කෘත්‍රිම බුද්ධිය සාතන්ගේ මෙවලමක් ද? AI යනු ක්‍රිස්තු ධර්මයට එරෙහි මෙවලමක් බවට ඇතැමුන් විශ්වාස කරන්නේ ඇයි?

    • Author, ලිබෝ ඩිසේකෝ
    • Role, ගෝලීය ආගමික වාර්තාකරු, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"ලෝකයේ අවසාන කාලයේදී කෘත්‍රිම බුද්ධිය කැපී පෙනෙන කාර්යයක් කරන්න යි යන්නේ," මේවා කෘත්‍රිම බුද්ධිය මගින් මානව වර්ගයාට ළඟදී ම තර්ජනයක් එල්ල වන බවට අනතුරු අඟවන තවත් තාක්ෂණික විශේෂඥයෙකුගේ වචන නොවේ. එම අදහස් පළ කළේ ඇට්ලන්ටා පදනම් කර ගත්, ඉහළ බලපෑමක් ඇති දේවගැතිවරයෙකු වන පිලිප් ඇන්තනි මිචෙල් විසින් ය. "අවසාන කාලය" යන්නෙන් ඔහු අදහස් කරන්නේ, ලෝක අවසානය යි. මිචෙල්ගේ අනාවැකියෙන් වසරකටත් වැඩි කාලයකට පසු, අද වන විට TikTok සහ පොඩ්කාස්ට් සිට ප්‍රකාශන ක්ෂේත්‍රය දක්වා වූ විවිධ වේදිකාවල සිටින ප්‍රකට ක්‍රිස්තියානි භක්තිකයෝ බොහෝ දෙනෙක්, කෘත්‍රිම බුද්ධිය ලෝක විනාශයට හේතුකාරකයක් විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති.

"කෘත්‍රිම බුද්ධිය අවසාන කාලයේ සිදුවීමක කොටසක් වෙයි ද?" ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි පල්ලියක දේවගැතිවරයෙකු වන ග්‍රෙග් ලෝරි අසයි. "ඒක බොහෝදුරට වෙන්න පුළුවන් දෙයක්." මේ අතර, දේවගැති මයික් සිග්නොරෙලි පොඩ්කාස්ට් වැඩසටහනක ප්‍රේක්ෂකයින්ට අනතුරු අඟවයි: "ඒක ක්‍රිස්තු විරෝධියාගේ මතුවීමට මග පාදන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක්."

කෘත්‍රිම බුද්ධිය යහපත සඳහා භාවිත කළ හැකි බව මෙම දේවගැතිවරු සියලු දෙනා ම පිළිගනිති. නමුත් ඔවුන් අනතුරු අඟවන්නේ, සාතන්ගේ නියෝජිතයා වන ක්‍රිස්තු විරෝධියා, දෙවියන් වහන්සේ වෙනුවට ඔහුට නමස්කාර කිරීමට මිනිසුන්ව රවටා ගැනීම සඳහා එය භාවිත කරන බවට යි.

ක්‍රිස්තියානි ආගම තුළ "අවසාන කාලය" යන්නෙන් අදහස් කෙරෙන්නේ පෘථිවියේ අවසාන දින පිළිබඳ අනාවැකිය යි. සාතන් දෙවියන් වහන්සේගේ සතුරා ලෙස සැලකෙන අතර, ඔහු බලය අත්පත් කර ගත්ත ද, අවසානයේදී ජේසුස් වහන්සේ සමග සිදුවන සටනකදී පරාජයට පත් වේ. මෙම අදහස් බයිබලයේ අවසාන ග්‍රන්ථය වන එළිදරව්ව මත දැඩි ලෙස පදනම් වී ඇත. මෙහි ඉතා විචිත්‍රවත් සහ බියකරු දසුන් අඩංගු වන අතර, ක්‍රිස්තු විරෝධියා නියෝජනය කරන බවට සැලකෙන, හිස් හතක් සහ අං දහයක් ඇති "මුහුදෙන් එන මෘගයා" ද ඊට ඇතුළත් ය.

බොහෝ කිතුනුවෝ එළිදරව්ව රූපකාත්මක ලෙස සලකති. ඇතැමුන් පවසන්නේ, එය රෝම අධිරාජ්‍යය මුල් කාලීන පල්ලියට හිංසා කිරීම හා සම්බන්ධ බව යි. නමුත් අනෙක් පිරිස එය අනාවැකියක් ලෙස සලකති. එමෙන් ම, ඇතැමුන් පවසන්නේ කෘත්‍රිම බුද්ධිය යනු පොතේ "දෙවන මෘගයා" බව යි එනම්, මනුෂ්‍ය වර්ගයා රවටා ක්‍රිස්තු විරෝධියාට හෝ ක්‍රිස්තු විරෝධයට පවා ගරු කරන "ව්‍යාජ අනාගතවක්තෘ" බව ය.

කෘත්‍රිම බුද්ධිය ලෝකය වේගයෙන් වෙනස් කරයි. කෙසේ වෙතත්, එහි වර්ධනය වන බලය සහ හැකියාවන් කණස්සල්ලක් මතු කර ඇත. හිටපු මානව විද්‍යා පර්යේෂකයෙකු වන ජේකබ් කොක්සොන් අනතුරු අඟවා ඇත්තේ, "අපි සියල්ලන් ම නුදුරු අනාගතයේදී මිය යා හැකි," බව යි. සමහර ප්‍රධාන තාක්‍ෂණ නායකයින් ද කෘත්‍රිම බුද්ධියේ අවදානම් පිළිබඳව අනතුරු අඟවා ඇති අතර එහි සංවර්ධනය මන්දගාමී විය යුතු යැයි ඉල්ලා ඇත.

"ලොකු වෙනස්කම් සිදුවන කාලවලදී මිනිසුන් බොහෝවිට ලෝක විනාශය ගැන සාකච්ඡා කරනවා," යැයි ශාන්ත ජෝන් දේවධර්ම විද්‍යාලයේ සහ සෙමිනරියේ කෘත්‍රිම බුද්ධිය සහ තාක්ෂණික ආචාරධර්ම පිළිබඳ විශේෂඥවරියක වන මහාචාර්ය නෝරීන් හර්ස්ෆෙල්ඩ් පවසයි. "මේ සමාජය තුළ පවතින ආතතිය තේරුම් ගැනීමටත්, සිදුවීම් අහඹු ලෙස නොව දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස සිදුවන බව විශ්වාස කිරීමටත් මිනිසුන්ට උපකාරී වෙනවා."

හර්ස්ෆෙල්ඩ්, රැකියා කෙරෙහි කෘත්‍රිම බුද්ධියේ බලපෑම කාර්මික විප්ලවයේ බලපෑමට සමාන කරන අතර, එය ඉහළ මට්ටමේ අවිනිශ්චිතතාවක් සහ කණස්සල්ලක් රැගෙන එයි.

"අපි ජීවත් වෙන්නේ වේගවත් වෙනසක් සිදුවන කාලයක යි," ඇය පවසයි. "පරිගණක තාක්ෂණය අතීතයේ කවදාවත් නොතිබූ තරම් වේගයෙන් (පරිණාමය) වන බව අපට පෙනෙනවා.''

"මෙම තාක්ෂණය රැකියා තමන් සතු කර ගන්නා බවත්, මෙය සියල්ල වෙනස් කරන බවත්, සියල්ල විප්ලවීය ලෙස වෙනස් කරන බවත් අපට කියනවා. ඒ වගේ වේගවත් වෙනසක් මිනිස්සුන්ට හරි ම අමාරුයි."

මිනිසුන්ට තම ජීවිතය පිළිබඳ පාලනය ගිලිහී යමින් පවතින බවට හැඟීමක් ද පවතී. මිනිසුන් කැමති වුවත් නැතත්, කෘත්‍රිම බුද්ධිය දැන් එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. ඒ අතරම, සිලිකන් වැලේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් අනතුරු අඟවන්නේ, "කෘත්‍රිම බුද්ධිය විසින් අප සියල්ලන්වම විනාශ කර දැමීමට 10%ක හෝ 15%ක සම්භාවිතාවක් පවතින" බව යි.

"දෙවියන් වහන්සේ තවමත් සියල්ල පාලනය කරන බවත්, මෙහි යම් අරමුණක් ඇති බවත්, මෙය එලෙසම සිදුවීමට නියම වී තිබූ බවත් මිනිසුන්ට හැඟී යන්නේ නම්, ඔවුන්ට මෙහෙම හිතන්න පුළුවන්, 'මේ මොහොතට මා මුහුණ දිය යුත්තේ කෙසේද? මා කළ යුත්තේ කුමක්ද? අයහපත පැත්තේ නොව යහපත පැත්තේ සිටීමට මා මාව ම එකඟ කර ගන්නේ කෙසේ ද?'"

2022 පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Centre) සමීක්ෂණයකට අනුව, ඇමෙරිකානු වැඩිහිටියන්ගෙන් 40%ක් පමණ විශ්වාස කරන්නේ, අප ජීවත් වන්නේ ලෝකයේ අවසාන කාලසීමාවක බව ය. කිතුනුවන් අතර මෙම ප්‍රතිශතය 47% දක්වා ඉහළ යයි.

විශේෂඥයන් පවසන පරිදි, මෙය දශක ගණනාවක් පුරා නැවත නැවත මතු වන අදහසකි. මෙහිදී වර්තමාන සමාජය තුළ පවතින කණස්සල්ල සහ බිය, ක්‍රිස්තු විරෝධියා යන සංකල්පය මත ආරෝපණය කරනු ලැබේ.

"මගේ ආච්චි හිතුවා ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් තමයි ක්‍රිස්තු විරෝධියා කියලා," උතුරු කැරොලිනාහි ඉලෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෙෆ්රි සී පියු පවසයි.

එක්සත් ජනපද ජනාධිපති රූස්වෙල්ට් ධූරයට පත් වූයේ, දැඩි අවිනිශ්චිතතාවක් සහ දරිද්‍රතාවක් පැවති මහා ආර්ථික අවපාතයක් මධ්‍යයේ ය. ඔහුගේ විසඳුම වූ The New Deal විප්ලවීය ක්‍රියාවක් බවට සලකනු ලැබී ය.

පියු පවසන්නේ, ඔහුගේ මිත්තණියගේ දැක්ම "වත්මන් සිදුවීම් නිශ්චිත බයිබලානුකුල කතා පුවතකට ගලපා අර්ථකථනය කිරීමට උත්සහ කිරීමේ අතාර්තික බව පෙන්නුම් කරන," බව ය.

එක්සත් ජනපදය තුළ අවසාන කාලය පිළිබඳ කතිකාව නැවත නැවත මතු වන තේමාවක්ව පැවතිය ද, 1960 ගණන්වලදී එය වඩාත් ප්‍රචලිත විය.

"ඒක සමාජ කැලඹීම්වල විශේෂ කාලයක්," පියු පවසයි. "අපගේ දේශපාලන නායකයින් දෙදෙනෙකු ඝාතනයට ලක් වුණා. මාටින් ලූතර් කිං ජූනියර් ද ඊට ඇතුළත් කළොත් එම සංඛ්‍යාව තුනක්. සුදු ජාතිකයන්ගේ පීඩනය හමුවේ කළු ජාතිකයන් තුළ ඇති වූ කෝපය හේතුවෙන් නගර ගිනි ගනිමින් තිබුණා. යුද විරෝධී උද්ඝෝෂණවල සිට තරුණ පරපුරේ විකල්ප සංස්කෘතික ප්‍රවණතා දක්වා වූ විවිධ ආකාර ඔස්සේ, පෙර නොවූ විරූ ලෙස තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දරුවන් පෙළඹෙමින් සිටියා.

'බියකරු තාක්ෂණයන්'

1970 දශකයේදී 'The Late Great Planet Earth' නම් කෘතිය ජනප්‍රියත්වයට පත් වූ අතර, එමගින් ලෝකයේ අවසානය පිළිබඳ අනාවැකි සමකාලීන සිදුවීම් සහ භූ දේශපාලනය සමග පැහැදිලිව සම්බන්ධ කර දැක්විණි.

''එතැන් පටන්, සෑම සමාජ කැළඹීමක් ම ලෝකයේ අවසානය පිළිබඳ සංකල්පය හා සම්බන්ධ කර දැක්වීමක් සිදුවුණා," පියු පවසයි.

සීතල යුද්ධය අතරතුර, සෝවියට් සංගමය සහ කොමියුනිස්ට්වාදය ක්‍රිස්තු විරෝධියා ලෙස සැලකිණි . 9/11 ප්‍රහාරවලින් පසුව, ඇතැම් ක්‍රිස්තියානුවන්ට එය [ක්‍රිස්තු විරෝධියා] ඉස්ලාම් දහම විය.

"එක් එක් කාල පරිච්ඡේදයට අදාළ බියකරු හැඟීම්, මෙවැනි [අවසන් කාලය] කතාන්දර තුළ මතු වීමට නැඹුරු වෙනවා," ආචාර්ය පියු පවසයි.

"Made in Our Image: God, Artificial Intelligence, and You" නම් ග්‍රන්ථයේ කතුවරයා වන ඔස්ට්‍රේලියානු දේවගැති ස්ටීවන් ඩ්‍රිස්කොල්, ක්‍රිස්තු විරෝධියා යනු කවුරුන් ද යන්න හෝ කුමක් දැයි නිශ්චිතව ම නොදනී.

"අප මෙතෙක් නිර්මාණය කර ඇති වඩාත් ම භයානක තාක්ෂණයන්ගෙන් එකක්," වන කෘත්‍රිම බුද්ධිය යනු "පිළිගත හැකි අපේක්ෂකයෙකු" බව ඔහු පවසයි. නමුත්, අනාගතය පුරෝකථනය කිරීමට බයිබලය යොදා ගැනීමට උත්සහ කිරීම එතරම් ප්‍රයෝජනවත් ක්‍රියාවක් නොවේ.

"ක්‍රිස්තු විරෝධියා කවුරුන් ද යන්න පිළිබඳව කෙරෙන අනුමාන කිරීම්වලට වඩා වැඩි යමක් බයිබලය තුළින් ලබා දෙනවා," ඩ්‍රිස්කොල් පවසයි. එය "අපව වෙනසකට අපව සූදානම් කරනවා, ශ්‍රමය පිළිබඳ ආගමික දැක්මක් සහ කෘතිම බුද්ධිය පෙළගැස්ම පිළිබඳව යථාර්ථවාදීවීමට මෙවලම් ලබා දෙනවා,'' ඔහු පවසයි.

'දෙවියන්වහන්සේට කීකරු වන්න'

පැරණි ගිවිසුම ''කෘෂිකාර්මික තාක්ෂණික දියුණුවීම්, කොළ මඩින ලෑලි (වැනි) විවිධ දේ ගැන සඳහන් කරයි....එය පවසන්නේ මේවා සියල්ල දෙවියන් වහන්සේගෙන් ලැබෙන බව ය.

"දෙවියන් වහන්සේ යනු තාක්ෂණික ප්‍රඥාවේ දෙවියෙක්", "ගල් යුගයේ සිට ලෝකඩ, යකඩ, වානේ, න්‍යෂ්ටික සහ කෘත්‍රිම බුද්ධිය දක්වා වූ සෑම තාක්ෂණික යුගයක් ම පිළිබඳව" පරම පාලනයක් තිබේ.

පැරණි ගිවිසුම තුළ, පිටුවහල්ව සිටි දානියෙල් විවිධ තාක්ෂණයන් භාවිත කළ අධිරාජ්‍ය කිහිපයක් යටතේ ජීවත් වූ බව ඩ්‍රිස්කෝල් පවසයි.

ඔහුට "ඛේදවාචකයක් ගෙන එන්නට නියමිත වුවත්, කාලය පාලනය කිරීමට හෝ උදාවන අධිරාජ්‍යයන් නැවැත්වීමට බෑ.''

"නමුත්, ඔහුට (හැකියාව ඇත්තේ) සිටින ඕනෑ ම තැනක විශ්වාසවන්තව හා බලාපොරොත්තුවෙන් සිටීමට, යහපත් ලෙස ජීවත් වීමට, මිනිසුන්ට ප්‍රේම කිරීමට සහ දෙවියන් වහන්සේට කීකරු වීමට යි."

"ඔහුට කාලය පාලනය කරන්න බෑ, නමුත් ඔහුට හොඳින් ජීවත් විය හැකි යි."

එබැවින් අපි ලෝකයේ අවසානයට මුහුණ දෙමින් සිටිනවා වුව ද හෝ එසේ නොවුණ ද, අවසානයේදී සියල්ල යහපත් අතට හැරෙනු ඇත.

"සිදුවන සෑම දෙයක් ම යහපත් වෙන්නේ නෑ," ඩ්‍රිස්කොල් පවසයි. නමුත් වඩාත් ම වැදගත් වන්නේ, "දෙවියන් වහන්සේ යහපත් - උන්වහන්සේගේ සියල්ල පාලනය කරනවා," යන්න බව ඔහු පවසයි.