'ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටවල් කාණ්ඩයට': ලෝක බැංකු දත්තවල 'ප්‍රායෝගික ඇත්ත' කුමක් ද?

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

2026 ජූලි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ සිට ඉහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් දක්වා නිල වශයෙන් නැවත වර්ගීකරණය කර ඇත.

මෙහි අර්ථය වන්නේ කුමක් ද? එනම් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සාමාන්‍ය ආදායම ගෝලීය සීමාව ඉක්මවා ගොස් ඇති බව ය. එය රටේ නූතන ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව, රට සැලකිය යුතු මට්ටමකින් ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට නිල වශයෙන් පිළිගැනීමකි.

'ඉහළ-මධ්‍යම ආදායම්ලාභී' ආර්ථික තත්ත්වය දකුණු ආසියාවේ ඉතා දුර්ලභ වන අතර, මෙය ශ්‍රී ලංකාව කලාපයේ අනෙක් රටවලින් කැපී පෙනීමට හේතු වේ.

සෞඛ්‍ය, අධ්‍යාපන සහ මානව සංවර්ධන දර්ශක අතින් ශ්‍රී ලංකාව දිගු කලක සිට ම කලාපීය සාමාන්‍ය අගයන් අභිබවා ගොස් ඇත.

මෙම වර්ගීකරණය ඉදිරියටත් ස්ථාවරව පැවතුණහොත්, එමගින් රටේ නිල ආදායම් තත්ත්වය, දීර්ඝ කාලයක සිට අත්පත් කරගෙන තිබූ සමාජයීය ජයග්‍රහණයන් සමඟ වඩාත් සමීපව සමපාත වනු ඇත. එය 2022 අර්බුදයේ සිට රටට අහිමි වී තිබූ අර්ථාන්විත සමපාත වීමකි (ගැලපීමකි).

කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ප්‍රශ්න කරන්නේ, අංකවලින් ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් දක්වා ඉහළ ගිය බවට ප්‍රකාශ වුවත් එහි අර්ථයක් තිබේ ද? යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව ය.

"මට නම් පේන්නේ මේකේ අර්ථයක් නැහැ, මේක නිකං Number game එකක්. ඔය නම්බර් එක වැඩි වුණාට මිනිස්සුන්ගේ ජන ජීවිතය බිඳ වැටිලා නේ තියෙන්නේ, මොනවා කිව්වත්, දුප්පත්කම වැඩි වෙලා ලංකාවේ 1990 තිබ්බ මට්ටමට. ඔය නම්බර් එක ඔය කියන මිඩිල් ඉන්කම් එකට ගියා කියන එකේ මොනවා හරි අර්ථයක් තියෙනවා ද? ලෝක බැංකුවේ නම්බර් එකට හොඳයි, ඔය නම්බර් එක මිනිස්සුන්ගේ ජන ජීවිතය තුළ පිළිබිඹු වෙනව ද කියන එක ලොකු ප්‍රශ්නයක්. දුප්පත්කම වැඩි වෙලා, විරැකියාව වැඩි වෙලා, ජීවන වියදම වැඩි වෙලා, මෙවැනි තත්ත්වයක් තුළ ලෝක බැංකුවේ ඔය නම්බර් එකේ වටිනාකමක් තියෙනව ද කියලා ලෝක බැංකුවෙන් අහන්න ඕනේ"

ශ්‍රී ලංකාව මීට පෙර 2019 වසරේදී ද මෙම තත්ත්වයට (ඉහළ-මධ්‍යම ආදායම්ලාභී මට්ටමට) පැමිණි නමුත්, වසරක් ඇතුළත එම තත්ත්වය අහිමි කර ගත් අතර ඉන් අනතුරුව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ සිට ඉහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් බවට වර්ගීකරණය වන්නේ, ලෝක ආහාර වැඩසටහනට අනුව දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති පසුබිමක ය. එමෙන් ම, එම ජනතාවට ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අඩාළ වී ඇති බව ද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

2025 නොවැම්බර් මාසයේදී කඩා වැදුණු 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම්, එය සිදු වී මාස කිහිපයකට පසුවත් තවදුරටත් මතු වෙමින් පවතී. ජනතාවගේ ජීවනෝපායන් අහිමි වීම, අවතැන් වීම් සහ වෙළෙඳපොළට ළඟා වීමට ඇති බාධා හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇති අතර, මේ වන විට කුටුම්භයන්ගෙන් 39%කට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි, ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙති. එමෙන්ම, ආහාර වේලෙහි පවතින විවිධත්වයේ අඩුව සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන්, වයස අවුරුදු 18-60 අතර කාන්තාවන්ගෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් අධික බරින් හෝ ස්ථූලතාවයෙන් (තරබාරුකමෙන්) පෙළෙති.

'මැදි ආදායම් උගුලක ඉන්නේ'

ශ්‍රී ලංකාව පළමුව පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වන්නේ 1997 වසරේදී ය.

2019 වසරේදී ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදයම් රටක් බවට පත්වන්නේ, ඉන් වසර 22කට පසුව ය. ඉන් අනතුරුව ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා යළි පහළ මැදි ආදයම් රටක් බවට පත්වූ අතර දැන් නැවතත් ඉහළ මැදි ආදයම් රටක් බවට පත්ව තිබේ.

මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ, ශ්‍රී ලංකාව මැදි ආදායම් කාණ්ඩයේ වසර 30ක් සිට ඇති බව ය. "අවුරුදු 30ක් මිඩ්ල් ඉන්කම් එකේ හිටියා කියන්නේ අපි (Middle income trap) එකක ඉන්නේ, මැදි ආදායම් උගුලක ඉන්නේ."

ඔහු කියා සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ, කැපී පෙනෙන වර්ධන මාවතක් පෙන්නුම් නොකරන බව ය.

සාමාන්‍යයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදයම් හා ඉහළ ආදායම් සීමාවවලට රටවල් ගමන් කිරීම වසර 15 , 20, 25ත් අතර සිදුවන බව මහචාර්යවරයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ එම පරිවර්තනයට වසර 30ක් ගත් වීමෙන් පෙනී යන්නේ, තාක්ෂණික දියුණුව, ව්‍යාවසායකත්වය, නවෝත්පාදනය පහළ මට්ටමක ඇති බව යැයි ද ඔහු සඳහන් කළේ ය.

"අපි මේ විදිහට ගියොත් ඉහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් කාණ්ඩයට පිවිසීම සඳහා වසර 60ක් පමණ ගත වෙන්න පුළුවන්"

"මෙතන ඉදලා growth එක උස්සන එක යි චැලෙන්ජ් එක, ඒක හරියට ෆ්ලයිට් එක runway එකේ වේගයෙන් දිව යන්න පුළුවන්, runway එකේ වේගය ගත්තට ඇත්තට ම Take off එක ගන්නම් විශාල බලයක් ගන්න ඕනේ. ඒ වගේ තමා economy එක මෙතනින් උත්සන්න නම් විශාල ධාරිතාවක් ගොඩනැගෙන්න ඕනේ ආර්ථිකය තුළ. ආයෝජනය, ඵලදායීතාව, නවෝත්පාදනය, ව්‍යවසායකත්වට අදාළ විශාල පිම්මක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ෆ්ලයිට් එක උස්සන්න බැහැ. දැන් ලංකාවේ ආර්ථිකයටත් වෙලා තියෙන්නේ, මේක උස්සන්න බැහැ. මොක ද උස්සන්න බැරි ඒ මට්ටමට ඉන්ධන දහනය වෙන්නේ නැහැ, ඒ මට්ටට ගන්න ඉන්ධන නැහැ, ඒ ඒ ජවය ගන්න මොකවත් ම නැහැ අර්ථිකය තුළ"

ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් දක්වා උසස් කිරීමට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ කුමක් ද?

2022 වසරේ පැවති ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යත් ම, දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයෙන් ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ හිමි වූ බව ලෝක බැංකු සමූහය පෙන්වා දෙයි.

පුළුල් පදනමක් සහිත කාර්මික අංශයේ පිබිදීම සහ සේවා අංශයේ (54.6%)—විශේෂයෙන් ම මූල්‍ය සහ සංචාරක කටයුතු ආශ්‍රිත සේවාවන්හි—ලැබූ ස්ථාවර වර්ධනය හේතුවෙන්, 2025 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) 5.0%කින් වර්ධනය වී තිබේ.

පවත්නා මිල ගණන් යටතේ ගණනය කළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 8.8%කින් ඉහළ ගොස් ඇත.

ජනගහනය සුළු වශයෙන් අඩු වීම (0.7%) සහ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම (0.4%) යන කරුණු දෙකෙහි ඒකාබද්ධ බලපෑම, ඉතා සුළු මට්ටමක පැවතිය ද, 2025 වසරේදී රට ඉහළ-මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයේ සීමාවෙන් ඔබ්බට ඔසවා තැබීමට රුකුලක් වී ඇතැයි ලෝක බැංකු සමූහය සඳහන් කළේ ය.

කොළඹ නගරයේ ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) 5.0%කින් වර්ධනය වී තිබේ

ලෝක බැංකු සමූහය ආදායම් වර්ගීකරණයන් තීරණය කරනු ලබන්නේ කෙසේ ද?

ලෝක බැංකුව විසින් සෑම වසරක ම ජූලි 1 වන දා ලෝකයේ රටවල් ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනු ලබයි. මෙම තීරණය ගනු ලබන්නේ, පහත සඳහන් ප්‍රධාන සාධක පදනම් කරගෙන ය:

  • ඒක පුද්ගල ආදායම (GNI per capita): මෙහිදී මූලිකව ම සලකා බලනු ලබන්නේ රටේ දළ ජාතික ආදායම (Gross National Income) එම රටේ සමස්ත ජනගහනයෙන් බෙදා ලැබෙන අගයයි. මේ සඳහා දළ දේශීය නිෂ්පාදිතයට (GDP) අමතරව විදේශයන්ගෙන් ලැබෙන ශුද්ධ ආදායම ද ඇතුළත් වේ.
  • ඇට්ලස් ක්‍රමය (Atlas Method): විවිධ රටවල මුදල් වර්ගවල අගයන් සහ උද්ධමනය (Inflation) හේතුවෙන් සිදුවන වෙනස්වීම් සමනය කිරීම සඳහා ලෝක බැංකුව විශේෂිත "ඇට්ලස් පරිවර්තන සාධකය" (Atlas conversion factor) භාවිත කරයි. එමගින් සියලු ම රටවල ආදායම් ඇමෙරිකානු ඩොලර් (USD) බවට පරිවර්තනය කර වඩාත් සාධාරණ ලෙස සංසන්දනය කරනු ලබයි.
  • ආදායම් සීමාවන් (Income Thresholds): ලෝක බැංකුව විසින් සෑම වසරක ම ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර උද්ධමනය සැලකිල්ලට ගනිමින් ආදායම් කාණ්ඩ හතර සඳහා වන ඩොලර් සීමාවන් යාවත්කාලීන කරනු ලබයි:

අඩු ආදායම්ලාභී (Low-income)

පහළ-මධ්‍යම ආදායම්ලාභී (Lower-middle-income)

ඉහළ-මධ්‍යම ආදායම්ලාභී (Upper-middle-income)

ඉහළ ආදායම්ලාභී (High-income)

ලෝක බැංකු සමූහය සිය වාර්තා සහ සංඛ්‍යා ලේඛන ඇතුළුව විශ්ලේෂණාත්මක කටයුතු සඳහා මෙම ආදායම් වර්ගීකරණයන් භාවිත කරයි.

මෙම ආදායම් වර්ගීකරණයන් මගින් සමාන මට්ටමක පවතින රටවල් විශ්ලේෂණය සහ සංසන්දනය සඳහා පහසුවෙන් කාණ්ඩගත කිරීමට අවස්ථාව සැලසේ.

ලෝක බැංකුව මෙහෙයුම් ණය දීමේ කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී, රටක ආදායම් මට්ටම පමණක් ම තීරණාත්මක සාධකය ලෙස නොසලකන බව ලෝක බැංකු සමූහය සඳහන් කළේ ය. ණය ලබා ගැනීමට ඇති සුදුසුකම්, ප්‍රතිපාදන වෙන් කිරීම් සහ ඊට අදාළ කොන්දේසි තීරණය කිරීමේදී ලෝක බැංකු සමූහය තවත් අතිරේක නිර්ණායක රැසක් පිළිබඳවද අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාව මීට පෙර මෙවැනි ආර්ථික තත්ත්වයකට මුහුණ දී තිබේ ද?

2019 දී ශ්‍රී ලංකාව මෙවැනි ම ආර්ථික තත්ත්වයකට පැමිණියත් එම තත්ත්වය පැවතියේ හරියට ම වසරක් පමණි. 2027 නැවත වර්ගීකරණය සිදුවන්නේ සැබෑ අර්බුදයකින් සහ දැඩි උත්සහයකින් ලැබූ ප්‍රකෘතිමත් වීමකින් පසුව ය. එමගින් මෙයට වඩාත් අර්ථාන්විත බවක් එක් කරයි. කෙසේ වෙතත්, 2019 වසරේදී අත්දුටු පරිදි, මෙය ස්ථිර තත්ත්වයක් නොවන බව වටහාගත යුතුව තිබේ.

  • 2019 ජූලි: ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඉහළ-මැදි-ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කරන ලදී. ඒ වන විට ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) ඇමෙරිකානු ඩොලර් 4,060 ක් වූ අතර, එය අදාළ කාණ්ඩයේ ආදායම් සීමාවට වඩා ඩොලර් 64 ක් පමණක් ඉහළ අගයක් විය. නමුත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල සන්ධිස්ථානයක් ලෙස පුළුල් ලෙස සලකණු ලැබිණි.
  • 2020 ජූලි: ශ්‍රී ලංකාව නැවතත් පහළ-මැදි-ආදායම් ලබන රටක් දක්වා පහත හෙළන ලදී. සංශෝධිත දත්ත මගින් එය එම සීමා ඉරට වඩා සුළු වශයෙන් පහළින් ඇති බව පෙන්වා දෙන ලදී.
  • 2022: ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වේගයෙන් පහළ ගියේය. ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශීය ණය ගෙවීම පැහැර හරින ලද අතර උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

තවදුරත් ඇති අවදානම් මොනවා ද?

ශ්‍රී ලංකාව 'ඉහළ-මධ්‍යම ආදායම්ලාභී' ආර්ථිකයක් දක්වා වර්ගීකරණයෙන් ඉහළ ගිය ද, අවදානම් කිහිපයක් තවමත් පවතින බව ලෝක බැංකු සමූහය පෙන්වා දෙයි.

ආපසු පෙර තත්ත්වයට පත්විය හැකි ය: ලෝක බැංකුව සෑම වසරකම ජූලි 1 වනදා රටවල වර්ගීකරණයන් සමාලෝචනය කරයි. විනිමය අනුපාත, ආර්ථික වර්ධනය මන්දගාමී වීම හෝ දත්ත සංශෝධන හේතුවෙන් ඕනෑම රටක් තනි වසරක් ඇතුළත නැවතත් පෙර තිබූ සීමාවෙන් පහළට තල්ලු විය හැකිය. ශ්‍රී ලංකාව මීට පෙර මෙම අත්දැකීමට හරියටම මුහුණ දී ඇත.

ණය බර තවමත් ඉහළ මට්ටමක පවතී: 2022 වසරේ ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් සම්පූර්ණ කළේය. එසේ වුවද රාජ්‍ය ණය මට්ටම් තවමත් පවතින්නේ ඉහළ අගයකය. එබැවින් මෙම ආර්ථික ප්‍රකෘතිමත් වීමට මඟ පෑදූ මූල්‍ය විනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) යනු සාමාන්‍යයකි: එමගින් ජනගහනය අතර ආදායම බෙදී යන ආකාරය හෝ මෙම ආර්ථික පිබිදීමේ වාසි සමාජයේ වඩාත්ම අසරණ වූ (දුප්පත්) කොටස් වෙත ළඟා වී තිබේද යන්න පිළිබිඹු නොවේ. බොහෝ ශ්‍රී ලාංකික කුටුම්භයන් තවමත් අර්බුදකාරී වසරවල සිට පැවත එන ජීවන වියදම් පීඩනයන්ට මුහුණ දෙමින් සිටිති. දරිද්‍රතා දර්ශක තවමත් 2022 වසරට පෙර තිබූ මට්ටමට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැත.

ආර්ථික වර්ධනය මන්දගාමී වෙමින් පවතී: ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ 2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3% ක් පමණ වනු ඇති බවයි. මෙය පෙර පැවති ශක්තිමත් ආර්ථික පිබිදීමේ වසරවලට වඩා අඩු අගයකි. ඉහළ-මැදි-ආදායම් කාණ්ඩය තුළ දිගටම රැඳී සිටීමට නම්, ප්‍රකෘතිමත් වීමේ වේගය (momentum) පමණක් ප්‍රමාණවත් නොවන අතර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ (structural reforms) අත්‍යවශ්‍ය වන බව ලෝක බැංකු සමූහය පෙන්වා දෙයි.

ලෝක බැංකු සමූහය ආදායම් වර්ගීකරණයන් භාවිත කරනු ලබන්නේ කෙසේ ද?

ඇට්ලස් ක්‍රමය (Atlas method) භාවිතයෙන් ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායම් (GNI per capita) මට්ටම් අර්ථකථනය කරන ආකාරය ලෝක බැංකු සමූහය පැහැදිලි කර තිබේ. ඒ අනුව, ඇට්ලස් (Atlas) ක්‍රමය සැලසුම් කර ඇත්තේ කෙටි කාලීන සහ රටකට පමණක් ආවේණික වූ මිල හා විනිමය උච්චාවචනයන්ගේ බලපෑම අවම කරමින්, ජාත්‍යන්තර වශයෙන් සැසඳිය හැකි ඒක පුද්ගල දළ ජාතික ආදායම් (GNI) මිනුමක් ලබා දීම සඳහා ය.

ඇට්ලස් ක්‍රමවේදය මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව, බාහිර අවදානම් හෝ ආර්ථික ක්‍රියාකාරීත්වයේ වෙනත් පැතිකඩයන් ඇගයීමට ලක් කිරීම බලාපොරොත්තු නොවේ. ඒ වෙනුවට, එයින් සිදු කරනු ලබන්නේ සමාන මට්ටමේ ආර්ථික ධාරිතාවන් සහිත රටවල් කාණ්ඩවල වාර්ෂික තත්ත්වය තනි රූප රාමුවකින් (Snapshot) පෙන්වා දීම පමණි.

ඇට්ලස් ක්‍රමවේදයට අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායමෙහි (Atlas GNI per capita) සිදුවන වෙනස්වීම් මගින් සැබෑ ආදායම් වර්ධනය, දේශීය මිල ගණන්වල වර්ධනය සහ විනිමය අනුපාතිකයේ චලනයන් පිළිබිඹු වේ. ඇට්ලස් ඒක පුද්ගල දළ ජාතික ආදායම් ප්‍රවේශය, ආර්ථිකයන් වර්ගීකරණය කිරීම සඳහා විනිවිදභාවයකින් යුත් සහ ස්ථාවර රාමුවක් සපයන නමුත්, රටක ආර්ථික තත්ත්වයන්හි සියලුම මානයන් (පැතිකඩයන්) එමගින් ග්‍රහණය කර නොගනී.

විශේෂයෙන් ම, ඉහළ යන මිල ගණන් විනිමය අනුපාතිකයේ චලනයන්ගෙන් සම්පූර්ණයෙන් ම සමනය නොවන අධික උද්ධමනකාරී කාලපරිච්ඡේදයන් හේතුවෙන් මෙහි ප්‍රතිඵල වෙනස් විය (විකෘති විය) හැක. මෙයට හේතුව මෙම දර්ශකය නාමික ඇමෙරිකානු ඩොලර් (Nominal US dollar) අගයන්ගෙන් මැනීම යි. මෙම තත්ත්වය විශේෂයෙන්ම බලපාන්නේ තම ඇට්ලස් ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම, ආදායම් කාණ්ඩ වෙන් කරන සීමාවන්ට (Thresholds) ඉතා ආසන්නයෙන් පවතින ආර්ථිකයන් සඳහා ය.

මෙවැනි අවස්ථාවලදී, සැබෑ ආර්ථික වර්ධනය, උද්ධමනය, ජනගහනය හෝ විනිමය අනුපාතයන්ගේ එකතුවෙහි සිදුවන ඉතා සුළු වෙනස්කම් හේතුවෙන්, බොහෝ දුරට සමාන ආර්ථික ස්වභාවයක් ඇති රටවල් පවා මෙම සීමා ඉරේ දෙපැත්තට වැටීමට (වර්ගීකරණයන් දෙකකට පත්වීමට) ඉඩ ඇත. එමෙන්ම, මෙම සාධක අතුරින් ඕනෑම එකක සිදුවන සුළු වෙනස්වීමක් හේතුවෙන්, රටක් වසරින් වසර විවිධ කාණ්ඩ අතර මාරු වීමට ද ඉඩ තිබේ.

ඒ අනුව, ආදායම් කාණ්ඩ වර්ගීකරණයන් අර්ථකථනය කළ යුත්තේ ආදායම් මට්ටම මැන බැලීමක් ලෙස පමණක් මිස, අදාළ රටවල සමස්ත ආර්ථික තත්ත්වයන් පිළිබඳව සිදුකරන ලද සර්ව සම්පූර්ණ අගැයීමක් ලෙස නොවන බව ලෝක බැංකු සමූහය පවසයි.