අද රාත්‍රියේ සිට වැසි වැඩි වෙයි: ඔබ දැනගත යුතු දේ

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA / AFP via Getty Image
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
අද (ඔක්. 12) රාත්‍රියේ සිට දින තුනක කාලයක් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අද (ඔක්. 12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්නගේ සඳහන් කළේ, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (ඔක්. 13) සිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.
ඒ අනුව, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවත් ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පෙන්වා දුන්නේ, දෙවන අන්තර් මෝසම් තත්ත්වය, එල් නිනෝ තත්ත්වය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතනයේ තීව්‍රතාව වෙනස් විය හැකි බව ය.
හෙට සිට පැය 168ක (දින හතක) කාලයක් මෙම කාලගුණික වෙනස්වීම්වල බලපෑම ඇති විය හැකි බවත්, ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර හදිසි සහන සේවා සඳහා සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
විශාල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි ද?
දින තුනක සිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවති බව නිරීක්ෂණය කළ බවත්, ඒ සම්බන්ධයෙන් වරින් වර නිවේදන නිකුත් කළ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්නගේ පවසයි.
ඔහු අනතුරු ඇඟවූයේ, මෙම අඩු පීඩන කාලය වර්ධනය වුවහොත් එහි බලපෑමෙන් දිවයිනේ ගොඩබිම සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බ ව ය.
"මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් විශේෂයෙන් ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා අද රාත්‍රියේ සිට. අද රාත්‍රිය, හෙට, අනිද්දා වගේ දින තුනක් මේ බලපෑම තියේවි," ඔහු පැවසීය.
"ධීවර සහ නාවික ප්‍රජාවට, ඒ වගේ ම මහජනතාවට අපි කියන්නේ ඉදිරියේදී වරින් වර නිකුත් කරන කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා," ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය විශාල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.
ගංගාවල තත්ත්වය කෙබඳු ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඉකුත් දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනයත්, අද දින ලබා දෙන පුරෝකථනත්" අනුව තෙත් කලාපය "වැඩි ම අවදානම් සහිත ප්‍රදේශය" ලෙස හඳුනා ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර පවසයි.
විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, නිල්වලා, ගිං, කළු සහ කැලණි යන ප්‍රධාන ගංගාවල මෙන් ම අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු අනෙකුත් කුඩා ගංගා ද්‍රෝණිවල ද ඇතැම් ස්ථානවල ජල මට්ටම් මේ වන විටත් ඉහළ ගොස් අවදානම් මට්ටමට ආසන්නව පවතින බව ය.
"ඒ නිසා අද දින සිට ලැබෙන මේ වර්ෂාපතනය අනුව මෙම ගංගාවල ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල ජනතාව ඉතාමත් ම සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීම කරනවා," ඔහු පැවසීය.
ඊට අමතරව පුරෝකථනවලට අනුව මධ්‍යම පළාතේ සිට වියළි කලාපයට ගලා යන ගංගාවල ජල මට්ටම් ද වැඩි විය හැකි බවත් ඇතැම් විට එම ගංගාවල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාව ගැන ද සැලකිල්ලෙන් පසුවන ලෙස ඔහු ජනතාවට අනතුරු ඇඟවීය.
ඉංජිනේරුවරයා සඳහන් කළේ, වර්ෂාවේ පවතින අධිතීව්‍රතාව හේතුවෙන් "ගංගාවක් නැතත් පහත් බිම් සහ නාගරික ප්‍රදේශ ක්ෂණිකව ජලයෙන් යටවීමේ අවදානමක්" පවතින බව ය.
"විශේෂයෙන් ම මාර්ග සහ අධිවේගී මාර්ග භාවිත කරන අයත් අතිශය සැලකිලිමත් වෙන්න ඕන, මේ වර්ෂාපතනයේ අධිතීව්‍රතාව නිසා මාර්ග ක්ෂණිකව යටවීමේ හැකියාව තියෙනවා," ඔහු අනතුරු ඇඟවීය.
ජලාශවල තත්ත්වය කෙබඳු ද?
ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් කළමනාකරණය කරන ජලාශවල මේ වන විට 64%ක පමණ ජල ධාරිතාවක් පවතින බව මහවැලි අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිලන්ත ධනපාල පවසයි.
ඒ අනුව "දැනට කොත්මලේ 79%, වික්ටෝරියා 84%, රන්දෙනිගල 72%, උඩවලවේ 83%, මොරගහකන්ද 82%, සමනලවැව 42%, කාසල්රී 93% සහ මවුස්සාකැලේ 87%ක් ජල ධාරිතාවක් පවතින බව ඔහු සඳහන් කළේ ය.
පවතින වර්ෂාපතන රටාව අනුව කොත්මලේ ජලාශය නොවැම්බර් 4 වන දා පමණ වන විටත්, වික්ටෝරියා ජලාශය ඔක්තෝබර් 27 වන දා පමණ වන විටත් වාන් මට්ටමට පැමිණෙනු ඇතැයි ගණනය කර ඇති බව ඉංජිනේරුවරයා පැවසීය.
එමෙන් ම නොවැම්බර් 11 වන දා පමණ වන විට වාන් මට්ටමට පැමිණෙනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
"කලා වැව ගත්තොත් 59%යි අද තියෙන්නේ. ඒ කියන්නේ පහළ ප්‍රදේශවල ජලාශවල තවම ගොඩක් ඉඩ තියෙනවා. උඩ ජලාශවල තමයි ධාරිතාව ටිකක් අඩු වෙලා තියෙන්නේ," ඉංජිනේරුවරයා සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ජලාශවල ජල මට්ටම් පාලනය කිරීම සඳහා ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව ය.
ඒ අනුව, දැනට පවතින තත්ත්වය අනුව "ළඟ පාතක විශාල වාන් දැමීමක් සිදු නොවන බව ප්‍රකාශ කරන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.
නාය යාම්
පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාතලේ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට 1 වන සහ 2 වන මට්ටමේ නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් පර්යේෂණ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසයි.
ඔහු අනතුරු ඇඟවූයේ "දැනටත් පොළොව ජලයෙන් සංතෘප්ත වෙලා තියෙන නිසා ඉදිරි දිනවල මිලිමීටර් 150ක විතර වැස්සක් ලැබුණොත් නාය යාම් ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට එනවා," යනුවෙනි.
මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල නාය යාම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව මෙන් ම දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වී, අධිඅවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල සිටින ජනතාව හදිසි අවස්ථාවකදී ඉවත් වීමට සූදානමින් සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
"ඒත් එක්ක ම මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තියෙන මාර්ග භාවිත කිරීමේදී, දිට්වා සුළි කුණාටුවෙන් බොහෝ මාර්ග හානියට ලක් වුණා. ඒ ස්ථාන නැවත නාය යාමේ හැකියාවක් තියෙන ස්ථාන. ඒ නිසා මාර්ග භාවිත කිරීම අත්‍යවශ්‍ය හේතුවලට පමණක් හැකිතාක් අඩු කරලා භාවිත කරන්න," අධ්‍යක්ෂ පැවසීය.
එල් නිනෝ
පවතින එල් නිනෝ තත්ත්වය ජනතාව වරදවා අවබෝධ කරගෙන ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්නගේ පවසයි.
ඔහු සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වයකදී බොහෝ විට ජනතාව වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ ද එය එසේ නොවන බව ය.
"අපි මේක වරින්වර කිව්වට තාමත් මහ ජනතාවය, මාධ්‍යයට මේකේ තේරුම් ගැනීමේ අපහසුතාවක් තියෙනවා කියලා.
"එල් නිනෝ තත්ත්වයකදී නිරිතදිග මෝසමේ වැස්ස තරමක් අඩු වෙනවා, නමුත් දෙවන අන්තර් මෝසම, ඒ කියන්නේ ඔක්තෝබර්-නොවැම්බර් වැස්ස වැඩි වෙනවා කියලා," ඔහු පැහැදිලි කළේ ය.
ඒ අනුව, මේ වන විට අප ප්‍රබල එල් නිනෝ තත්ත්වයක සිටින පසුබිමක ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ තද වැසි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
එමෙන් ම එල් නිනෝ තත්ත්වය නිසා "ඉතා කෙටි කාලයකදී තීව්‍ර වැසි ඇද හැළීමේ ඉඩ පවතින බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවීය.
"එතකොට තමයි අර ක්ෂණික ගංවතුර (flash floods) ඇතිවීමට ඉඩකඩක් තියෙන්නේ," ඔහු පැවසීය.
මෙම වැසි සහිත කාලගුණය දෙසැම්බර් දක්වා පවතින අතර, ජනවාරි මාසයෙන් පසු නියඟ කාලගුණ තත්ත්වයක් ද, පෙබරවාරි–අප්‍රේල් කාලසීමාවේ උණුසුම් කාලගුණයක් ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"මොක ද මෙම එල් නිනෝ තත්ත්වය ලබන වසරේ අප්‍රේල් දක්වා ම පවතින්න තියෙන හැකියාව ඉතා ඉහළ සම්භාවිතාවකින් මේ වන විට ගෝලීය පුරෝකථන පෙන්වා දෙනවා."



































