.

ඇපල් සමාගම පවසන පරිදි Face ID මගින් ලබා ගන්නා දත්ත සංකේතනය කර ආරක්ෂා කර ඇත්තේ 'Secure Enclave' සඳහා පමණක් ලබා ගත හැකි යතුරක් සමගිනි.

ඔබ මුහුණු ආවරණයක් පැළඳ හෝ නැතිව එක් මුහුණක් පමණක් දුරකතනයේ ලියාපදිංචි කර ඇති අවස්ථාවක අහඹු පුද්ගලයෙකුට ඔබගේ iPhone එක හෝ iPad Pro එක දෙස බලා Face ID භාවිතයෙන් එය අගුළු ඇරීමට ඇති හැකියාව 1,000,000න් 1 කටත් වඩා අඩු බව එම සමාගම පවසයි.

අමතර ආරක්ෂාවක් ලෙස, මුහුණ නොගැලපෙන විට Face ID භාවිත කළ හැක්කේ අවස්ථා 5කදී පමණි. ඒවා අසාර්ථක වූ විට මුරපදය ලබා දීම අවශ්‍ය වේ.

නමුත් ඔබට අතිශය සමාන පෙනුමක් ඇති නිවුන් සහෝදරයෙකු හෝ සහෝදරියක මුහුණු ආවරණයක් පැළඳ Face ID භාවිත කරන දුරකතනයේ අගුළු ඇරීමට උත්සහ කිරීමේදී එය සාර්ථක වීමට වැඩි ඉඩක් ඇති බව ඇපල් සමාගම පවසයි.

තව ද වයස අවුරුදු 13ට අඩු දරුවන් සම්බන්ධයෙන් ගත් කල ද එම ඉඩකඩ වැඩි වන්නේ, ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැති නිසා සහ ඒවා පැහැදිලිව නිරීක්ෂණය කළ නොහැකි බැවිනි.

එමෙන් ම, Face ID ඔබව හඳුනා ගැනීමට ඔබේ මුහුණෙන් 3D තොරතුරු භාවිත කරන අතර, එම ආකාරයේ තොරතුරු මුද්‍රිත ඡායාරූපවල හෝ සාමාන්‍ය 2D ඩිජිටල් පින්තූරවල නොමැති බව එම සමාගම සඳහන් කර තිබේ.

ඇපල් සමාගම පවසන්නේ, Face ID තාක්ෂණයට ඔබ අවධානයෙන් සිටින්නේ ද යන්න පවා ග්‍රහණය කර ගත හැකි බව ය.

ඔබේ ඇස් විවෘතව තිබේ නම් සහ ඔබේ අවධානය උපාංගය දෙසට යොමු වී ඇති බව Face ID තාක්ෂණයට හඳුනා ගත හැකි ය. මෙය ඔබගේ අනුදැනුමකින් තොරව (ඔබ නිදා සිටින විට වැනි) යමෙකුට ඔබගේ උපාංගය අගුළු හැරීම වඩාත් අපහසු කරයි.

අන්ලොක් කරන්න ම බැරි ද?

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ, දුරකතන නිෂ්පාදන සමාගම්වලට පවා මෙම තාක්ෂණය මග හැර යා නොහැකි බව ය.

කෙසේ වෙතත්, එය කිරීමට උත්සහ කරන ආයතන පවතින බව පැවසීය.

"සමහර වෙලාවට ඒ ආයතනයට වුණත් ඒ ඩිවයිස් එක ඕවර්රයිඩ් කරන්න අපහසු යි.

"නමුත් ඩිජිටල් ෆොරෙන්සික්ස්වල තියෙන සමහර උපකරණ පාවිච්චි කරලා ෆෝන් එකේ තියෙන ඩීටේල්ස් ලබා ගන්න පුළුවන්. ඒක රඳා පවතිනවා ඩිවයිස් එක මත, ෆෝන් එකේ මොඩ්ල් එක මත, ෆෝන් එක නිෂ්පාදනය කරපු අවුරුද්ද මත."

ඔහු පෙන්වා දුන්නේ, එය උපාංගයෙන් උපාංගයට පවා වෙනස් වන බවත්, ලබා ගත හැකි තොරතුරු ඒ අනුව වෙනස් වන බවත් ය.

"ලංකාවේ පොලිසිය ඉස්සරහට ඩිජිටල් අපරාධවලදී ඩිජිටල් ෆොරෙන්සික්ස් කියන එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය හරි උපකරණ තියෙනවා ද? ඒකට අවශ්‍ය පුහුණුව ලබපු නිලධාරීන් ඉන්නවා ද? කියන එක බලන්න ඕනේ," විශේෂඥවරයා තවදුරටත් පැවසීය.

සැකකරුගේ දුරකතනයට ප්‍රවේශ වීමට නිලධාරීන්ට ඉඩ සැලසෙන පරිදි නව මෘදුකාංගයක් ලිවීමට සමාගමට නියෝග කරමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට ඇපල් සමාගම විරුද්ධ වූ අතර, ඊශ්‍රායල් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Cellebrite මගින් එය සිදු කළ බවට වාර්තා පළ විය.

එම සමාගමේ වෙබ් අඩවියේ එවකට සඳහන් වූයේ, එහි එක් මෙවලමකට, සැකකරු භාවිත කළ බව කියන iPhone 5C මාදිලිය ඇතුළුව අගුළු දැමූ දුරකතනවලින් දත්ත ලබා ගැනීමට සහ කියවීමට හැකි වූ බව ය.

කෙසේ වෙතත්, තවත් කෙනෙකුගේ දුරකතනයකට එලෙස ඇතුළු වීම කොතෙක් දුරට සදාචාරාත්මක ද යන විවාදය ලොව ඇතැම් තැන්වල සිදුවන බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල වෙත පැවසීය.

"හරි නම් ඩිවයිස් එකක කන්සෙන්ට් එක තියෙන්නේ ඒක අයිති කෙනාට. අපි ඩිවයිස් එක ගන්නවා කැමැත්ත නැතුව. ඇක්සස් කරන්න උත්සහ කරනවා කැමැත්ත නැතුව. උදාහරණයක් විදිහට දුරකතන සමාගමකට විස්තර ගන්න බැහැ, අධිකරණ තීන්දුවක් නැතුව. ඒ වගේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ මේ වගේ දේවල් කරද්දී," ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, කෙනෙකුට තම මරණයෙන් පසු තමන්ගේ ඇපල් ගිණුමේ දත්ත වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව විශ්වාසවන්ත පුද්ගලයින්ට ලබා දීමේ හැකියාව පවතී. මෙය Legacy Contact එකක් ලෙස හඳුන්වයි.

ඇපල් සමාගම පෙන්වා දෙන්නේ, එසේ වුව ද ඔවුන්ට iCloud Keychain මුරපද වෙත ප්‍රවේශ වීම් හැකියාව නොමැති බව ය.

මරණයෙන් පසු, ඔවුන් මරණ සහතිකයක් සමග Appleහි හිමිකම් වෙබ් අඩවිය හරහා ඊට ඉල්ලුම් කළ යුතු අතර, අනුමත වූ පසු, මිය ගිය තැනැත්තාගේ Apple ගිණුමට සහ iCloud දත්තවලට (Keychain හැර) ප්‍රවේශය ලබා දීම සිදු කරන බව ඇපල් සමාගම පවසයි.