ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් ඉරානයට එරෙහිව කළ අපහාසාත්මක තර්ජනයට එරෙහිව ඇමෙරිකාවෙන් ම දැඩි විරෝධතා
හෝමූස් සමුද්‍ර සන්ධිය හෙට අප්‍රේල් 7 අඟහරුවාදා වන විට නැවත විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් විනාශ කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක සටහනක් ඊයේ ( ඉරිදා) පළ කළේය.
"අඟහරුවාදා ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් වලට පහර දෙන දිනයයි. හැම දෙයක්ම එකම දවසේ ඉවර කරනවා" යැයි ඔහු එහි සඳහන් කර තිබිණි.
මුලදී, ඔහුගේ අවසන් දිනය අප්‍රේල් 6 වන සඳුදා ලෙස නියම කර තිබූ අතර, අප්‍රේල් 4 වන සෙනසුරාදා ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට "තවත් පැය 48 ක්" ඇති බව සටහනක් පළ කළේය.
සිය තර්ජනය සිදු කිරීමෙන් පැය කිහිපයකට පසුව, අවසාන දිනය දීර්ඝ කිරීමක් ලෙස ට්‍රම්ප් නැවතත් සමාජ මාධ්‍යයේ සටහනක් පළකරමින් ප්‍රහාරය ගැන නිශ්චිත වේලාවක් පළ කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා වන අවසාන දිනය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මේ වන විට අවස්ථා කිහිපයකදී කල් දමා තිබේ.
ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ සඳුදා ගිවිසුමකට එළඹීමට "හොඳ අවස්ථාවක්" ඇති නමුත් ඉක්මනින් ගිවිසුමක් ඇති කර නොගතහොත් "සියල්ල පුපුරවා හැර ඉන්ධන අත්පත් කර ගැනීම" පිළිබඳව සලකා බලන බවයි.
ඉරානයට ඉහළින් අහසේදී වෙඩි තබා බිම හෙළන ලද ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයේ දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා සතුරු භූමිය තුළ සිදු කරන ලද මෙහෙයුමකදී ආරක්ෂිතව බේරා ගත් බව නිවේදනය කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නවතම ප්‍රකාශය නිකුත් කරන ලදී.
බීබීසී ධවල මන්දිර වාර්තාකරු බර්න්ඩ් ඩෙබස්මන් ජූනියර් පවසන්නේ ඔවුන් ඉක්මනින් මුදා ගැනීම ගැනීම ට්‍රම්ප් එක්සත් ජනපද ගුවන් ආධිපත්‍යයේ ලකුණක් ලෙස හැඳින්වුවද, තත්වය වඩාත් සංකීර්ණ බව ආරංචි මාර්ග පවසන බවය.
සිවිල් ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළොත් 'වඩාත් විනාශකාරී' පළිගැනීම් සිදු කරනවා - ඉරානය අනතුරු අඟවයි
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහොත් "වඩාත් විනාශකාරී" පළිගැනීමක් සිදු කරන බවට ඉරානය අනතුරු අඟවා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
"සිවිල් ඉලක්ක වෙත නැවත නැවතත් ප්‍රහාර එල්ල වුවහොත්, අපගේ ප්‍රහාර සහ පළිගැනීමේ මෙහෙයුම්වල ඊළඟ අදියර වඩාත් විනාශකාරී සහ පුළුල් එකක් වෙනවා," ඉරානයේ ඉහළම මෙහෙයුම් හමුදා අණදෙන ඒකකය වන කටාම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයෙකු නිකුත් කළ ප්‍රකාශයක සඳහන්ය. මෙම ප්‍රකාශය ඉස්ලාමීය ඉරාන ජනරජ විකාශනය (IRIB) විසින් විකාශය කරන ලදී.
මෙම ප්‍රකාශය සිදු වූයේ අඟහරුවාදා වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් වලට පහර දෙන බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමෙන් පසුවය.
ට්‍රම්ප්ගේ තර්ජනය 'යුද අපරාධයක්' බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි
ඉරානයේ සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ තර්ජනය "යුද අපරාධයක්" සහ "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි.
මෙම වගන්තිය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ට ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව බාහිරව බලය යෙදවීම හෝ තර්ජනය කිරීම තහනම් කරයි.
"එල්ල කෙරෙන ඕනෑම ප්‍රහාරයකට ඉක්මනින් හා දැඩි ලෙස ඉරානය ප්‍රතිචාර දක්වන බව" කසෙම් ගරිබාබාඩි පැවසීය.
අපගේ වාර්තාකරු ටොම් බේට්මන් පසුගිය මාසයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ආරම්භක ප්‍රධාන අභිචෝදක ලුයිස් මොරෙනෝ ඔකාම්පෝ සමග සාකච්ඡාවක නිරත විය.
"හමුදා ඉලක්ක නොවන සිවිල් ස්ථානවලට හිතාමතාම පහර දීම යුද අපරාධයක්" බව මොරෙනෝ ඔකම්පෝ පැවසීය.
'ට්‍රම්ප් විකාර කතා කරනවා'
ඉරානය තුළ පමණක් නොව, ඇමරිකාව තුළ ද ට්‍රම්ප්ගේ ප්‍රකාශය සහ එහි භාවිතා කර ඇති භාෂා විලාශය විවේචනයට ලක්වෙමින් පවතී.
"ඉරාන යුද්ධය ආරම්භ වී මාසයකට පසුව පාස්කු ඉරිදා එක්සත් ජනපද ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා. මේවා මානසිකව අස්ථාවර පුද්ගලයෙකු සිදුකරන විකාර ප්‍රකාශ. කොංග්‍රසය වහාම පියවර ගන්න ඕන. මේ යුද්ධය වහාම අවසන් කරන්න ඕන." වර්මොන්ට් හි සෙනෙට් සභිකයෙකු සහ දෙවරක් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයෙකු වූ බර්නි සැන්ඩර්ස් ඉන්ස්ටග්‍රෑම් හි එලෙස සටහන් කර තිබිණි.
"රජා නිරුවතින්. 25 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. කොංග්‍රසය සහ කැබිනට් මණ්ඩලය දැන්ම ක්‍රියාත්මක වෙන්න ඕන." නිව් මෙක්සිකෝවේ ඩිමොක්ක්‍රටික් සෙනට් සභිකයෙකු වන මෙලනි ස්ටැන්ස්බරි සටහන් කර තිබිණි.
ජනාධිපතිවරයා 'ධූරය දැරීමට අපොහොසත්' බව සලකනු ලැබුවහොත් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල උප ජනාධිපතිවරයාට පැවරීමට යෝජනා කරයි.
"අපේ රිපබ්ලිකන් සගයින් මේක ගැන දන්නවා. ජනාධිපතිවරයා මෙම ව්‍යවස්ථා විරෝධී යුද්ධය දිගටම කරගෙන යාම වැළැක්වීමට උදව් කිරීමට තරම් නිර්භීත වෙන්න ඕන." ඩිමොක්‍රටික් සෙනෙට් සභික අමි බෙරා සටහනක් තබා ඇත.
මැසචුසෙට්ස් හි ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙකු වන ජිම් මැක්ගවර්න් ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය හැඳින්වූයේ "මානසික විකෘතියක්" ලෙසයි.
"එක්සත් ජනපද ජනාධිපතිවරයාට උදව් අවශ්‍යයි. ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොරයි සහ අතිශයින්ම භයානකයි." ඔහු සඳහන් කළේය.