යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි

යෝෂිත රාජපක්ෂ
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ වසර 10කට අසන්න කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර අද (ඔක්. 15) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල ඉඩම් කට්ටි පහක් මිල දී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකරු මේ බව පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයෙකු වන නුවන් තුෂාර අරන්දර අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මෙසේ පැවසීය:

"ස්වාමීනී... 2009 වසරේ නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ මා සේවය කළා. එහිදී නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු වශයෙන් කටයුතු කරන යෝෂිත රාජපක්ෂ නිලධාරියාගේ වැටුප් හා දීමනා ගෙවීම් සිදු කර තිබෙනවා.

"ඊට අදාළ ලේඛන මා අධිකරණයට ඉදිරිපත් කරනවා. 2006 වසරේ දෙසැම්බර් මස 14 වන දා සිට 2016 වසරේ පෙබරවාරි මාසය දක්වා සිදුකළ ගෙවීම් පිළිබඳව විස්තර එම ලිපියේ ඇතුළත් වෙනවා.

"එම ලේඛනයේ සඳහන්ව තිබෙනවා 2016 වසරේ පෙබරවාරි මස 30 වන දා ලෙසට. ස්වාමීනී... එය නිවැරදි විය යුතුයි. පෙබරවාරි මාසයේ 30 වන දා දිනයක් නැහැ. එය 2016 වසරේ පෙබරවාරි මස 28 වන දා යනුවෙන් නිවැරදි විය යුතුයි.

"ඒ අනුව ස්වාමීනී... 2006 වසරේ පෙබරවාරි මස 14 වන දා සිට 2016 වසරේ පෙබරවාරි මස දක්වා කාල සීමාව තුළ යෝෂිත රාජපක්ෂ නමැති නිලධාරියාට වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක පමණ මුදලක් නාවික හමුදාවෙන් ගෙවා තිබෙනවා."

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හරස් ප්‍රශ්නයක් මතු කරමින් විත්තිකාර යෝෂිත රාජපක්ෂට ලැබූණු වැටුප් තුළ දීමනා අන්තර්ගත වන්නේ දැයි ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, "දීමනා ඇතුළත් වන්නේ නෑ... ස්වාමීනී," යනුවෙන් පිළිතුරු ලබා දුන්නේ ය.

එහිදී ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති නීතිඥවරයා, "දීමනා යටතට අයත් වන්නේ කුමන ආකාරයේ ගෙවීම් දැයි," විමසීය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙසේ පැවසීය:

"ස්වාමීනී... දීමනා යන්නට ගෙවල් කුලී, විශේෂ රාජකාරි දීමනා, නිල ඇඳුම් දීමනා වගේ දේවල් ඇතුළත් වෙනවා. පාඨමාලා සඳහා ලබා දුන් දීමනා ඇතුළත් ඊට ඇතුළත් වන්නේ නැහැ. ක්‍රීඩා තරගවලට සහභාගී වීම වෙනුවෙන් නිලධාරීන්ට ලබා දෙන දීමනාත් ඇතුළත් වන්නේ නැහැ."

නැවතත් විත්තියේ ජනාධිපති නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු විත්තිකාර යෝෂිත රාජපක්ෂ විදේශීය පාඨමාලාවක් සඳහා සහභාගී වී සිටි බව තමන් දන්නා නමුත් රටවල් ගණනාවක රග්බි ක්‍රීඩා තරග සඳහා ඔහු සහභාගී වී ඇති බවක් තමන් නොදන්නා බව පැවසීය.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් තවත් සාක්ෂියක් ලබා දුන් නාවික හමුදාවේ කොමදෝරු ගාමිණී ප්‍රියදර්ශන නමැති නිලධාරියා සාක්ෂි දෙමින් මෙලෙස පැවසීය:

"යෝෂිත රාජපක්ෂ සහභාගී වූ විදේශීය පාඨමාලාවක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 20,362ක් සහ දීමනා ලෙස තවත් බ්‍රිතාන්‍ය පවුම් 4,174ක් අනුමත කර තිබූ බව සඳහන් කළා.

"හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් තමයි එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එය ඉදිරිපත් කර තිබුණා."

ඉන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කනිෂ්ඨ විධායක නිලධාරියෙකු වන ගාමිණී හෙට්ටිආරච්චි සාක්ෂි දෙමින් මෙලෙස පැවසීය:

"විත්තිකාර යෝෂිත රාජපක්ෂ විසින් 2003 වසරේ නොවැම්බර් මස 19 වන දා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළා. ආරම්භක අවස්ථාවේදී රුපියල් 72,470.03ක මුදලක් එහි තිබුණා.

"එම මුදල මේ වන විට පොළිය සමග එක්ව රුපියල් 489,471.70ක් දක්වා වැඩිවී තිබෙනවා. 2016 වසරේ පෙබරවාරි මස 15 වන දා දක්වා අදාළ ගිණුමෙන් ආපසු මුදල් ලබා ගැනීමක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ."

එම අවස්ථාවේදී විරෝධතාවක් මතු කළ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්:

"ස්වාමීනී.... පසුගිය ඔක්තෝබර් මස 12 වන දා ලබා ගත් ලේඛනයක් ඉදිරිපත් කරමින් තමයි පැමිණිල්ලේ නීතිඥවරයා මේ කරුණු තහවුරු කරන්න හදන්නේ. අදාළ ලේඛනය අධිචෝදනා පත්‍රයේ ලැයිස්තුගත කරලා නැ. විමර්ශන අවසන් කරලා අධිචෝදනා ගොනු කිරීමෙන් පසුවයි මේක ඉදිරිපත් කරන්නේ."

තමන් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළේ, යෝෂිත රාජපක්ෂ තම බැංකුවේ 2006 වසරේ දෙසැම්බර් මස 30 වන දා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර තිබූ බව ය.

එම ගිණුමේ ද මුදල් තැන්පතු කිරීම් පමණක් පැවැති බවත් පළමු මුදල් ආපසු ගැනීම සටහන් වන්නේ 2016 වසරේ මාර්තු මස 2 වන දා බවත් සාක්ෂිකරු පැවසීය.

ඉන් අනතුරුව විත්තියේ ජනාධිපති නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු 2011 වසරේ නොවැම්බර් මස 28 වන දා මෙම ඉතිරි කිරීමේ ගිණුමට රුපියල් 1,350,116ක මුදලක් බැර වී තිබූ බව පිළිගත්තේ ය.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවෙන් එහි ලිපිකරු සෙනරත් බණ්ඩාර ඒකනායක සාක්ෂි දෙමින් ඩේසි ෆෝරස්ට් නමැති කාන්තාව ඩිමෙන්ෂියා නමැති රෝගී තත්ත්වයෙන් පසුවන බවට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවකට අනුව ඇයගේ දේපළ කළමනාකරණය කිරීම සඳහා 2017 වසරේ මාර්තු 15 වන දා අධිකරණයේ විනිසුරවරයා කළමණාකරුවෙකු පත්කරමින් නියෝගයක් නිකුත් කර තිබූ බව පිළිගත්තේ ය.

එමෙන් ම එම නියෝගය නිකුත් කිරීමට අදාළ නඩු ගොනුවේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවට අයත් දේපළ හෝ ඇයගේ බූදලයට අන්තර්ගත දේපළ පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව ද සාක්ෂිකරු අදාළ නඩු ගොනුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාක්ෂි දෙමින් සඳහන් කළේ ය.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් මර්වින් අමරවීර නමැති ව්‍යාපාරිකයෙකු සාක්ෂි දෙමින් පැවසුවේ, තමන් ඉඩම් මිල දී ගැනීමේ කටයුතු කරන බවත් මේ ආකාරයෙන් මිල දී ගත් ඉඩම් හයක් පමණ මේ වන විට තමන් සතුව තිබෙන බවත් ය.

කෝට්ටේ, මීගොඩ, වැල්ලවාය, තලවතුගොඩ යනාදී ප්‍රදේශවල මෙම ඉඩම් පවතින බව ඔහු පැවසීය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ප්‍රශ්නයක් මතු කරමින්, "සී.එස්.එන්. ආයතනය සඳහා ආනයනය කළ බස් රථයක් ඔබ රේගුවෙන් නිදහස් කර දී තිබේ දැයි?" විමසීය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු: "නිදහස් කර දීමක් කළා ස්වාමීනී... නමුත් ඒක මොකක් ද කියලා දන්නේ නෑ" යනුවෙන් පැවසීය.

යළි ප්‍රශ්නයක් මතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

"ඔබ නිදහස් කර දී තිබෙන්නේ සජීව විකාශන සිදුකළ හැකි රුපියල් කෝටි ගණනාවක් වටිනා බස් රථයක්. නිකන් ටාටා බස් රථයක් හෝ අශෝක ලේලන්ඩ් බස් රථයක් නෙවෙයි.

"මේ වගේ දෙයක් නිදහස් කරගන්න යනකොට ඒ තුළ මොනව ද තිබෙන්නේ කියලා හොයා බලන එක ඔබේ වගකීමක් නේද? කවුද ඔබට මේක නිදහස් කරලා දෙන්න කිව්වේ?"

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙලෙස පැවසීය:

"ස්වාමීනී... මට නිදහස් කර දෙන්න කියලා යාළුවෙකුගේ මාර්ගයෙන් ඉල්ලීමක් ආවා. ඒ අනුව මම නිදහස් කරලා දුන්නා. ඒකෙ ඇතුළේ මොනවා ද තියෙන්නේ කියලා මං හොයලා බැලුවේ නැහැ." යනුවෙන් සඳහන් කළේ ය.

එහිදී නැවත ප්‍රශ්නයක් මතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, "මේ බස් රථය නිදහස් කර දෙන ලෙස කවුද ඔබගෙන් ඉල්ලා සිටියේ?," යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු:

"ස්වාමීනී... මේ වෙලාවේ මට හරියට මතක නැහැ. මම ඒ ගැන පොලිසියට කටඋත්තරයක් දීලා තියෙනවා. මට විනාඩි පහක් විතර දුන්නොත් මතක් කරලා කියන්න පුළුවන්," යනුවෙන් පැවසීය.

විනාඩි කිහිපයකට නඩු විභාගය කල් තැබූ විනිසුරුවරයා පසුව නැවතත් සාක්ෂිකරුගේ සාක්ෂිය කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අදාළ බස් රථය රේගුවෙන් නිදහස් කර දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ රොහාන් වැලිවිට නමැත්තා බව ය.

රොහාන් වැලිවට නමැත්තාට තමන් "රොහාන් අංකල්" යනුවෙන් ආමන්ත්‍රණය කළත් ඔහු කළේ කුමක් දැයි තමන් නොදන්නා බව ද සාක්ෂිකරු පැවසීය.

තමන්ට සී.එස්.එන්. ආයතනය සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.