ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එකඟතාවකට එළඹීමට නොහැකි වුවහොත් 'එක රැයකින්' ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි
- Author, බර්න්ඩ් ඩෙබුෂ්මන් ජූනියර් සහ ටොම් බේට්මන් - ධවල මන්දිරයේ සිට
- කියවීමේ කාලය: මිනිත්තු 4
තමන් ලබාදුන් අවසන් කාලසීමාවට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ නොවන්නේ නම්, එක්සත් ජනපදයට "එක් රැයකින්" ඉරානය විනාශ කළ හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටියේ ය.
ගල්ෆ් කලාපය හරහා බලශක්ති අවශ්‍යතා නිදහසේ රැගෙන යාමට ඉඩ සලසන එකඟතාවක් සඳහා ට්‍රම්ප් වොෂින්ටනයේ වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8:00 (මෙරට වේලාවෙන් බදාදා අළුයම 5.30) අවසන් කාලසීමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඉරානයේ නායකයින් "සාධාරණ සහ අවංක භාවයකින් යුතුව" සාකච්ඡා කරන බවට තමා විශ්වාස කරන නමුත් ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිත බවයි.
ඉරානය තාවකාලික සටන් විරාමයක් සඳහා වූ යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට ගැටුම ස්ථිර ලෙස අවසන් කර සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.
දකුණු ඉරානයේදී බිම හෙළන ලද F-15 ප්‍රහාරක ජෙට් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු එක්සත් ජනපද හමුදාව සාර්ථකව මුදා ගැනීමෙන් දිනකට පසු, ඒකාබද්ධ මාණ්ඩලික හමුදා ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ ට්‍රම්ප්ගේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.
ට්‍රම්ප් එම මුදා ගැනීමේ මෙහෙයුම 'වීරෝදාර' ක්‍රියාවක් ලෙස ප්‍රශංසා කළ අතර, අඟහරුවාදා වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ බලශක්ති සහ ප්‍රවාහන පද්ධතිවලට පහර දිය හැකි බවට නැවත වරක් ඔහු අනතුරු ඇඟවීය.
"මුළු රටම එක රැයකින් විනාශ කළ හැකියි. සමහර විට ඒ රාත්‍රිය හෙට රාත්‍රිය වෙන්නත් පුළුවන්," ඔහු සඳුදා (අප්‍රේල් 06) පැවසීය.
ලබාදුන් අවසාන් කාලසීමාව නිමා වූ පසු, ඉරානය "ගල් යුගයට" ආපසු යවනු ඇතැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
"ඔවුන්ට පාලම් තියෙන එකක් නැහැ, විදුලි බලාගාර තියෙන එකක් නැහැ." ඔහු පැවසීය.
ඉරානය මීට පෙර ඇමෙරිකානු ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබියදීත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි නායකයින් බොහෝ දෙනෙකු මිය ගිය පසුව ඉරානය අවංකව සාකච්ඡා කරන බව තමා විශ්වාස කරන බවට ට්‍රම්ප් දිගින් දිගටම පැවසුවේය.
"අපි එකඟතාවක් ඇති කර ගන්න පුළුවන් ද බලන්න යන්නේ" ඔහු පැවසීය.
පළමුව සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් තොරව සාකච්ඡාවල සැබෑ ප්‍රගතියක් සිදුවිය නොහැකි බව ඒ පිළිබඳව දැනුමක් ඇති කලාපීය නිලධාරියෙක් පැවසීය.
සාකච්ඡාවල සංවේදීතාව හේතුවෙන් සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ, සන්නිවේදන කටයුතු අඛණ්ඩව ඇණහිටීම හේතුවෙන් ඉරාන නිලධාරීන් ගෙන් පණිවිඩ ලබා ගැනීමේ දුෂ්කරතා මතුව තිබීමෙන් සාකච්ඡා සංකීර්ණ වූ බවයි.
"ඉරානයට පණිවිඩ යවන්න වගේම ඒවාට නැවත පිළිතුරු ලබා ගන්න සාධාරණ කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්න යන කාලය දවසක් හෝ ඊට වැඩි වෙනවා," යැයි එම නිලධාරියා පැවසීය.
පාකිස්ථානය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල් සියල්ලම මෙම මැදිහත්වීමේ උත්සාහයන්ට සම්බන්ධ වී ඇත.
පරිපාලනයේ ඉදිරි සැලසුම් පිළිබඳව ට්‍රම්ප් තවත් විස්තර කිහිපයක් ලබා දුන් අතර, ඔහු පැවසුවේ තමා සතුව "හොඳ සැලැස්මක්" ඇති බව සහ එය මාධ්‍යයට හෙළි නොකරන බවයි.
ඉරාන යටිතල පහසුකම්වලට හිතාමතාම, අඛණ්ඩව පහරදීම් යුද අපරාධයක් විය හැකි බවට නීති විශාරදයින් අනතුරු අඟවා තිබේ.
"සියලුම විදුලි බලාගාර විනාශ කිරීම, රජයක් සාකච්ඡා මේසයට ගෙන ඒමට උත්සාහ කිරීම සඳහා සිවිල් ජනතාවට එරෙහිව බලහත්කාර ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීම වැනි දේවල් සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි," ඔබාමා පාලන සමයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නීති උපදේශක ටෙස් බ්‍රිජ්මන් බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු වන CBS වෙත පැවසීය.
ඉරාන රජය පෙරළා දැමීම තම අභිප්‍රාය නොවූවත් - ඉරාන ජනතාව "නිදහස ලබා ගැනීම සඳහා දුක් විඳීමට කැමති" වනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.
ගැටුම අතරතුර එක්සත් රාජධානිය, නේටෝ සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන ඇමෙරිකානු මිත්‍ර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව්වට නොපැමිණි බවට ජනාධිපතිවරයා කළ විවේචන ද අලුත් කළේය.
"නේටෝව ඒ කළ දේ කවදාවත් අමකත නොවන ලකුණක්," ඇමෙරිකාවට එක්සත් රාජධානිය 'අවශ්‍ය' නොවන බව ඔහු පැවසීය.
සඳුදා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම හමුදා විධානයේ යාවත්කාලීන කිරීමකට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට ඇමෙරිකානු හමුදා ඉරානය පුරා ප්‍රහාර 13,000 කට වඩා සිදු කර ඇත.