සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතුළත් ඔබට බලපාන සුවිශේෂී කරුණු

ඡායාරූප මූලාශ්රය, Harshana Nanayakkara / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
'සංවිධානාත්මක අපරාධ මැඩ පවත්වමින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා' සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් ගෙන ඒමට රජය කටයුතු කර තිබේ.
අදාළ පනතේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇත.
මෙම පනත "ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ද; සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි," යනුවෙන් පනත් කෙටුම්පතේ දැක්වේ.
පනත් කෙටුම්පතේ පරමාර්ථය කුමක් ද?
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සහ එවැනි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ තැනැත්තන්ගේ ක්රියාකාරකම් වැළැක්වීම, මර්දනය කිරීම සහ අවහිර කිරීම, බරපතළ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු පැවැත්වීමට සහ වරදකරුවන්ට නඩු පැවරීමට පහසුකම් සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ පරමාර්ථ ලෙස දක්වා එහි දක්වා තිබේ.
තව ද, මෙම පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම සහ, එවැනි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මගින් සිදු වන හෝ සිදු විය හැකි පීඩාවලින් ජනතාව ආරක්ෂා කිරීම ද මෙහි පරමාර්ථ අතර වේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට ලැබෙන දඬුවම්
සංවිධානත්මක මැඩලීමේ අරමුණින් ගෙන එන ලද මෙම පනත් කෙටුම්පතේ ඇති කරුණු සම්බන්ධයෙන් නීතිඥ චලනි දයාරත්න බීබීසී සිංහල සේවය වෙත පැහැදිලි කළා ය.
අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විත, යම් කාලයක් පවතින සහ මූල්යමය හෝ වෙනත් ද්රව්යමය ප්රතිලාභයක් ලබා ගැනීම සඳහා බරපතළ අපරාධ සිදුකිරීමට එක්ව ක්රියාකරන කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස අර්ථ දක්වා ඇති බව ඇය කියා සිටියා ය.
"මෙම පනත යටතේ සිදු කරන 'බරපතළ අපරාධයක්' සඳහා වසර හතරක් හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් නියම කළ හැකි අපරාධ ඇතුළත් වෙනවා. එමගින් පනතේ විෂය පථය සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම හෝ ප්රචණ්ඩ අපරාධවලට පමණක් සීමා නොවී, වෙනත් ලිඛිත නීති යටතේ ඇති පුළුල් පරාසයක වැරදි දක්වා විහිදෙනවා... ඒ නිසා එහි අර්ථ දැක්වීම් සහ ක්රියාත්මක කිරීමේ සීමා නිරවද්ය වීම අත්යවශ්ය යි," ඇය පවසයි.
සෝදිසි කිරීම සහ පරිශ්රයන්ට ඇතුළුවීම සම්බන්ධ නීති
නීතිඥවරිය පවසන පරිදි, බරපතළ අපරාධයක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් පවතින අවස්ථාවක පුද්ගලයන්, වාහන සහ වෙනත් ප්රවාහන මාධ්ය නවතා පරීක්ෂා කිරීමට, සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමට, වරෙන්තුවකින් තොරව පරිශ්රවලට ඇතුළු වී සෝදිසි කිරීමට, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ අදාළ ලේඛන හෝ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලබාදීමට පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
"මෙම බලතල මගින් සාක්ෂි විනාශ කිරීම වැළැක්වීම සහ අපරාධ විමර්ශන කඩිනම් කිරීම පහසු විය හැකි යි. එසේ වුව ද, 'සාධාරණ සැකය' මත ක්රියාකිරීමේ සීමාව පැහැදිලිව අර්ථකථනය නොකළහොත් අත්තනෝමතික සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවීමේ අවදානමක් පවතිනවා," යැයි නීතිඥ චලනි දයාරත්න පෙන්වා දෙයි.
විශේෂයෙන්, අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමේ සාමාන්ය ආරක්ෂණ ක්රමවේදය මගහැරීමට ඉඩ සැලසෙන බැවින්, එවැනි බලතල භාවිතය පිළිබඳ ස්වාධීන අධීක්ෂණයක් සහ පැහැදිලි වගවීමේ යාන්ත්රණයක් අවශ්ය බව ද නීතිඥවරිය අවධාරණය කළා ය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පනත් කෙටුම්පතේ 18 වන වගන්තිය අනුව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වහා ම පොලිස් ස්ථානයකට ඉදිරිපත් කළ යුතු අතර, අත්අඩංගුවට ගැනීමේදී සන්නද්ධ හමුදා සාමාජිකයෙකුගේ හෝ වෙරළාරක්ෂක නිලධාරියෙකුගේ සහය ලබා ගැනීමට ද අවසර ඇත.
එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්යයෙන් පැය 24ක් ඇතුළත සැකකරුගේ ළඟ ම ඥාතියාට දැනුම් දිය යුතු අතර, අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඒ බව දැනුම් දෙනු ලැබිය යුතු ය.
අත්අඩංගුවට ගන්නා සැකකරු පැය 72ක් ඇතුළත ළඟ ම මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, අවශ්යතාවක් තිබේ නම් මහේස්ත්රාත්වරයාට ලිඛිතව හේතු සටහන් කර තවත් පැය 24ක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට අවසර ලබා දීමට පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බව නීතිඥවරිය කියා සිටියා ය.
"මෙය අපරාධ නඩු විධාන සංග්රහයේ 37 වන වගන්තිය යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සාමාන්යයෙන් පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමේ නීතියට වඩා වෙනස් ප්රතිපාදනයක්. මහේස්ත්රාත්වරයා විසින් සැකකරු පෞද්ගලිකව, රහසිගතව හමුවී ඔහුගේ හෝ ඇයගේ යහපැවැත්ම පිළිබඳ සොයා බැලීම වැදගත් ආරක්ෂණයක්," යනුවෙන් ද ඇය සඳහන් කළා ය.
සැකකරුවන් රඳවා ගැනීම
පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය පවරන ලද නියෝජ්ය පොලිස්පති තනතුරට නොඅඩු නිලධාරියෙකුට සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා අමාත්යාංශ ලේකම්වරයාගෙන් නියෝගයක් ඉල්ලා සිටිමේ හැකියාව ලබා දීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කෙරේ.
එවැනි එක් රඳවා ගැනීමේ නියෝගයක් යටතේ මාස දෙකක් දක්වා කාලයක් රඳවා තැබිය හැකි අතර, සියලු නියෝග යටතේ එකතුවන කාලය ආරම්භක නියෝගයේ සිට වසරක් නොඉක්මවිය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති බව ද නීතිඥ චලනි දයාරත්ත පැවසුවා ය.
එවැනි දිගුකාලීන රඳවා තැබීමක් විමර්ශන කටයුතු සඳහා ප්රයෝජනවත් විය හැකි නමුත්, පුද්ගල නිදහසට දැඩි බලපෑමක් ඇති කළ බවට අනතුරු අඟවනන නීතිඥවරිය, රඳවා තැබීමේ තීරණය මුලින් ගනු ලබන්නේ විධායකයේ කොටසක් වන අමාත්යාංශ ලේකම්වරයා විසින් බැවින් එහි අවශ්යතාව, සාධාරණත්වය සහ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ අධිකරණ පරීක්ෂාව ශක්තිමත් විය යුතුය බව ද කියා සිටියා ය.
රඳවා තබා ගැනීම තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි වුව ද, එම අධිකරණ අධීක්ෂණය ප්රායෝගිකව කොතරම් ඵලදායී ද යන්න වැදගත් වන බවත් ඇය පෙන්වා දුන්නා ය.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට ඇප ලබා දීම
පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති පරිදි අත්අඩංගුවට ගන්නා සැකකරුවකු හට ඇප ලබා දීමේ බලය හිමිව ඇත්තේ මහාධිකරණයට බව නීතිඥවරිය කියා සිටියා ය.
එහෙත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ මරණීය දණ්ඩනයක් නියම කළ හැකි බරපතළ අපරාධයක් සම්බන්ධ සැකකරුවන්ට ඇප ලබාදිය හැක්කේ, සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් බවත්, අධිචෝදනා පත්රයක් ඉදිරිපත් නොකර වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ තබාගත නොහැකි බවට ද ප්රතිපාදනයක් පවතින බව ඇය සඳහන් කළා ය.
තව ද, වසරක් දක්වා අධිචෝදනා ඉදිරිපත් නොකර සැකකරුවෙකු රඳවා තැබීමට ඉඩ සැලසීම, නඩු විභාගයකට පෙර දඬුවමක් විඳින තත්ත්වයකට සැකකරුවෙකු පත්කිරීමේ අවදානමක් ඇති කරන බව නීතිඥ චලනි දයාරත්න පවසයි.
"වරදකරු බව අධිකරණයෙන් තහවුරු වන තෙක් පුද්ගලයෙකු නිර්දෝෂී ලෙස සැලකීමේ මූලධර්මය ආරක්ෂා කිරීම සඳහා, ඇප ප්රතික්ෂේප කිරීමේ නිර්ණායක පැහැදිලි හා සාධාරණ විය යුතු යි," ඇය පෙන්වා දෙයි.
පනත් කෙටුම්පතින් යෝජිත දඬුවම්
පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය යටතේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස සිටිමින් ද්රව්යමය ප්රතිලාභයක් ලබාගැනීමේ අරමුණින් බරපතළ අපරාධයක් සිදුකිරීමට එකඟ වීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකුට වසර පහේ සිට විස්ස දක්වා සිරදඬුවමක් සහ රුපියල් මිලියනයක් දක්වා දඩයක් නියම කළ හැකි ය.
නීතිඥවරිය සඳහන් කරන පරිදි අනෙකුත් වගන්ති යටතේ ද අපරාධයට සහ පුද්ගලයාගේ භූමිකාවට අනුව විවිධ දඬුවම් යෝජනා කර ඇත.
පනත් කෙටුම්පතේ පවතින දුර්වලතා
මෙම පනතේ පවතින දුර්වලතා කිහිපයක් පිළිබඳව ද නීතිඥ චලනි දයාරත්න බීබීසී සිංහල සේවය වෙත පැහැදිලි කළා ය.
පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය අනුව කෙනෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ද යන්න තීරණය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇඳුම්, භාවිත කරන සංඥා, පච්ච සටහන්, භාෂාව, ඇසුරුම් සහ නිතර යන ස්ථාන වැනි කරුණු සැලකිල්ලට ගත හැකි බැවින්, එවැනි කරුණු විමර්ශනයට අදාළ විය හැකි නමුත්, ඒවා පමණක් මත අපරාධමය සම්බන්ධතාවක් නිගමනය කිරීම අසාධාරණ බව ඇය පැවසුවා ය.
ඒ හරහා තරුණයන්, ආන්තික ප්රජාවන් සහ විරෝධතාකරුවන් වැනි කණ්ඩායම් අනවශ්ය සැකයට භාජනය වීමේ අවදානමක් පවතින බවට ද නීතිඥවරිය අනතුරු ඇඟවීය.
"කෙටුම්පතෙහි 28, 44 සහ 45 වගන්තිවලට අදාළ ඩිජිටල් නිරීක්ෂණ, සන්නිවේදන දත්ත ලබාගැනීම සහ සංකේතනය කළ උපාංග විවෘත කිරීමට බලකිරීමේ බලතල පෞද්ගලිකත්වයට බලපායි. විශේෂයෙන් ම, 44(4) වගන්තිය යටතේ අධිකරණ නියෝගයකින් තොරව ඇතැම් ග්රාහක, ඇමතුම් හා ස්ථාන දත්ත ලබාගැනීමට ඉඩ සැලසීම, ස්වාධීන පරීක්ෂාව සහ දත්ත ආරක්ෂාව පිළිබඳ ප්රශ්න මතු කරයි," යැයි චලනි දයාරත්න නීතිඥවරිය පෙන්වා දෙයි.
එමෙන් ම, 47 වන වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරී තනතුරට නොඅඩු නිලධාරීන්ට ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට යෝජනා කිරීම, බලපෑම් හෝ බලහත්කාරය යටතේ ප්රකාශ ලබාගැනීමේ අවදානම පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණක් බවත්, 48 වන වගන්තිය යටතේ ඇතැම් අවස්ථාවල මියගිය හෝ සොයාගත නොහැකි පුද්ගලයන්ගේ ප්රකාශ පිළිගැනීමට ඉඩ සැලසීම ද, සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න ඇසීමේ අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති කළ හැකි බව ඇය පැවසුවා ය.
14 වන වගන්තිය යටතේ අපරාධයක වින්දිතයා හඳුනාගත හැකි තොරතුරු පළකිරීම සහ අධිකරණ අවසරයකින් තොරව අදාළ නඩු කටයුතු පිළිබඳ කරුණු පළකිරීම අපරාධයක් බවට පත්කිරීම, වින්දිතයන්ගේ ආරක්ෂාවට වැදගත් වුව ද, මාධ්ය නිදහස සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බලපෑම් ඇති කළ හැකි බව ද නීතිඥ චලනි දයාරත්න කියා සිටියා ය.

































